එක්සත් ජාතික පක්ෂය ඇතුළේද පසුගිය සතියේ ලොකු ගැටුමක් සිදුව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා විය. එම තොරතුර වාර්තා වූයේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම්කිරීමට එජාපයේ ඉහළ පෙළ නියෝජිතයන් අතර සිරිකොතේ පැවැති සාකච්ඡාවකදී තීන්දු වී අති බවට මාධ්‍යවල පළව තිබූ පුවතක් පිළිබඳ විපරම් කර බැලීමේදීය. මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමේදී ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ලැබුණේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, සිරිකොතේ පැවැති මේ කියන සාකච්ඡාවේදී ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ වචනයක් හෝ සාකච්ඡා වී නොමැති බවත්, සාකච්ඡාවට සහභාගි වී සිටි එජාප සභාපති වජිර හා රවී කරුණානායක අතර උණුසුම් මතගැටුමක් සිදුව ඇති බවත්ය.
ජනාධිපතිවරයා සහභාගි වී නොමැති මෙම රැස්වීම පසුගිය දිනෙක පැවැත්වී තිබුණේ සභාපති වජිරගේත්, මහලේකම් රංගේගේත් ප්‍රධානත්වයෙනි. එහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ලක්ව ඇත්තේ එජාපයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳවය. මෙහිදී කොළඹ දිස්ත්‍රික්කය මුල්කරගෙන සිදුකිරීමට නියමිත ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේදී කොළඹ එජාප ප්‍රබලයා වන රවී හා පක්ෂ සභාපති වජිර අතර උණුසුම් සංවාදයක් සිදුව ඇති බව ආරංචිය. මෙහිදී රවී පක්ෂයේ ප්‍රබලයන්ට චෝදනා කරමින් අදහස් දැක්වීමට කටයුතු කර ඇති අතර ඊට වජිරත්, රංගේත් පිළිතුරු ලබාදීමට කටයුතු කොට තිබේ.
රවීට යකා නැගලා
එහිදී වජිර රවීට කෙළින්ම දැඩි දෝෂාරෝපණයක් එල්ල කරමින් කියා සිටියේ ‘ඔයා මොනවද දන්නේ? ඔයා ඉතින් නායකතුමා එක්ක නැතුව වෙන වෙන නායකයෝ හොයාගෙන ගිය එක්කෙනෙක්නෙ’ යැයි කියාය. වජිරගේ මෙම පිළිතුරු ලබාදීමත් සමග රවීටද යක්ෂාරූඪ වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව රවී උස් හඬින් කියා සිටියේ ‘ඕගොල්ලෝ මේ පක්ෂය ඩීල් දාලා කෑවා’ යැයි කියාය. එමෙන්ම මේසයට අතින් ගසමින් නැගී සිටි රවී තවදුරටත් වජිරත් රංගේටත් බැණවදිමින් කෑකෝ ගසා ඇති බවක්ද වාර්තා විය.
නමුත් ඊට පසු දින පුවත්පත්වල පළවූ පුවතෙහි මේ කිසිවක් සඳහන්ව නොතිබුණු අතර, එහි තිබුණේ එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සිරිකොතේ පැවැති රැස්වීමකදී රනිල්ව තෝරාගැනීමට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කටයුතු කොට ඇතැයි කියාය. අප ඒ පුවත පසුපස ඇති කතාව ඇත්තද නැත්තද යන්න සොයා බැලීමට කටයුතු කළේ එය වැදගත් ප්‍රවෘත්තියක් වන බැවින් ඒ සම්බන්ධයෙන් තහවුරු කොට නැවත වතාවක් වැඩිදුර තොරතුරු පාඨකයන්ට රැගෙන ඒම සඳහාය. නමුත් එහිදී අපට දැනගන්නට ලැබුණේ එම රැස්වීමේදී එවැන්නක් සිදුව නැති බවත්, රැස්වීමේ සිටි ප්‍රධානීන් අතර මහා ගාලගෝට්ටියක් පමණක් සිදුව ඇති බවත්ය.
-mawratanews