gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආයෝජකයින්ට ඇඳගෙන රටම වනසන චීන අපරාධ මාෆියාව!

දිනය පසුගිය 19 වැනිදාය. ඇසුනේ රටම කම්පනය වන පුවතකි. යන්න අතක් නැතිව බංකොලොත් වී සිටින රටක ජීවත් වෙමින් අප ගොඩයන්න සැලසුම් කරන්නේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ ආර්ථිකයකිනි. විදෙස් ආයෝජන සම්බන්ධව අප්‍රමාණ බලාපොරොත්තු සහිතව සැලසුම්වන ආර්ථිකයකිනි.

එවැනි පසුබිමක කොළඹ 08 බොරැල්ල ලේක් ඩ්‍රයිව් පාරේ සුපිරි ධනවතුන් වෙසෙන ජනාවාස භූමියක චීන ජාතික ව්‍යාපාරිකයෙක් කොල්ල කන්නේය. ඒ නිවසට ඇතුළු වූ කොල්ල කරුවන් පිරිසක් විසිනි.
 
19 දා රාත්‍රියේ තම නිවසට පැන  කෝටි හතරකට ආසන්න වත්කම් ප්‍රමාණයක් කොල්ල කෑ බවට බොරැල්ල පොලිසියට පසුගිය 20 දා අලුයම පැමිණිලි කරන්නේ වින්දිත චීන ජාතිකයා විසින්මය.

ඔහු පොලිසියට කියන්නේ  ඔහු  කොළඹ වරාය නගරයේ ආයෝජනය කළ ව්‍යාපාරිකයෙක් බවය.  ඔහුගේ නම    Su Zu Qing ය. වයස අවුරුදු    38 කි.    20 දා අලුයම  පොලිසියට පැමිණිලි කරමින් දන්වා සිටියේ   19 දා රාත්‍රී කාලයේ දී නිවසට කඩා වැදුන කොල්ලකරුවන් තිදෙනෙක්  කෝටි හතරකට ආසන්න දේපල සහ වත්කම් ප්‍රමාණයක් කොල්ල කෑ බවය.

බොරැල්ල ලේක් ඩ්‍රයිව් පාරේ නිවසට ඇතුළු වූ කොල්ලකරුවන් තිදෙනා තමන්ටත් , තම භාෂා පරිවර්තකයාටත් අරක්කැමියාටත් පහර දී ගිනි අවියක් පෙන්නා මරණීය තර්ජන කර දෑත් දෙපා ගැටගසා   අනතුරුව නිවසේ තිබූ ඇමරිකානු ඩොලර්, යුවාන්, තායි බාත්, හොංකොං ඩොලර්, ඩිරාම් ඇතුළු විදේශීය මුදල් ද,  ජංගම දුරකථන 11ක්, ලැප්ටොප් පරිගණක 07ක්, අර්මාන් වර්ගයේ අත් ඔරලෝසුවක්, දේශීය මුදල්, විදේශීය මත්පැන් බෝතල් 05ක්,  සීසීටීවී පද්ධතයේ DVR කොටස සහ KDH වෑන් රථයක් කොල්ලකෑ බවට මෙම චීන ජාතිකයා පැමිණිලි කර තිබුණේය.

බොරුව හෙළි වීම.

මේ සම්බන්ධයෙන් කොළඔ කොට්ඨාස භාර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හසන්ත මාරපන දැනුවත්වීමෙන් පසු විමර්ශන සිදුකිරීම සඳහා කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුමැතිය ලබා දුන්නේය.  ඒ අනුව කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කළේය.

විමර්ශනය ආරම්භයේ දී මේ පැමිණිල්ලේ ගැටලු සහගත ස්ථාන රාශියක් විමර්ශකයන්ගේ අවධානයට ලක් වූයේය. වඩාත්ම අවධානයට ලක් වූ කාරණයක් තිබිණි. කොල්ලකරුවන් විසින් පැහැරගත් බව කියන  KDH වෑන් රථය අතරමග දි හමුවීමත් සමගය.
 
වෑන් රථය හමුවූයේ  දියත උයන ආසන්නයේදී ය.   රථය ගාල්කර තිබූ ආකාරය දෙස විමසිලිමත්ව බැලීමේදී මෙම සොරකමට එහි රියැදුරු  සම්බන්ධවී ඇති බවට පොලිසියට සැක පහළ වූයේය.

විමර්ශකයින් මුලින්ම රියදුරු අත් අඩංගුවට ගත්තේය. ඔහුගෙන්  වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ  චීන ජාතිකයා විසින්ම මංකොල්ලය සැලසුම් කර තමන්ගේ කොටස සඳහා ලක්‍ෂ 15 ක මුදලක් දී ලබා දුන් බවය.

පරීක්ෂණ කරගෙන යනවිට විමර්ශකයින්ට හෙළි වූයේ   කොළඹ වරාය නගරයේ ව්‍යාපාර කටයුතුවල නිරතවන බව කී මෙම චීන ජාතිකයා එවැනි ආයෝජකයෙක් නොව, ජාත්‍යාන්තර පිරමීඩ ජාවාරමක නිරතවන පුද්ගලයෙක් බවය.

චීනා  විසින් පිටපතකට අනුව බොරු පැමිණිල්ලක් කරන්නේ කැසිනෝ සූදුවට ගොස් පිරමීඩ ජාවාරමින් රැස් කරගත්   කෝටි ගණනක මුදල් පරාජය වීම සිය හවුල්කරුවන්ගෙන්  වසන් කරගැනීමට බව ද විමර්ශකයින් හෙළි කරගත්තේය.  අනතුරුව බොරු පැමිණිලිකාර චීනා කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශකයින්ගේ අත් අඩංගුවට පත් විය.
 
අනතුරුව  තවත් මහල් නිවසක   රැඳෙමින් ජාවාරම් කළ චීන ජාතිකයකු නීති විරෝධී දුම්වැටි 30,000 ක්, දුරකථන 23 ක්, ලැප්ටොප් පරිගණක 7 ක්, සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූයේය.

ප්‍රශ්න කිරීමේදී වෑන් රථය දියත උයන ආසන්නයේ නවතා, කොල්ලයට සම්බන්ධ කරගෙන සිටි  ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු   වෑන් රථයේ රියැදුරුගේ ඥාති සහෝදරයකු රැගෙන පැමිණි කැබ් රථයකින් ගාල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඇරලවා ඇති බව  හෙළි වූයේය. එම කැබ් රථය සහ එහි රියැදුරුද විමර්ශකයින් විසින් අත් අඩංගුවට  ගත්තේය. මොවුන් දෙදෙනා රියදුරන් ලෙස පමණක් සේවය කර ඇති බවත් අනාවරණය  විය.

රට හොර තිප්පලක් කළ චීන්නුගේ මගඩිය

මෙම චීනා විසින් මෙහෙයවමින් සිටි  ජාත්‍යන්තර පිරමීඩ ජාවාරමට  චීන ජාතිකයන්  4000කට වැඩි පිරිසක් සම්බන්ධව සිටින්නට  ඇතැයි මේ වනවිට  පොලිසිය සැක කරන්නේය. ජාවාරමේ මුදල්  ලංකාවේ රැඳුනේත් නැත. ඒවා උණ්ඩියල් ක්‍රමයට චීනයට ගෙන ගොස්  නැවතී ඇත්තේය.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයා මෙරට සිට මැලේසියාව,  සිංගප්පූරුව ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයන් ගෙන්  ඩොලර් 100, 200 වැනි තැන්පතු සඳහා ප්‍රතිලාභ ලබාදී ඩොලර්  10,000 ක් වැනි මුදලක් තැන්පත් වීමෙන් පසු ඒවාට ප්‍රතිලාභ නොගෙවා එම මුදල් වංචාකර ඇති බව හෙළිකර ගෙන තිබේ.
 
සැකකාර චීන ජාතිකයා වරාය නගරයේ ආයෝජකයකු  ලෙස පෙනී සිටිමින් කොළඹ පිහිටි සුපිරි මහල් සංකීර්ණ 7කින්  නිවාස 8 ක් ලබාගෙන ඇත. අනතුරුව චීන ජාතිකයන් එහි රඳවා මෙම  ජාවාරම සිදුකරගෙන ගොස් තිබේ.   පොලිසිය එම නිවාස වැටලීමට යනවිටත් එහි ඉබි යතුරු දමා පරිගණක ද රැගෙන  චීන ජාතිකයන්  පළාගොස් ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එක් නිවසක පෞද්ගලික ආරක්‍ෂක  නිලධාරියා ගෙන් විමසීමේදී වැටලීමට මොහොතකට පෙර  චීන ජාතිකයන් 27 දෙනෙකු ඉන් පිටව ගොස් ඇති බව ද  හෙළි වූයේය.

මොහු යටතේ ඍජුව මෙම ජාවාරම හා බැඳුණු චීන්නුන්  300කට වැඩි   පිරිසක් සිටින්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මෙම  ජාවාරමට සම්බන්ධ වී ඇති පිරිස ජාවාරමෙන් උපයාගන්නා මුදල් ජංගම දුරකථන හරහා උණ්ඩියල් ක්‍රමයට චීනයට ගෙනගොස් ඇති බවත් පොලිසිය විසින්  හෙළිකර ගෙන තිබිණි.

මෙම ජාවාරමට ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන නැත්තේ මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබුණහොත් ජාවාරම දීර්ඝ කාලයක් කරගෙන යෑමට නොහැකි වීම නිසා බව ද හෙළිකර ගෙන ඇත.

රුපියල් ලක්‍ෂ 20 ක් 25 ක් වැනි මිල ගණන්වලට මාස දෙක  තුනක් මහල් නිවාසවල සිට එම ස්ථාන මාරුකරමින් ජාවාරම සිදුකර ඇති බව ද හෙළිකර ගෙන තිබේ.

ජාවාරම් කරුවන් රටින් පලා යමින් ද?

ප්‍රධාන චීන ජාතිකයා අත්අඩංගුවට ගැනීමත් සමග අනෙකුත් සියලු චීන ජාතිකයන් දැනුවත් කිරීම සඳහා කිසියම් තාක්‍ෂණයක් භාවිත කරන්නට ඇති බවත් ස්ථාන කිහිපය වැටලීම් සිදුකිරීමේදී ඔවුන් සියලු දෙනා එම ස්ථානවලින් ඉවත්වීම නිසා එම සැකය මතුවන බවත් වැටලීම සිදුකළ විමර්ශන අංශ කීවේය.

මොවුන්ගේ ජාවාරම  සම්බන්ධයෙන් තොරතුරු පරිගණකවල සම්බන්ධ කර තිබෙන  බවත් ඒවා රැගෙන යෑම නිසා තොරතුරු සොයා ගැනීමට  බලවත් පරිශ්‍රමයක් දැරිය යුතු බවත් කී එම නිලධාරියා ඇතැම්  විට ජාවාරමට සම්බන්ධ පිරිස් රටින් පළාගොස් සහ පළායමින්  සිටිය හැකි බවත් කියා සිටියේය.
 
එම පිරිස පිළිබඳ තොරතුරු  නොමැති නිසා ගුවන් තහනමක් හෝ ලබා ගැනීමේ හැකියාවක්  නැතැයි ද ඔහු පැවසීය.

කොළඹ දකුණු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හසන්ත මාරපන ගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරීවරුන්වන චානක අබේසිරිවර්ධන, කීර්තිසිංහගේ උපදෙස් මත කොළඹ දකුණ කොට්ඨාස  අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අජිත් කුමාරෙ ගේ  මෙහෙයවීමෙන්  පරික්ෂණ පැවැත්වෙන්නේය. .

අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 9 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අප අනාගත ආයෝජනවලින් ගොඩ යන්නට සුබ සිහින දකින්නේ මෙවැනි අලුගුත්තේරුවන් සහිත පරිසරයක බව  සිහි කරමින් මේ සටහන නිමා කරන්නේය.

ලංකාසර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka