දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ස්වයං ප්‍රකාශිත දිවැසිවර ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන ඇප අයදුම්පත ජනවාරි මස 04 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය. එම නියෝගය ලබා දුන්නේ මෙම පෙත්සම අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනුකර විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී පෙත්සම්කාර ජෙරම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු කිතුණු භක්තිකයකු බැවින් ඉදිරියේ එළඹෙන නත්තල් සමය සැලකිල්ලට ගෙන පෙත්සම අද දින විභාගයට කරන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට විරෝධය පළ කළ ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම පෙත්සම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
සිරිපාලට සහ සෝමපාලට අදාළ වන නීතිය දේවගැති ජෙරම් ප්‍රනාන්දුටද අදාළ විය යුතු බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම සැකකරු මාස ගණනාවක් අධිකරණය මඟහැර සිටි පුද්ගලයකු බවත් නීතිය ඉදිරියේ කිසිදු පුද්ගලයෙකුට සුවිශේෂී වරප්‍රසාද හිමි නොවිය යුතු බවත් සඳහන් කළේය. එබැවින් මෙම පෙත්සම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ විභාගයට ගන්නා ලෙසත් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ජ්‍යෙෂ්ඨ රජය නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
මෙම අවස්ථාවේදී විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ද පෙන්වා දුන්නේ වග උත්තරකරුවන්ට විරෝධතා ගොනුකිරීම සඳහා අවස්ථාව ලබා දී අදාළ පෙත්සම සාමාන්‍ය පටිපාටියට යටතේ විභාගයට ගැනීම සුදුසු බවය.
ඒ අනුව අදාළ පෙත්සම ජනවාරි මස 4 වන දා විභාගයට ගන්නා බවත් විනිසුරුවරයා නියෝග කළේය.
බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මකව ප්‍රකාශයක් සිදුකිරීම තුළින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොටුව මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය දෝෂ සහගත බවත් තමන්ව ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලමින් දේව ගැති ජෙරම් ප්‍රනාන්දු සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම පෙත්සම කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබේ.- දෙරණ