gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මට බෑ... නීතීඥයෙක් ලවා කථාකරනවා - කෙහෙළියගේ ඉල්ලීම ඉවතට!

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රජයට රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ අතෘප්තියට පත් පාරිශ්වකරුවකු වශයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (10 වැනිදා) ප්‍රතික්ෂේප කළාය.
මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ සිට පහළ දක්වා වූ නිලධාරීන් සිටින අවස්ථාවක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දුනහොත්, අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු වීමට හැකියාව ඇතැයි කියමින්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය, නඩුවට මැදිහත් නොවී නීතිඥවරුන්ට වෙන් කර ඇති ස්ථානයට වී නඩු කටයුතු නිරීක්‍ෂණය කිරීමට කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාට අවසර දුන්නාය.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළ ‛අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය’ට සහ ‘සිවිල් සංවිධාන එකමුතුව’සංවිධානයට නඩුවේ අතෘප්තියට අතෘප්තියට පත් පාර්ශ්වකරුවකු වශයෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා සමග පෙනී සිටීමට නීතිඥ තර්කනාත් අමරසිංහ මහතාට අවසර දුන්නාය.සිද්ධිය සම්බන්ධයෙන් පැය තුන හමාරක පමණ කාලයක් පුරා දෙපාර්ශ්වයේ නීතිඥවරුන් දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය, සැකකකරුවන් ලබන මස 17 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයට පත්කළාය. සැකකරුවන්ට ඇප නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම් සම්බන්ධ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව ද මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටින බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපැයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපැයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපැයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් නමැත්තන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, සිද්ධියේ දෙවැනි සැකකාර, වෛද්‍ය සැපැයුම් අංශයේ හිටපු අධ්‍යක්‍ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රෝද පුටුවක ආධාරයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ 80 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඔහුට පැය 3ක කාලයක් රෝහලෙන් පිටුඞී සිටීමට දුන් අවසර මත ඔහු අධිකරණයට කැඳවාගෙන පැමිණි බව වෛද්‍ය වාර්තාවක් ද ඉදිරිපත් කරමින් බන්ධනාගාර නිලධාරීන් දැනුම් දුන් අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් නඩු විභාගය අවසන් වීමට පෙර ඔහු යළි කොළඹ ජාතික රෝහලට කැඳවාගෙන යෑමට මහේස්ත්‍රාත්වරිය අවසර දුන්නාය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කර, ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ' ඉමියුනෝ ග්ලෝබින් නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර, රජයේ රෝහල් වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට පත්කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය' සහ ' සිවිල් සංවිධාන එකමුතුව' කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී අනාවරණය වූ කරුණු මත අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් හත් දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින්, ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන පිටු 7 කින් යුත් වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා සමග පෙනී සිටි උප පොලිස් පරීක්ෂක යාලේවත්ත මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා අධිකරණය අමතමින්, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වලට බෙදා හැරීමෙන් රජයට වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට පත්කිරීමේ සිද්ධියේ මුල් පැමිණිලිකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතා වෙනුවෙන් නඩුවේ අතෘප්තියට පත් පාර්ශ්වකරුවකු වශයෙන් පෙනී සිටීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.ඒ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින්, ආචාර්ය සංජය පෙරේරා නමැත්තා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළ 2023 ඔක්තෝබර් 11 වැනිදාම අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය' සහ ‘සිවිල් සංවිධාන එකමුතුව වෙනුවෙන් කාමන්ත පෙරා නමැත්තා ද පැමිණිලි කර ඇතැයි කීවාය.

මෙම නඩුවට අදාළව සැකකරුවන් ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපළ පනත යටතේ බවත්, ඒ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ සිට පහළ දක්වා වූ නිලධාරීන් සිටින බවත් කී ගිරිහාගම මෙන විය, මෙය රටේ සමස්ත පොදු ජනතාවට එරෙහිව කරන ලද වරදක් වන හෙයින්, මෙහි නිශ්චිත අතෘප්තියට පත් පාර්ශ්වකරුවන් නැතැයි කීවාය. එවැනි තත්ත්වයන් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වන්නේ යැයි ද ඇය කීවාය. ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතු මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය, මෙම සිද්ධියෙන් අතෘප්තියට පත්ව ඇත්තේ ජනරජය බවත්, එහි සමස්ත ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටින බවත් කීවාය.

මහජන සුබසාධක නඩුකර නමැති සංකල්පය අනුව මහජන සංවිධාන වලට පෙනී සිටීමට අවසර දීමට හැකියාව ඇතැයි ද, මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංත්‍යාංශයේ ඉහළ සිට පහළ දක්වා වූ නිලධාරීන් සිටින අවස්ථාවක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දුනහොත්, අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු වීමට හැකියාව ඇතැයි ද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම ප්‍රතික්‍ෂේප කළ මහේස්ත්‍රාත් වරිය, නඩුවට මැදිහත් නොවී නීතිඥවරුන්ට වෙන් කර ඇති ස්ථානයට වී නඩු කටයුතු නිරීක්ෂණය කිරීමට ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතාට අවසර දුන්නාය.

රහස් පොලිසිය සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙන විය කරුණු දක්වමින් නඩුවේ 06 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ අවධානයට ලක් වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති කැබිනට් සංදේශ තුනක් අධිකරණ නියෝග මත අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් රහස් පොලිසියට බාරදී ඇතත් අමාත්‍ය ලේකම්වරයා සහ නියෝජ්‍ය ලේකම්වරයා විසින් පවත්වා ගෙන ගිය ගොනු බාරදී නැතැයි කීවාය.

මහේස්ත්‍රාත් ලෝවනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - එදින දුන් නියෝගයේ යම් අපහැදිලිකමක් තියෙනවාද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙන විය- නැහැ. එම නියෝගයේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මැයි 30 වැනිදාත් ඔක්තෝබර් 30 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති කැබිනට් සංදේශ තීරණ සහ ඊට අදාළ ගොනු ආදිය බාරදෙන ලෙස. අසාදුගත වී ඇති ඉන්දියානු සමාගමක් සහ තවත් සමාගම් හරහා ඖෂධ වර්ග 296 ක් ආනයනය කිරීමට අවසර ඉල්ලීමක් කර ඇතැයි ද මෙම ඖෂධ තෝරා ගැනීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් තොරතුරු රහස් පොලිසියට දීමට අතිරේක ලේකම් සමන් රත්නායක මහතාට නියම කරන්නැයි ඉල්ලා සිටි ලක්මිණ ගිරිහාගම මෙන විය මීට අදාළ ඇමිණුම් 04කට අදාළ තොරතුරු මෙන්ම කේවල් කිරීම් කළ අයැදුම්කරුවන් කවුද? යන්න පිළිබඳ හෙළි කිරීමට ද ඔහුට නියම කරන්නැයි කළ ඉල්ලීම්වලට මහේස්ත්‍රාත්වරයා අවසර දුන්නාය.

ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ' ඉමියුනෝ ග්ලෝබින් නමැති ප්‍රතිදේහ එන්නතක් ඩොලර් 130කට දීමට හැකි බව ' අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගමේ හිමිකරු වන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා මුලින් අදාළ ටෙන්ඩරය ඔහුට ලැබුණු පසු එන්නතක් ඩොලර් 123කට දීමට හැකි බව දැනුම් දුන්නත් සෞඛ්‍ය බලධාරීන් අදාළ එන්නත් ගෙන ඇත්තේ ඩොලර් 130 කටම බවත් පෙන්වා දුන් ලක්මිණි ගිරිහාගම මෙන විය මීට අදාළ කරුණු හෙළි කිරීමට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

රෝගීන්ට එන්නත් ගෙන ඒමට දුන් අවසරය ප්‍රයෝජනයට ගෙන සැකකරු ජලය පිරිසිදු කිරීමට ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් මෙරටට ආනයනය කර ඇතැයි ද ඖෂධ නියමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙම භාණ්ඩ සැකකරුට මුදා හැරියේ කෙසේද යන්න හෙළි කර ගැනීමට කරන විමර්ශනය සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් ගැනීමට ද අවසර දුන් නමුත් ඔහු මෙතෙක් ප්‍රකාශයක් දී නැතැයි කියමින් කළ ඉල්ලීමකට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය අධිකරණයේ පෙනී සිටීමට නියම කරමින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කළාය. අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගමේ හිමිකරු වන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු මහතාට අයත් සිදුවේ පිහිටි පරීක්ෂණාගාරය පරීක්ෂා කිරීමට පසුගිය 08 වැනිදා ඔහු එහි කැඳවාගෙන ගිය බවත් ස්ථානය පරික්ෂා කිරිම සඳහා එහි විදුලි සැපයුම ක්‍රියාත්මක කරන්නැයි දැනුම් දුන් විට විදුලි සැපයුම ක්‍රියාත්මක කරන ' ස්විචය ' ඇති ස්ථානය ඔහුට මතක නැති බව කී නිසා අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට නොහැකි වූයේ යැයි කියමින් ලක්මිණි ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය ස

ැපයුම ක්‍රියාත්මක කරන 'ස්විචය' ඇති ස්ථානය සොයා ගෙන විදුලිය සන්ධි කරන ලෙස සිදුවේ විදුලි බල මණ්ඩලයේ කළමනාකාරවරයාට නියම කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ දීමට නඩුවේ 02 සහ 03 වැනි සැකකරුවන් කැමැත්ත පළ කළ නිසා රහස් පොලිස් නිලධාරීන් බන්ධනාගාරයට ගොස් ඔවුන්ගෙන් ප්‍රකාශ ගත්තත් ඔවුන් මුලින් දුන් ප්‍රකාශයම දී ඇතැයි කියමින් අදාළ ප්‍රකාශවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කළ ගිරිහාගම මෙනවිය ලේඛන වල ඇති අත් අකුරු සහ අත්සන් 06 වැනි සැකකරුගේ බව සැකකටයුතු ලේඛන පරීක්ෂකවරයා විසින් තහවුරු කර ඇතැයි ද කීවාය. දෙවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා දැඩි රෝගී තත්වයකින් පසුවන බවත්, විශේෂඥ වෛද්‍යවරයා විසින් දුන් තාවකාලික අවසරයක් මත ඔහු අධිකරණයට කැඳවාගෙන විත් ඇති බවත්, ඉඳගෙනවත් සිටීමට ඔහුට ඇති අපහසුතාව හේතුවෙන් ඔහු යළි රෝහල වෙත යැවීමට නියම කරන්නැයි කළ ඉල්ලීමට අවසර දුන් මහෙස්ත්‍රාත් වරිය, නඩු විභාගය අතරතුර දීම ඔහු යළි රෝහලට ගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන්ට නියම කළාය.

04 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව ඇන්තනි මහතා කරුණු දක්වමින් ගණකාධිකාරිවරයකු වන තම සේවාදායකයා කර ඇත්තේ වර්චර් පත් ලිවීම පමණකැයි ද, මෙම නඩුවට පාදක ඖෂධ මේ වන විට ඖෂධ ගබඩා වලින් රෝහල්වලට ගොස් රෝගීන්ටත් දී අවසන් යැයි කීය.මහේස්ත්‍රාත් ලෝවන අබේවික්‍රම වීරසිංහ මහත්මිය -ලියාපදිංචිය අතහැරීමේ සහතිකය 04 වැනි සැකකරුට ලැබීමට පෙර මෙම නඩුවේ වෙනත් සැකකරුවන් එම සහතිකය පරීක්‍ෂා කර තියෙනවාද?

නීතිඥ සංජීව ඇන්තනි මහතා - ඔව්, එම සහතිකය නිරීක්ෂණය කළ යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය.-

ලියාපදිංචිය අතහැරීමේ සහතිකය ලබා ගැනීමට උදව් කරන ලෙස පළමු සැකකරු උදව් ඉල්ලූ විට ඔහු හමුවන ලෙසට 02 වැනි සැකකරු සටහන් දමා තියෙනවා. මෙම සියලු සැකකරුවන් එක්ව මෙම අපරාධය කළ යුතුයි. එන්නත් කුප්පි 22500ක් දීමට ටෙන්ඩරය ගත් පුද්ගලයකු එන්නත් කුප්පි 100 ක් ගෙනැවිත් දෙන විට ආනයනික ඖඖෂධ එසේ දෙන්නේ කොහොමද? කියා සාමාන්‍ය මනසින් බලන කෙනෙක් බැලිය යුතුයි. ආනයනික ඖෂධ ගෙන්වීමේ ක්‍රම වේදයක් තියෙනවා. එම ඖෂධ බාර ගන්නා ක්‍රම වේදයක් ද තියෙනවා. ඖෂධ නිෂ්පාදකයා විසින් නිෂ්පාදනාගාරයේ සිට ඖෂධ ගබඩාව දක්වා නිසි උෂ්ණත්වයකින් යුතුව ඖෂධ රැගෙනවිත් එම කරුණු සඳහන් වන ඩේටා ලොගර්' නමින් හඳුන්වන උපකරණය ද සමඟ එය බාරදිය යුතුයි. භාණ්ඩ බාරගන්නා විට 05 වැනි සැකකරු ඩේටා ලොගර් උපකරණය පරීක්ෂා කළ යුතුයි. නමුත් මෙම සිද්ධියේ දී එසේ වී නැහැ.06 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා කරුණු දක්වමින් අවශ්‍යතාවක් තිබුණා නම් මෙම සිද්ධියට පාදක ලියවිලි අස්ථානගත කිරීමට සැකකරුවන්ට හැකියාව තිබුණත් කිසිදු සැකකරුවකු එසේ කළේ නැතැයි කීය.

'පහත් තැනින් යයි ගලා ජදේ' කියන්නා සේ මෙම සිද්ධියට සම්බන්ධ ලොකු ලොකු අය අල්ලන්නේ නැතුව පොඩි අය ඇල්ලීමට රහස් පොලිසිය කටයුතු කර ඇතැයි ද, ප්‍රතිපුරුෂ වගකීම ' නිසා තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇතැයි ද කී නීතිඥ නුවන් ජයවර්ධන මහතා, තනිව තීරණ ගත නොහැකි තම සේවාදායකයාට හදිසි අවශ්‍යතා මත බව කියමින් ටෙන්ඩර් පත්‍රිකාවක් සමග ලැබුණු නියෝගයකට අනුව කටයුතු කිරීම නිසා මෙලෙස අත් අඩංගුවට පත්වීමට සිදු වූයේ යැයි ද කීය.

මහේස්ත්‍රාත් ලෝවනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගෙනැවිත් ඉන්දියානු නාමය යටතේ ඖෂධ දෙනවා කියා පළමු සැකකරු කර ඇති සඳහන ඔබේ සේවාදායකයා බලා තියෙනවාද?

නීතිඥ නුවන් ජයවර්ධන මහතා එය අධීක්ෂණ කිරීමට මගේ සේවාදායකයාට හැකියාවක් නැහැ. එය කළ යුත්තේ ඖෂධ නියාමන අධිකාරිය විසිනුයි. මගේ සේවාදායකයාට මේ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් නැහැ.07 වැනි සැකකරු වෙනුවෙන් නීතිඥ සංදීප්ත සූරිආරච්චි ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමඟ පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා තාක්ෂණ කමිටුවේ හෝ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයකු නොවන්නේ යැයි කීය.

2023 ජනවාරි 31 වැනිදා වන විට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇති මුදල්වල වලංගු කාල සීමාව ඉක්ම යන හෙයින් ඊට පෙර මෙම මුදල් වලින් අවශ්‍ය ඖෂධ ගන්නා ලෙස වෛද්‍ය චම්පිකා වික්‍රමසේකර මහත්මිය ලිපියක් මඟින් කළ දැනුම්දීමකට අනුව තම සේවාදායකයා කටයුතු කර ඇතැයි ද ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇති මුදල් වලින් ඖෂධ ගැනීමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඇතැයි ද ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇති මුදල් වලින් හෝ වෙනත් අරමුදල් වලින් ලබාගත් ඖෂධ වෙනුවෙන් ' සැවරිටා ෆාර්මා සූටිකල්' ආයතනය සහ වෙනත් අයට මුදල් ගෙවීමට ඔහු අවසර ඉල්ලා ඇතැයි ද කී නීතිඥ චමින්ද අතුකෝරල මහතා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා දින 45 ක් තුළ ගෙවීම් කරන ලෙසත් ප්‍රමාද වුවහොත් සියයට 3ක අධිභාරයක් ගෙවීමට සිදුවෙන බවත් ලිඛිතව දැනුම් දී ඇතැයි ද කීය.

රහස් පොලිසිය තම සේවාදායකයා මෙම නඩුවේ සැකකරුවකු කර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සහ වෛද්‍ය චම්පිකා වික්‍රමසේකර මහත්මියට එරෙහිව ඇති නඩුවේ හොඳම සාක්කිකරු වන තම සේවාදායකයා ඉන් ඉවත් කිරිමට කටයුතු කර ඇතැයි ද නීතිඥ චමින්ද අතුකෝරල මහතා වැඩිදුරටත් කීය. පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා කරුණු දක්වමින් නිර්දෝෂී තම සේවාදායකයාට එරෙහිව නඩු පැවරීමට හැකියාවක් නැතැයි ද ඔහු කුඨ ලේඛනයක් තබා කිසිදු ලේඛනයක් සකස් කර නැතැයි ද මේ තත්වය යටතේ ඔහු මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.

ලක්මිණි ගිරිහාගම මෙන විය වැඩිදුරටත් කරුණු දක්වමින් ,මෙම නඩුවේ සැකකාර රාජ්‍ය නිලධාරීන් කටයුතු කර ඇත්තේ ජනරජයට පාඩු වන අන්දමට හා සැකකාර ටෙන්ඩර්කරුට වාසි වන අයුරින් යැයි කීවාය.

ඖෂධ 182 ක් නොමැති වීම හේතුවෙන් ඉදිරි සති 03 ක කාලය තුළදී රට කඩා වැටීමට ඉඩ ඇතැයි කියමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට්ටුවට ඉදිරිපත් කළ ලේඛනයක් හේතුවෙන් 05 කාලයක් තුළ ඖෂධ සැපයීම සඳහා පළමු සැකකරුට ටෙන්ඩරය දුන්නත්, මාස 04 ක කාලයක් ගතවන තුරු අදාළ ඖෂධ සපයා නැතැයි ද ඒ වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉමියුනුග්ලෝබින් නමැති ඖෂධය මාත්‍රා 75000ක ප්‍රමාණයක් ලබාදීමට එකඟතාවය පළ කර තිබියදී මෙන්ම මාසයකට අවශ්‍ය ඖෂධ රට තුළ තිබියදී මෙම වංචාවට පාදක වූ ඖෂධ ගැනීමට රුපියල් බිලියනයක මුදලක් නිකුත් කිරීමම රාජකාරීමය නොසළකා හැරීමට එහා ගිය වංචාවක් නොවන්නේ දැයි ප්‍රශ්න කළාය.

මෙහි සැකකරුවන්ගේ වරදකාරිවත්වය සම්බන්ධයෙන් සාක්කි ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් විසින්ම බවත්, පුද්ගලයන්ට බොරු කළ හැකි වුවත් ලේඛන වලට සා පරවේෂණීය කරුණුවලට බොරු කළ නොහැකි යැයි කී ගිරිහාගම මෙනවිය මෙම නඩුවේ වරදකරුවන් වන විත්තිකරුවන්ට රුපියල් ලක්‍ෂ 4000 කට අධික දඩ සහ වසර 20 වැඩි කිරීම චෝදනා 08 බැගින් වන දඬුවම් වලට යටත් වීමට සිදුවන බව මතකයේ තබාගන්නැයි ද කීවාය. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැඳීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත් වරිය සැකකරුවන් ලබන මස 17 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ අතර, සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළාය.

මනෝප්‍රිය ගුණසේකර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka