gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රොෂාන් රණසිංහ කොටු කරන්න ගහපු ප්ලෑන් එක BBC එක හෙළිකරයි

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වය මේ වන විට දේශපාලන වේදිකාව උණුසුම් කරන මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට අයත් බව කියන දඹුල්ල ප්‍රදේශයේ පිහිටි වාහන අමතර කොටස් අලෙවිසලකින් තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කළ බව කියන ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා සොයාගත් බව කියන සිද්ධියත් සමගය.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් නොවැම්බර් 27 වැනිදා පවසා සිටියේ තමන්ව කොටුකර ගැනීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඊට රටේ විධායකයද සම්බන්ධ බවයි.

‘මාව කොටුකරන්න ජනාධිපතිතුමා ලස්සනට ප්ලෑන් කරනවා…’

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේදී පාර්ලිමේන්තුවට පැමිණ තමන්ව කොටුකර ගන්න සැලසුමක් සකස් කළ බවයි. ඒ සම්බන්ධයෙන් සිදුකළ බව කියන මෙහෙයුමද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විස්තර කළේය.

‘දැන් ගිය සතියේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මාව ෆ්‍රේම් කරන්න (කොටුකරන්න) ලස්සනට ප්ලෑන් කරනවා. ඒකට මම ස්තුතිය පුදකරනවා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටත්, එතුමාට මුණගැහිලා තියෙනවා චරිත්ව සිනමන්ග්‍රෑන්ඩ් එකේදී. එතුමා එහිදී කියා තියෙනවා රොෂාන් අයියට පරිස්සම් වෙන්න කියන්න. රනිල් කියන්නේ නයෙක්, ඔය නයා කොයි වෙලාවේ රොෂාන් අයියට දෂ්ට කරයිද දන්නේ නැහැ කියලා. නයා හොඳයි, නයා පෙනේ පුප්පන්න ඕනෙ වැරදි තැනට. ඒත් නයා දෂ්ට කරන්න හදන්නේ කාටද? මේ දූෂණය හොරකම වංචාව අල්ලලා දුන්නු මටද? මේ 225 දෙනා ඇතුළේ ඉඳලා එහෙයි එහෙයි කියලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පාවලා දෙන්න මම කැමති නැහැ….’


‘ජනාධිපතිතුමා ඇවිල්ලා කියනවා මම ගරු අධිකරණයට අපහාස කරනවා කියලා. මම එදා පැහැදිලිවම කිව්වා මේ රටේ ගරු අධිකරණය සහ විනිසුරුවරුන් පිරිසිදුයි කියලා. අධිකරණය ගැන පැහැදිලි විශ්වාසයක් අපිට තියෙනවා. මම එතැනදී කිව්වා එක විනිසුරුවරයකුගේ ළබැඳියාව ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා….’


‘මෙතැන බැලුවේ මාව කොහොමද ෆ්‍රේම් කරන්නේ කියලා. මාව ෆ්‍රේම් කරන්න යැව්වේ වලානෙන්. එතකොට වලාන දූෂණ මර්දන ඒකකයේ ඉන්න මිනිස්සුන්ටත් හිතක් පපුවක් තියෙනවා නේ. මේ මිනිස්සුන්ට කියලා තියෙන්නේ ඉස්සෙල්ලාම යන්න කියල කුරුණෑගලට. ගියාට පස්සේ දන්නේ නැහැ කොහෙටද යන්නේ කියලා. ඊට පස්සේ කිව්වා ගලේවෙලට යන්න කියලා. ගලේවෙලට ගියාට පස්සේ කිව්වා ඔය පාලම ළඟ දකුණට දැම්මම තියෙන්නේ යුරෝ නිපොන් එක. යුරෝ නිපොන් කියන්නේ රොෂාන් රණසිංහගේ ගෲප් එකේ ආයතනයක්. ප්‍රශ්නයක් තියෙනව නම් ඒ ගැන කටයුතු කරන්න. මගේ ආයතන වටලන්න අවශ්‍යයි කියලා කිව්ව නම් මගේ ආයතනයේ යතුරු කැරැල්ල මම ඔබතුමාට (කතානායකවරයාට) ගෙනල්ලා දෙනවා. ඔබතුමාට මම අද දෙන්නම් මගේ ආයතන අටේම යතුරු කැරැල්ල. මේවා එකින් එක පරීක්ෂා කරන්න. ප්‍රශ්නයක් නැහැ…’


‘නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා කිව්වා මෙහෙම වාහනයක් තිබ්බා, බදු ගෙවලා නැහැ කියලා. ඊට පස්සේ යුරෝ නිපොන් ආයතනය වටලලා ගත්තේ කියලා. පුවත්පත්වල පළකරලා තියෙන අසත්‍ය ප්‍රවෘත්තිය බලන්න. මගේ ආයතනයේ තිබිලා වාහනයක් අරගෙනත් නැහැ. යුරෝ නිපොන් ආයතනයට ඒකේ අයිතියකුත් නැහැ. රොෂාන් රණසිංහගේ නමට එකේ අයිතියකුත් නැහැ, මොනවාද මේ දාන්නේ? ඊට පස්සේ විජිත හේරත් මන්ත්‍රීවරයා එළියේ ප්‍රකාශ ඉදිරිපත් කරනවා. දැන් මේ පත්තරෙනේ තියන්නේ.’


‘දැන් මේ එක පැත්තකින් කියනවා මම අධිකරණයට අපහාසයක් කරන්න හැදුවා කියලා ජනාධිපතිතුමා කියනවා. එතැනින්ම ටීම් එකක් යනවා දඹුල්ලට. මොකද එක පැත්තෙන් ලස්සනට අධිකරණයට මම ගැන වෛරයක් ඇති කරනවා, මේ පැත්තෙන් කියනවා මේ මගේ එකක් කියලා අල්ලලා දාන්න කියලා. මම හොරකම අල්ලලා දුන්නට මේකද කරන්නේ? මම කැබිනට් මණ්ඩලයේ ඉන්නේ ලක්ෂ 69 ජනවරමත් එක්ක. එතුමාට පුළුවන් ඕනෑම වෙලාවක මාව අයින් කරන්න. මම පාර්ලිමේන්තුවේ ඉන්නේ මහජනයාගේ ඡන්දයෙන් ඇවිල්ලා. එහෙම පලිගන්න එපා. ඒ පලිගන්නකම් ආණ්ඩුවත්, විපක්ෂයවත් බලන් ඉන්නවද කියල මම දන්නේ නැහැ. ඕනෙ දෙයක් කරන්න ඇරලා අගමැතිතුමා.’


‘මගේ ජීවිතය නැතිවෙන්න පුළුවන්. මාව මහමග මරලා දාන්න පුළුවන්. ඒක අදද, හෙටද අනිද්දාද කියලා දන්නේ නැහැ. ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත් ඉඳලා ඒකට වගකියන්න වෙයි මේ යන විදිහට. හැබැයි මේ 134ක් ඡන්දේ දුන්නේ එතුමාට ජනාධිපතිවෙලා අපෙන් පලිගන්නද කියලා ප්‍රශ්නේ තියෙනවා.’ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කැබිනට් මණ්ඩලයේදී සිදුවූ දෙය ගැන හෙළිදරව්වක්

ක්‍රීඩාව සම්බන්ධයෙන් අතුරු කමිටු පත්කිරීමේදී එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු බවට වූ කැබිනට් නියෝගයක් ගෙන තිබීමද තමන්ට නොදන්වා සිදුකර ඇති එකක් බව මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේය. ඒ සම්බන්ධයෙන් සිය කතාවේදී ඔහු දක්වා සිටියේ මෙවන් අදහසකි.

‘මේ විදියට ගහනවා කැබිනට් නියෝගයක්. ඒක කැබිනට් එකේ හිටපු ඇමැතිවරු දන්නේ නැහැ. 1973 දී ක්‍රීඩා පනතෙන් ක්‍රීඩා අමාත්‍යවරයට බලය ලබාදී තියෙනවා අතුරු කමිටු පත්කරන්න කියලා. අපිට හොරු රකින්න බැහැ. නමුත් මේ කැබිනට් පත්‍රිකාවෙන් කියන්නේ මොකක්ද? පනතෙන් දීපු බලය කැබිනට් මණ්ඩලය කියනවා අතුරු කමිටු පත්කරන්න එපා කියලා. පත්කරනවා නම් කැබිනට් අනුමැතිය ගන්න ඕන.’


‘මේක ගත්තු විදිහ කොහොමද? මම ගිය සතියේ සඳුදා සවස 3ට කැබිනට් මණ්ඩලයට ක්‍රිකට් ගැන කැබිනට් පත්‍රිකාව අලි සබි්‍ර ඇමැතිතුමා යොමු කළා. ඒ ගැන සාකච්ජා කළා. මම හිතුවා ක්‍රිකට් ගැන කතාව අවසන් කියලා.’

‘එදා සවස 4.20ට ඔබතුමාගේ (කතානායකවරයාගේ) ආරාධනය තිබ්බ නිසා මම පාර්ලිමේන්තුවට ආවා. ඊට දවස් 4කට පස්සේ මම දකිනවා මේ වගේ කැබිනට් තීන්දුවක් අරන් කියලා. පස්සේ මම ඇමැතිවරුන් කිහිප දෙනකුගෙන්ම ඇහුවාම ඔවුන් කිව්වා එහෙම තීරණයක් ගත්තේ නැහැ කියලා. කැබිනට් මණ්ඩලයේ මම ඉඳලා, මගේ බලතල මමම කප්පාදු කරගත්තා කියලා, රටට කිව්වම ඒක ප්‍රශ්නයක්. මම එවෙලේ හිටියේ නැහැ.’ ඔහු කියා සිටියේය.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකර ඇති බව කියන තවත් වංචා ගැන හෙළිදරව්වක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකර ඇති බව කියන තවත් වංචා කිහිපයක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මෙහිදී හෙළිකර සිටියේය. ඔහු පැවැසුවේ ක්‍රීඩාංගණවල LED තිර ගෙන ඒමේදී එම වංචා සිදුකර ඇති බවයි.

‘ක්‍රිකට් එකේ දූෂණ නැහැ කියන නිසා මේ ටිකත් කියන්න ඉඩදෙන්න. මේ අය ගේනවා LED තිර ක්‍රීඩාංගණ තුනකට. මේ ආයතනය LED තිර ඇණවුම් කරන්නේ ටෙන්ඩර් එක ලබාදෙන්න දින දෙකකට කලින්. ඔන්න ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක වෙන විදිහ. ගේන්නේ ඇමෙරිකානු ඩොලර් 29,000කට. ඒ කියන්නේ ලක්ෂ 97යි. රේගුවෙන් කියනවා මේ ගාන මදි. ඒ නිසා තවත් අමතරව ඩොලර් 20,000ක් වැලිව් කරලා තියෙනවා. ඒ අනුව බද්ද ගෙවලා තියෙනවා ලක්ෂ 65ක්. එතකොට සම්පූර්ණයෙන් ලක්ෂ 167ක් ගෙවලා තියෙනවා. මේක ටෙන්ඩර් එක දීලා තියෙන ගාන කියද දන්නවද? ලක්ෂ 2,340ක්. තව පේමන්ට් කරන්න තියෙනවද දන්නේ නැහැ. මොකද ලියකියවිලි එවන්නේ නැහැ.’


‘මේ ඊළඟ එක. මධ්‍යම පළාත් ක්‍රීඩා සංගමයේ අක්‍රමිකතා ගොඩක් තියෙනවා. ක්‍රීඩා විශ්වවිද්‍යාලය, ඒ වගේම ක්‍රිකට් භාණ්ඩ මිලදී ගැනීම්. මේ අනිත් එක. ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් එකේ තීන්ත ගාන්න ලක්ෂ 720කට සයිනෝමෙට් කියන ආයතනයට දෙනවා. මේ සයිනෝමෙට් කියන්නේ ක්‍රිකට් එකේ ඉන්න ඥාතීන්ගේ එකක්. මේක දීලා තියෙන්නේ උදය අලහකෝන් කියන කෙනාට. උප කොන්ත්‍රාත්තුවක් ලබාදීලා තියෙනවා ලක්ෂ 280කට. එතකොට ලක්ෂ 720කින් ලක්ෂ 280ක් අඩු වුණාම ඉතුරු එක ලාභය. මෙන්න ඊළඟ දූෂණය සහ වංචාව.’ ඔහු කියා සිටියේය.

‘මගේ ජීවත්වීමේ අයිතිය ලබාදෙන්න’

රටේ වංචාව දූෂණ ගැන කතා කළ තමන්ගේ ‘ජීවත් වීමේ අයිතිය‘ ලබාදෙන ලෙසද මෙහිදී රොෂාන් රණසිංහ අමාත්‍යවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

‘මම මේ රටේ කතා කළේ දූෂණය සහ වංචාව ගැනයි. ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවට ගිහින් කියනවා දුෂණය වළක්වන්න ඕන කියලා. එතකොට කොහොමද මම නොකියපු දෙයකින් අධිකරණය මාත් එක්ක තරහක් ඇතිකරන්න හදලා එක පැත්තකින් මාව ෆ්‍රේම් කරන්න හදනවා.’

‘කියන්න බැහැ අර රන්ජන් කනකසබේ වගේ රේගු නිලධාරියා ළඟට සල්ලි මල්ලක් එකෙක් අරන් එනවා, ඒ එක්කම අල්ලස් දූෂණ කොමිසමෙන් ඇතුළට එනවා. කෝ ආරක්ෂාවක්? අනිත් පැත්තෙන් කුඩු ටිකක් ගෙනල්ලා දායි.’

‘මම හැමදාම රොෂාන් රණසිංහ, අද මේ ඇමැති මණ්ඩලයේ 30 දෙනා ඇතුළේ ඉන්න මගේ ආරක්ෂාව සහ මගේ ආයතනය වටලන්න විධායකයේ මැදිහත්වීම් පිළිබඳ මම කනගාටු වෙනවා. මේ රටේ මගේ ජීවත්වීමේ අයිතිය ලබාදෙන්න, මගේ බිරිඳ සහ දරුවෝ වෙනුවෙන් මට ජීවත් වෙන්න අයිතිය ලබාදෙන්න. ලෝකයේ වෙනත් රටවලට සරණාගත වීසා අරන් යන්න මම සූදානම් නැහැ. මේකට ඉඩ දෙන්න එපා.’ ඔහු කියා සිටියේය.

ජනාධිපති උපදේශකට චෝදනාවක්

මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජනාධිපතිවරයාගේ උපදේශකවරයා ලෙස කටයුතු කරන සාගල රත්නායක හටද චෝදනා එල්ල කර සිටියේය. තමන් ඇතුළු 134 දෙනාගේ ඡන්දයෙන් ජනාධිපතිවරයාව බලයට ගෙනාවේ, සාගල රත්නායක වැනි පුද්ගලයන්ට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහිතව වාහන 4 – 5කින් ගමන් යන විට තමාට ලබාදී ඇති ආරක්ෂාව කුමක්දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය.

මේ ක්‍රිකට් ප්‍රශ්නය අවසන් නොවුණොත් මීළඟජනාධිපතිවරණයේදී එය අවසන් කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

‘මගෙන් ජොන්ස්ටන් මන්ත්‍රීතුමා ඇහුවා කවද්ද ඇමැතිතුමා මේ ප්‍රශ්නය ඉවර වෙන්නේ කියලා. මට ඕන මේක ඉවර කරන්න. මේ විගණන වාර්තාවෙන් හෙළිකරපු රටේ ක්‍රිකට් විනාශ කරපු අය ගෙදර යවන්නයි මට අවශ්‍ය. ඒ දේ දැන් කරන්න බැරි වුණොත් ඊළඟ ජනාධිපතිවරණයේදී හරි කරනවා.’ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

මන්ත්‍රී නාමල් ප්‍රතික්ෂේප කළ ක්‍රීඩා ඇමැතිගේ ප්‍රකාශය

මේ අතර, සිය කතාවේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සිදුකළ ප්‍රකාශය සත්‍ය නොවන බවත් එය ඉල්ලා අස්කර ගන්නා ලෙසත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේය. චරිත් නමැති පුද්ගලයකු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බව මන්ත්‍රීවරයා එහිදී පැවැසුවේය.

‘පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවාවෙලා මේ බොරු කියන එක සහ ජනතාවට මඩගහන එක ගැන තියෙන ස්ටෑන්ඩින් ඔඩ්ර්ස් ඇමන්ඩ් කරන්න වෙනවා. නැත්නම් මේක සීමාවක් නැතිව තුන්වැනි පාර්ශ්වයේ ප්‍රකාශ වෙනම තැනකට ගෙනියනවා. මට එහෙම කරන්න අවශ්‍යතාවක් නැහැ. රොෂාන් ඇමැතිතුමා කියන්නේ මගේ මිත්‍රයෙක්. මම එතුමාට චෝදනා කරනවා නෙමෙයි. ඒ නිසා මට අවශ්‍ය නම් එතුමාට ඒ ගැන කෙළින්ම කියන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්න කියලා මම එතුමගෙන් ඉල්ලා සිටිනවා.’ මන්ත්‍රීවරයා පැවැසුවේය.

මෙහිදී මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නැවතත් ක්‍රීඩා අමාත්‍යවරයා පැවැසුවේ තමන්ට එම ප්‍රකාශය සිදුකළ තැනැත්තා වගකීමෙන් සිදුකළ එකක් බවට තමන් හමුවේ කියා සිටිය බවයි.

නාමල් මන්ත්‍රීවරයාගේ ඉල්ලීම අනුව තමන් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට කැමැති බවත්, තමන්ට එරෙහිව පලිගැනීමක් සිදුවෙමින් පවතින බවට පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන් සමග කියා සිටිය බවද මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේය.

‘මගේ අතේ තාම ඒ කරගැට තියෙනවා’

1993 වර්ෂයේදී වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා ජපානයට ගිය තමන් එහිදී දැඩි කැපවීමක් දරමින් අධ්‍යාපනය හදාරන අතර වාරයේදී රටවල් 5ක ව්‍යාපාර ගොඩනැගීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේය.

‘මම රට යනකොට මගේ අම්මා රුපියල් ලක්ෂයක් අතට දීලා කිව්වා, පුතේ මට දෙන්න තියෙන්නේ මෙච්චරයි කියලා. මම ජපානයට ගිහිල්ලා වැඩිදුර අධ්‍යාපනය හදාරන ගමන් ගොඩක් දුක් වින්දා. මම පාන්දර 5 ඉඳලා රාත්‍රී 2ක වෙනකම් වැඩ කරලා රටවල් 05ක ව්‍යාපාර ගොඩනැගුවා. මගේ අතේ තාම ඒ කරගැට තියෙනවා.’ ඔහු කියා සිටියේය.

මුහුණ දෙන්න සිදුවූ අතීත සිදුවීම්


මේ අතර 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් පසුව තමන්ට මුහුණ දීමට සිදුවූ කරුණු කිහිපයක් පිළිබඳවද ක්‍රීඩා අමාත්‍යවරයා මෙසේ හෙළිදරව් කළේය.

‘මෛත්‍රිපාල සිරිසේන මහත්තයා බලයට ඇවිල්ලා ඉස්සෙල්ලාම, පොළොන්නරුවේ මගේ නිවෙසට ඇවිල්ලා පොලිසියෙන් කියනවා නිවෙසේ තිබ්බ සංස්ථා සිමෙන්තිවල තියෙන්නේ රාජ්‍ය ලාං‍ඡනය කියලා. එහෙම කියලා රාජ්‍ය ලාංඡනය තියෙන සිමෙන්ති තිබ්බා කියලා පොලිසියෙන් පැමිණිල්ලක් දානවා. පස්සේ මේක ජනාධිපතිවරයාට ආරංචි වෙලා පස්සේ පොලිසියෙන් අහලා තියෙනවා තමුසෙලාට පිස්සුද, ඔය රාජ්‍ය ලාං‍ඡනය තියෙන්නේ සංස්ථා සිමෙන්තිවල කියලා.’

‘ඊට පස්සේ මම විපක්ෂයේ දේශපාලනය කරද්දී මම අමතර කොටස් ව්‍යාපාරිකයෙක්. මම හාල් පොල් විකුණන්නේ නැහැ. ඒ අමතර කොටස් ව්‍යාපාරයේ කන්ටේනර් 18ක් පරීක්ෂා කරන්න මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ එතුමාගේ කණ්ඩායමේ නියෝග මත කටයුතු කළා. ඒ ඔක්කොම නීත්‍යනුකුලව ගෙනල්ලා තියෙද්දී.’

‘එදා ලිප්ටන් වටරවුමේ කරපු උද්ඝෝෂණයේ වාහනයේ ඉඳලා මගේ වාහන 15ක් රස පරීක්ෂක ළඟට ගෙනිහින් පරීක්ෂා කළා. ඒකයි මේ රටේ ජඩ දේශපාලනය. ඒ මම විපක්ෂයේ නිසා.’ ඔහු කියා සිටියේය.

‘අහලා තියෙනවද මම පික්පොකට් ගහලා කොමිස් ගහලා කියලා?’

2009 වසරේදී දේශපාලනයට පැමිණි තමන් කොමිස් හෝ වෙනත් ලාභ ප්‍රයෝජන ගෙන ඇති බවට කවුරුන් හෝ ප්‍රකාශ කර තිබේදැයි මෙහිදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

‘මේ රටේ එක නීතියක් දූෂණයෙන් තොර රටක් කියන තේමාවත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රට හදයි කියලා රටේ මිනිස්සුන්ට විශ්වාසයක් තියද්දී මටත් ඒ විශ්වාසය ආවා. දන්නවානේ සිරිසේන ජනාධිපතිවරයා, එතන මුදල් බලය, පවුල් බලය, විධායකය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදිහට බලය. ඒ ඔක්කොමත් එක්ක දත් 32ක මැද තියෙන දිව වගේ මම වැඩ කළා.’

‘මම මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා විදියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතේ වැඩ කළා. ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයා විදියට සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා විදියට වැඩ කළා. අහලා තියෙනවද රොෂාන් රණසිංහ ඇමැතිවරයා එක රුපියලක් පික්පොකට් ගැහුවා කොමිස් ගත්තා කියලා. එක චෝදනාවක් එල්ලවෙලා තියෙනවාද?’ ඔහු විමසා සිටියේය.

69 ලක්ෂයේ ජනවරම සමග පාර්ලිමේන්තුවට තමන් පැමිණි පිරිස සමග රටේම වැඩිම ප්‍රතිශතයක් ඡන්ද හිමිවූ දසවැනියා තමන් බවද මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරේ

කෙසේ වෙතත් අද (නොවැම්බර් 27 වැනිදා) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී කළ මෙම විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා හා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය ධුරවලින් ඉවත් කරනු ලැබ තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහු වෙත ලිපියක් යොමුකරමින් දැනුම්දී ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව සියලු අමාත්‍ය ධුරවලින් ඔහු ඉවත් කරනු ලබන බවයි.

BBC සිංහල වෙබ් අඩවියෙනි
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka