පාස්කු ප්‍රහාරය සම්බන්ධව වහාම ජාත්‍යාන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (05) පාර්ලිමේන්තුවේ දී කීවේය.
කාදිනල්වරයාටත්, කතෝලික ප්‍රජාවටත් අපහාස නොකර කොන්දක් ඇති නම් එම පරීක්ෂණය දියත් කරන ලෙස අභියෝග කළ විපක්ෂ නායකවරයා කීවේ පිටරට ගවේෂණයක් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සොයන ලෙසට රටට බලකරන මට්ටමට පැමිණීම විලි ලජ්ජාවට කාරණයක් බවය.
විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසුවේය.
ජනාධිපතිවරණයේ දි තරග වැදුන අපේක්ෂකයෙක් මම. ජනාධිපතිවරණයේ දි කාදිනල් තුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දය දෙන්න කිව්වයි කියන කාරණාව කිව්වා.
මම කියනවා එහෙම දෙයක් සිදුවුනා නම් අති උතුම් වූ කාදිනල් තුමා පමණක් නෙමෙයි, කතෝලික ප්‍රජාවට, මේ රටේ ජනතාවට රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් තිබුණා…
ඒ ගැටලුවේදි අපි අසමත් වුනා, ගෝඨාභය සමත් වුනා කියන විශ්වාසය මත ඒ පත් කිරිම කළේ. හැබැයි ලජ්ජයි කතානායක තුමනි, මේ පිටරට ඉන්වෙස්ටිගේෂන් එකකින්, මේ පිටරට මාධ්‍යයකින් අපේ රටේ බලධාරින්ට කියන්න ඕන ද පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හොයන්න. පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් හොයන්න. මේකට මේ පිටරටින් අපට උපදෙස් ඕන ද?
මේ රටේ පාලකයින්ට හිතක් පපුවක් නැද්ද. කමක් නෑ කාදිනල් තුමා මට විරුද්ධව ඡන්දය දෙන්න කිව්වට. එහෙම කිව්වනම් ඒ කිව්වේ හිතේ තිබුණ වේදනාවට. කතෝලික ප්‍රජාවගේ අදටත් ඒ වේදනාව තියනවා.
මේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු මහ මොළකරුවන් ගැන මේ රටේ පරීක්ෂණ කරලා විසඳන්න බෑ. මේකට ජාත්‍යාන්තර පරීක්ෂණයක් අවශ්‍යයයි.
මම කියනවා කාදිනල් තුමාට අපහාස කරන්න එපයි කියලා. කතෝලික ප්‍රජාවට අපහාස කරන්න එපා. කතෝලික ආගමික නායකයින්ට අපහාස කරන්න එපා. ඒ කියන්නේ ඒ අයගේ හදවතේ තියන වේදනාව.
මේ අයට වේදනාව තිබුණේ බලයට එන්න. මේ ගොල්ල පාවිච්චි කළා. පාස්කු ප්‍රහාරය ගැන කිඹුල් කඳුළු හෙළුවා. මේ හැම දෙනාම… කතානායක තුමත් ඇතුළුව.
ඒ නිසා මම කියන්න කැමතියි කාදිනල් තුමාටත් කතෝලික ප්‍රජාවටත් කතෝලික රදගුරු තුමන්ලටත් අපහාස කරන්න එපා. වහාම ජාත්‍යාන්තර පරීක්ෂණයක් අවශ්‍යයයි.
ඒ ජාත්‍යාන්තර පරීක්ෂණය ක්‍රියාත්මක කරන්න කොන්දක් තියනව ද නැද්ද කියලා මම අහන්න කැමතියි.
අද පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ප්‍රකාශයක් කළ මනුෂ නානායක්කාර කීවේ පාස්කු ප්‍රහාරයට පසු ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබා දෙන ලෙස කී කාදිනල් වරයාත් පාස්කු ප්‍රහාර සැලසුමේ සිටිනවා දැයි තමන්ට සැක බවය.