නාවික හමුදාව විසින් දෙවුන්දර සිට දකුණු දෙසින් කීලෝමීටර 540ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන කොළඹ වරායට ඊයේ (24) රැගෙන ආ රුපියල් බිලියන 4.5 (කෝටි 450) අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ 219 ග්‍රෑම් 634ක තොගයේ මෙරට ඇණවුම්කරුවන් ලෙස බූස්ස බන්ධනාගරයේ රඳවා සිටින දෙවුන්දර තමිල් සහ පැපොල් කලු නැමැති මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනාම බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
මෙම අපරාධකරුවන් දෙදෙනා ඒ අනුව රට තුළට ගෙනේනට සැලසුම් කර තිබූ දැනට අත් අඩංගුවට ගෙන ඇති මත්කුඩු ප්‍රමාණයේ වටිනාකම බිලියන 09 ඉක්මවයි.
ඊයේ කොළඹ වරායට රැගෙන පැමිණි, උර නවයක් (09) තුළ පාර්සල් දෙසීයක (200) ලෙස අසුරා තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 219 ගෑම් 634ක මත්ද්‍රව්‍ය තොගයත්, පසුගිය 22 දා දෙවුන්දර ගෙනා මත්කුඩු කිලෝ 200 ග්‍රෑම් 310ක මත්ද්‍රව්‍ය ප්‍රමාණයත් සමග මෙම බහුදින ධීවර යාත්‍රා දෙකෙන් අත් අඩංගුවට ගත් මත් කුඩු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 419යි ග්‍රෑම් 944කි.
අවස්ථා දෙකේදී අත්අඩංගුවට ගත් මත්කුඩු තොගය රටේ කුඩු පාතාලයන් ගණනාවකගේ ඇනවුම් මත පකිස්තානු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධිකරණය කර ශ්‍රී ලංකාව ආසන්නයේ ජාත්‍යාන්තර මුහුදු තීරයට ගෙන්වා ඇත්තේ ඩුබායිහී රැඳී සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු බවට තොරතුරු ද අනාවරණය වී ඇත.
මෙම ගෙනා මත්කුඩු තොගයේ බර ටොන් එකක් පමණ වනු ඇතැයි විමර්ශන අංශ පුරෝකථනය කරයි. එම යාත්‍රාව පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරට දකුණු මුහුදු තීරයට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවට පැමිණ තිබේ.
අනතුරුව මත්ද්‍රව්‍ය තොගය බෝට්ටු තුනකට පටවා ඇත. අනාවරණය වූ කරුණු මත බෝට්ටු දෙකක් අත් අඩංගුවට ගත් නමුත් ඉතිරි මත් කුඩු තොගය පටවා ගත් තුන්වැනි බෝට්ටුවක් ද තිබී ඇත. එම බෝට්ටුව සොයා මේ වනවිට නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
දෙවුන්දර තමිල් සහ පැපොල් කලූගේ මෙහෙයුම් වගකීම වී අත්තේ ජාත්‍යාන්තර මුහුදු සීමාවට පැමිණි මත් කුඩු තොගය රට තුළට ගෙන ඒම සඳහා පහසුකම් සම්පාදනය කර රට තුළ සිටින අනවුම්කරුවන් වෙත ලබා දීම බව හෙළි වී ඇත.
මත් කුඩු සමග අත් අඩංගුවට ගෙන දෙවුන්දරට වරායට ගෙනා බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් වන දෙවිනුවර පදිංචි නිහාල් ශාන්ත, ජයලාල් රණතුංග, සයුර දීපන්, ජයන්ත ඉහළගේ යන සැකකරුවන් සිවු දෙනා මේ මස 28 වන දින තෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා විමර්ශන කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (24) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අවසර ලබා දී ඇත.
ලංකාසර
