පානදුර නගරයේ දී සිම්පත් අලෙවි නියෝජිතයෙකුගේ පාදයකට මන්නයකින් පහර දී රුපියල් ලක්ෂ එකහමාරකට අධික වටිනාකමකින් යුත් සිම්පත්, මුදල් සහ ජංගම දුරකථනය කොල්ලකෑම, බණ්ඩාරගම පෞද්ගලික බැංකුවක ATM කුටිය අසලට කඩා වැදී පුද්ගලයකුට මන්නා පහරවල් පහක් එල්ලකර රුපියල් ලක්ෂ එකහමාරක් කොල්ලකෑම සහ ගෝනදූව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බියවැද්දීම යන අපරාධ පැයක් ඇතුළත සිදුකර පලාගොස් සිටි සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි පූස් කොටා නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන 27 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ ගෝලයා බව කියන 18 හැවිරිදි අයෙක් බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු යුධහමුදා ගජබා රෙජිමේන්තුවේ හිටපු සෙබළෙකු බවද සඳහන් වේ.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ අයිස් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය තිබූ බවද පොලිසිය කීය.
සැකකරුවන් ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අපරාධ සිදුකිරීමට යොදාගත් මන්නා පිහි දෙක, බණ්ඩාරගම නගරයෙන් කොල්ලකෑ යතුරුපැදිය සහ විදෙස් රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගත් බවත් වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුව් නියෝග ලබාගැනීමට නියමිත බව පරීක්ෂණ සිදුකරන නිළධාරීයෙක් කීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් වැටලීම කර ඇත.
-සුමිත් පොතුපිටිය