ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහෝදරියගේ පුතුන් දෙදෙනෙකු පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කළ බව කියන සිද්ධියකින් අනතුරුව නව කුරුදුවත්ත පොලිස් ස්ථානය තුළ කලහකාරී තත්වයක් හට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විසින් පොලිස් කොමිසම වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා.
එමෙන්ම, මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අවසන් වනතුරු ගම්පොල – නවකුරුදුවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා සහ අදාළ පරීක්ෂා කිරීම සිදුකළ බව කියන නිලධාරින් දෙදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබාදීමටයි පියවර ගෙන ඇති බවද වාර්තා වෙනවා.
පසුගිය 29 වනදා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහෝදරියකගේ පුතුන් දෙදෙනෙකු ගම්පොල ප්‍රදේශයේදී යුක්තිය මෙහෙයුම අතරතුර පොලීසිය විසින් පරීක්ෂාවට ලක්කර තිබුණා.
මෙම සිද්ධියෙන් පසු මන්ත්‍රීවරයාගේ සහෝදරියගේ සැමියා තවත් බීමත් පිරිසක් සමඟ නවකුරුදුවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණ කලහකාරි ලෙස හැසිරී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙලෙස පරීක්ෂාවට ලක් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ, ඥාතී පුතුන් දෙදෙනෙකු බව දැනගත් අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඔවුන්ගෙන් සමාව ගන්නා ලෙස පරීක්ෂාව සිදුකළ පොලිස් නිලධාරින්ට දැනුම්දී තිබෙනවා.
මේ පිළිබඳව මධ්‍යම පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත ලිපියක් යොමුකරමින් කරුණු වාර්තා කර තිබුණා.
එහිදී වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඥාතී පුතුන්ගෙන් සමාව ගන්නා ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා නියෝග කර ඇත්දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
මේ වන විට අදාළ පොලිස් නිලධාරින්ගෙන් මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීරයාගේ සහෝදරියගේ සැමියාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
ඒ අනුව, පරීක්ෂණ අවසන් වනතුරු අදාළ පොලිස් නිලධාරින්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දීමට කටයුතු කර ඇති බවද වාර්තා වෙනවා.
උමන්දා කුලසිංහ
