මෙරට තුළ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සඳහා රුසියාව, ප්‍රංශය, චීනය, ඩෙන්මාර්ක් යන රටවලින් යෝජනා ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා පැවසීය.
මෙරට මුහුදු කලාපයේ පාවෙන විශාල බෝට්ටුවක (Barge) න්‍යෂ්ටික බලාගාර සැකසීම සම්බන්ධව රුසියාව යෝජනා ඉදිරිපත්කර තිබේ. මෙහිදී බලාගාරය ඉදිකිරීම සඳහා රුසියාව මුදල් වැයකරන අතර, බලාගාරයෙන් ජනනය කරන විදුලිය ලංකාව මිලදී ගතයුතු බවට රුසියාව දැනුම්දී ඇත.
ජල විදුලිය තරම් අඩු මිලකට විදුලිය අලෙවි කිරීමට නොහැකි බවත්, ජල විදුලිය සහ ගල් අඟුරුවලින් නිපදවන විදුලිය සඳහා ගෙවන මුදලට අතරවූ මිලකට න්‍යෂ්ටික බලාගාරවලින් නිපදවන විදුලිය අලෙවි කළ හැකි බවත් රුසියාව දැනුම් දී තිබේ.
මෙරට සාගර කලාපයේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකරන්නේ නම් අසල්වැසි ඉන්දියාවෙන්ද අවසරය ලබා ගැනීමට නියමිතය. ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාරවලින් මෙරට පරිසර පද්ධතියට බලපෑමක් සිදුවේද යන්න පිළිබඳව ශ්‍රී ලංකාව නිරීක්ෂණ කටයුතු සිදු කරන්නේය. මෙහිදී විකිරණ කාන්දුවීමක් සිදුවේදැයි නිරීක්ෂණය කෙරේ. ඉන්දියාව ආශ්‍රිතවද න්‍යෂ්ටික බලාගාර රුසියාව පවත්වාගෙන යන්නේය.
මෙගාවොට් 400 ක න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 3 ක් වැයවෙතැයි ගණන් බලා තිබේ.
න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමේදී මූලික වියදම ඉහළ මට්ටමක පැවතියද, එය පවත්වාගෙන යාමට විශාල වියදමක් වැය නොවන බවද සභාපතිවරයා කීවේය. ගල්අඟුරු බලාගාරයකින් විදුලිය ජනනය කිරීමේදී ගල් අගුරු ටොන් ගණනක් දිනපතා අවශ්‍ය වුවද, න්‍යෂ්ටික ශක්තියෙන් නිදහස් වන ශක්තීන් ප්‍රමාණය මිලියන ගණනකින් ඉහළ බවත්, මෙගාවොට් 400ක විදුලිය ජනනය කරන න්‍යෂ්ටික බලාගාරයකට ඉන්ධන කිලෝග්‍රෑම් 2000 ක් යෙදූ විට එය වසර පහක පමණ කාල සීමාවකට ප්‍රමාණවත් බවත් සභාපතිවරයා කීවේය.
එමෙන්ම න්‍යෂ්ටික බලාගාරයක ආයු කාලය ඉහළ මට්ටමක පවතින බවද මහාචාර්යවරයා පැවසීය.
ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට කැමැත්ත පළකරමින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කර ඇති අතර, න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනතද සංශෝධනය කිරීමට කටයුතු යොදා තිබේ.
දැනට පවතින ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනතේ ‘න්‍යෂ්ටික බලය’ සම්බන්ධ කාරණා ඇතුළත් නොවන බවද සභාපතිවරයා කීවේය. එහි සඳහන්ව ඇත්තේ මෙරට විකිරණ නිරීක්ෂණය ආදී කාරණා පිළිබඳව බවද ඔහු කීවේය.
පනත සකස් කිරීමට අදාළව වෙනම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවත්, ඒ සඳහා කමිටුවක් පත්කර තිබෙන බවත්, මේ වසරේ මැයි මාසය වන විටදී පනත සකස් කිරීමේ කටයුතු අවසන් වනු ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය. මෙම පනතට න්‍යෂ්ටික බලාගාර ඉඳිකිරීමට අදාළ නීති පද්ධතියක්ද ඇතුළත් කිරීමට කටයුතු යොදා තිබේ.
න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට අදාළව අභිලාසය ප්‍රකාශ කිරීම සඳහා අදාළ කටයුතු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට භාරදී තිබෙන බවද සභාපතිවරයා කීවේය.
රුසියාව විසින් එරට මුහුදු කලාපයේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකර ඇති අතර, ඩෙන්මාර්ක සහ කොරියාව විසින් දකුණු කොරියාවේ මුහුදු කලාපයේ අලුතින් න්‍යෂ්ටික බලාගාරයක් ඉඳිකරන අතර වසර 2025දී එහි කටයුතු අවසන් කිරීමට නියමිතය.