gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊශ්‍රායල්-හමාස් යුද්ධයෙන් ඉදිරි දින කිහිපය ලෝකයටම තීරණාත්මකයි

ජාත්‍යන්තර අවධානය මුළුමනින්ම යොමු වී ඇත්තේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සිදුවන යුද්ධය දෙසටය. පසුගිය සෙනසුරාදා අලුයම හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ අනපේක්ෂිත රොකට් ප්‍රහාරයත්, ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍ර­ායල හමුදාවෙන් ගාසා තීරයට එල්ලවන රොකට් ප්‍රහාරයත් දෙපාර්ශ්වයෙන්ම ජීවිත දෙදහසකට ආසන්න ප්‍රමාණයක් බිලි ගෙන ඇති අතර, තවදුරටත් අඛණ්ඩව රොකට් ප්‍රහාර හුවමාරු වෙමින් පවතී. මේ හදිසි යුද තත්ත්වයට යුක්රේන යුද අර්බුදය පවා යටපත් කරවනසුලු ජාත්‍යන්තර අවධානයක් යොමු වී ඇත්තේ දේශපාලනික සහ හමුදාමය වශයෙන් විසිවැනි සියවසේ මැද භාගය දක්වා දීර්ඝ ඊශ්‍රායල- පලස්තීන අර්බුදය හේතුවෙනි. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර අර්බුදය අඛණ්ඩව සිදුවන ලොව දීර්ඝතම අර්බුදයක් ලෙස ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් විසින් හඳුන්වනු ලබන අතර, ඉන් ජාත්‍යන්තරයට සිදුවූ බලපෑම් සුළුපටු නොවීය.

විශේෂයෙන් 1967 වසරේදී සිදුවූවාක් මෙන් ඊශ්‍රායල – අරාබි යුද්ධයක් කරා තල්ලු වී යෑමෙන් තත්ත්වය වඩාත් බරපතළ විය හැකි බව ද ලෝක නායකයෝ අවබෝධ කරගෙන සිටිති. දින හයේ යුද්ධය ලෙසත්, ජූනි යුද්ධය ලෙසත් හඳුන්වනු ලබන 1967 ජූනි මස 5 වැනිදා ආරම්භ වූ ඊශ්‍රායල -අරාබි යුද්ධය පැවතියේ දින 6ක් වුවද, ඒ දින 6දී සිදු වූයේ මහා විනාශයකි. දින හයේ යුද්ධයට හේතු වූයේ ඊට දශක දෙකකට පෙර දෙවැනි ලෝක මහා යුද්ධයේදී ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි හමුදාව යුදෙව් ජාතිකයන් මිලියන ගණනාවක් ඝාතනය කිරීමෙන් පසු පලස්තීන භූමියට පලා ගිය යුදෙව් ජාතිකයන් සිය ජනපදය ව්‍යාප්ත කිරීම නිසාය. අරාබි ලෝකයේ එසේ බිහි වූ ඊශ්‍රායලයට එරෙහිව අසල්වාසී ඊජිප්තුවේ මූලිකත්වයෙන් දින හයේ යුද්ධය ආරම්භ වූයේ එලෙසිනි. ඊජිප්තුවට එවකට සෝවියට් රුසියාවේ මිලිටරි සහයෝගයත්, ඊශ්‍රායලයට අමෙරිකාවේ මිලිටරි සහයෝගයත් ලැබීමෙන් තත්ත්වය වඩාත් බරපතළ විය. දින හයේ යුද්ධයෙන් මියගිය අරාබි ජාතිකයන්ගේ ප්‍රමාණය 10,000 – 15,000ක් අතර වන බවත්, ඊශ්‍රායල ජාතිකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ බවත් ඉතිහාසයේ සඳහන් වේ. දෙපාර්ශ්වයෙන්ම අත්අඩංගුවට සහ ප්‍රාණ ඇපයට පත්වූවෝද වෙති.

දින හයේ යුද්ධයේදී ඊශ්‍රායලයට සහාය දෙන රටවලට තෙල් අපනයනය සීමා කිරීමට අරාබි රටවල් ගත් පියවර සහ ලොවට බලපෑ තෙල් හිඟය ද මෙවර ඊශ්‍රායල – හමාස් සංවිධාන යුද්ධය ආරම්භවීමෙන් පසු ජාත්‍යන්තරයේ අවධානයට යොමුවූවාට සැකයක් නැත. පළමු දිනයේදීම ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල 4% කින් ඉහළ ගියේ එබැවිනි.

එවකට ඊජිප්තුවේ කොටසක් වූ ගාසා තීරයත්, ජෝර්දානයේ කොටසක් වූ බටහිර ඉවුර සහ නැඟෙනහිර ජෙරුසලමත් ඊශ්‍රායලය අත්පත් කරගත්තේ දින හයේ යුද්ධයේදීය. මෙවර හමාස් සංවිධානය ජෙරුසලමට රොකට් ප්‍රහාර එල්ල කළේ එම කලාපයේ පිහිටි ඓතිහාසික අල් අක්සා මුස්ලිම් දේවස්ථාන භූමියේ පසුගිය කාලය තුළ ඊශ්‍රායල පොලිසිය ඉස්ලාම් බැතිමතුන්ට සිදු කළ බව කියන හිංසනයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසත් වාර්තා වේ. හමාස් සංවිධානය තම මෙහෙයුම නම් කර තිබුණේද අල් අක්සා රැක ගැනීමේ මෙහෙයුම ලෙසිනි.

කෙසේ වුවත් වර්තමානයේදී දේශපාලන වශයෙන්, යුදමය වශයෙන් මෙන්ම භූමි කම්පා, ගංවතුර වැනි ස්වාභාවික ව්‍යසනවලින්ද බැට කමින් සිටින ලෝක ප්‍රජාව කොවිඩ් වසංගතයෙන් පසුබෑමට ලක්වූ ආර්ථිකයෙන් තවමත් පීඩා විඳිමින් සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලු සංවිධාන ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින යුද්ධය අවසන් කිරීමට කඩිනමින් විසඳුම් සොයන්නේ එබැවිනි.

එසේ වුවත් මේ යුද්ධයෙන් ලෝක තෙල් අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි උපකල්පනය කළ නොහැකි බව ලෝක ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. ඊට හේතු වී ඇත්තේ යුද්ධය පවතින්නේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මිස ඊශ්‍රායලය සහ පලස්තීනය අතර නොවන බැවිනි. එවකට ඊශ්‍රායලයට දරුණු ත්‍රස්තවාදීයකු මෙන් පෙනුණු පලස්තීනයේ හිටපු නායක යසර් අරෆත්ගේ ෆටා සංවිධානය සහ හමාස් සංවිධානය එකිනෙකට වෙනස් මාවතක ගමන් කරමින් සිටින පාර්ශ්ව දෙකකි. ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට පිවිසි ෆටා සංවිධානයත්, බොහෝ රටවල් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලේබල් අලවා ඇති හමාස් සංවිධානයත් අතර ඇත්තේ විශාල වෙනසකි. අනිත් අතට ෆටා සංවිධානයෙන් බිඳී ගිය කොටසක් ලෙස 1987දී බිහි වූ බව කියන හමාස් සංවිධානය සහ ෆටා සංවිධානය විරසකවී සිටින්නේ 2005 වසරේ සිටය. අනතුරුව ගාසා තීරයේ බලය හමාස් සංවිධානය සතු වූ අතර, පලස්තීන රාජ්‍යය කේන්ද්‍ර වී ඇත්තේ බටහිර ඉවුරේය. එසේ වුවත් පලස්තීනයට මෙන්ම හමාස් සංවිධානයටත් ඊශ්‍රායලය කෙරෙහි ඇත්තේ ඉතිහාසගත වෛරයක් බව දින හයේ යුද්ධය කදිම සාක්ෂියකි.

එක අතකින් මෙය මැදපෙරදිග යුද්ධයකි. හමාස් සංවිධානයට ඉරානයේ සහාය ලැබී ඇතැයි ඇතැම් බටහිර රටවල් චෝදනා කර ඇති අතර, ඉරානය එම චෝදනාව තරයේම ප්‍රතික්ෂේප කර තිබේ. අනිත් අතට සවුදි අරාබිය ඇතුළු සෙසු රටවල් හමාස් සංවිධානයට මෙතෙක් කිසිදු සහ­ායක් පළ කර නැත.

නමුත් මේ යුද්ධය ඊශ්‍රායල – පලස්තීන අර්බුදයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙසත් විශ්ලේෂකයෝ පවසති. මෙමඟින් හමාස් සංවිධානයට දරුණු පරාජයක් අත්කර දීමෙන් කලාපයේ සාමය ස්ථාපිත කිරීමේ පසුබිම නිර්මාණය වනු ඇතැයි ද අනාවැකි පළ වී තිබේ. එය එසේ වුවත් යුද්ධයට මැදි වූ සිවිල් ජනතාවට සිදුවන හානිය දෙපාර්ශ්වයම අවධානය යොමු කළ යුතු කරුණක් බවත් ජාත්‍යන්තර රටවල් අවධාරණය කර තිබේ. හමාස් සංවිධානය ඉවක් බවක් නැතිව ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර මෙන්ම ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන රොකට් වරුසාවෙන් පීඩාවට පත්වී ඇත්තේ සිවිල් ජනතාව බැවින් තත්ත්වය කඩිනමින් පාලනය කිරීම මැදපෙරදිග යුද්ධයක් දක්වා තල්ලුවීම, තෙල් අර්බුදයක් නිර්මාණය වීම තරමටම බරපතළ කරුණකි. ඊයේ වන විට ගාසා තීරයේ කොටු වී සිටින පලස්තීන ජනතාවට ඊජිප්තුවට පලා යන ලෙස ඊශ්‍රායල හමුදාව උපදෙස් සපයා තිබූ අතර, ඒ සඳහා ඊජිප්තු රෆා දේශසීමා දොරටුව විවර කර ඇත. එමෙන්ම ඊයේ පස්වරු 5.00ට පෙර පලා යන ලෙස බටහිර ඊශ්‍රායලයේ ජනතාවට හමාස් සංවිධානය අනතුරු අඟවා තිබිණි. ඉදිරි දින කිහිපය දෙපාර්ශ්වය අතර සටන් දරුණු අතට හැරෙන බව එමඟින් පැහැදිලිය.

ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහූ ඊයේ ප්‍රකාශ කළේ හමාස් සංවිධානයට එරෙහිව මෙය ඇරැඹුමක් පමණක් බවය. එය හමාස් සංවිධානයට ඉදිරියේදී සිදු විය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීමකි. එසේ වුවත් හමාස් සංවිධානයත් අඩියක් පසුපසට ගැනීමට සූදානම් නැති බව පෙනේ. ගාසා තීරයට එල්ල වන සෑම රොකට්ටුවකටම එක් ප්‍රාණ ඇපකරුවකු බැවින් ඝාතනය කරන බවට ඔවුන් අනතුරු අඟවා ඇත්තේ එබැවිනි. මේ වන විට හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 150කට අධික බවත්, ඒ අතර සැලකිය යුතු ප්‍රමාණයෙන් විදේශිකයන් ද සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව පුරා බොහෝ රටවල් දැනටමත් ඊශ්‍රායලයට සහාය පළ කරමින් ප්‍රකාශ නිකුත් කර ඇති අතර, ඔවුනොවුන්ගේ රටවල ඊශ්‍රායල ජාතික ධජය ප්‍රදර්ශනය කරමින් සහයෝගිතාව පෙන්නුම් කර තිබේ. පෙරේදා රාත්‍රී අමෙරිකාවේ ධවල මන්දිරය, බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල, ප්‍රංශයේ අයිෆල් කුලුන, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඔපෙරා හවුස් ආදී ප්‍රකට ස්ථාන ආලෝකවත් කර තිබුණේ ඊශ්‍රායල ජාතික ධජයේ නිල් සහ සුදු පැහැයෙනි.

දැනට පෙනෙන ආකාරයට නම් හමාස් සංවිධානය නිරතව සිටින්නේ හුදෙකලා සටනකය. ඔවුන්ගේ හමුදාමය ශක්තිය තක්සේරු කිරීමට කිසිවකු මෙතෙක් සමත් නොවූවද, ජාත්‍යන්තර ඔත්තු සේවා අතර ඉදිරියෙන් සිටින සහ ආරක්ෂාව අතින් පෙරමුණේ පසුවන ඊශ්‍රායලය වැනි රටකට මෙසේ රොකට් ප්‍රහාර එල්ල කිරීම අවසන් මොහොත දක්වාම එරට ආරක්ෂක අංශ නොදැන සිටීම හමාස් සංවිධානය සතු සංවිධාන ශක්තියේ තරම කියාපාන්නක් බව ද ජාත්‍යන්තර යුද විශ්ලේෂකයෝ කියති. ඕනෑම සතුරු ආක්‍රමණයක් කලින් හඳුනා ගැනීමට සහ හානි සිදු වීමට පෙර රොකට් ප්‍රහාර මැඬ පැවැත්වීමට සමත් නවීන තාක්ෂණයෙන් යුතු Iron Dome රොකට් නාශක පද්ධතියකින් දේශසීමා අහස ආරක්ෂා කරන ඊශ්‍රායලය හමාස් සංවිධානයේ රොකට් ප්‍රහාර හමුවේ දුර්වල වීම ද විමතියට කරුණක් බව කියැවේ. ඕනෑම දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන ආකාරයෙන් ඊශ්‍රායල අහස් කුස වටා දැමූ මේ ආරක්ෂිත වළල්ල බිඳ දැමීමට හමාස් සංවිධානය සමත්වීම තුළින් ඊශ්‍රායලයේ ආරක්ෂාව අභියෝගයකට ද ලක් වී තිබේ.

යුද්ධයේ කුරිරු බව කියාපාමින් දෙපාර්ශ්යෙන්ම දහසකට වැඩි පුද්ගලයන් පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඊයේ පස්වරුව වන විටත් තත්ත්වයේ වෙනසක් නැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. පෙනෙන හැටියට ඉදිරි දින කිහිපය දෙපාර්ශ්වයටම තීරණාත්මකය. ලෝක නායකයන්ගේ එකම අපේක්ෂාව එය මැදපෙරදිග බිහිසුණු යුද්ධයක් කරා තල්ලු වීමෙන් වළකා ගැනීමය. නොඑසේ නම් ප්‍රතිඵල දින හයේ යුද්ධයට වඩා බරපතළ වනු ඇතැයි ජාත්‍යන්තර යුද විශ්ලේෂකයෝ කියති.

- දිනමිණ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka