gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බටහිර අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ නොවී දේශීය චින්තනයට වැඩ කරද්දී අපට එරෙහිව විවිධ කුමන්ත්‍රණ ආවා... ඒ අයට අවශ්‍ය වුණේ අපේ ජීවිතවලටත් හානි කරන්න - මහින්ද කැම්බල් පිටියේදී කියයි

සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසිතකා නොව කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

කිසිදු වෘත්තීය සමිති සාමාජිකයෙකු තනිකරන්නේ නැතැයි පවසන ඒ මහතා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ බවට පත්නොවී දේශීය චින්තනයකට අනුව වැඩ කිරීමට යාම හේතුවෙන් අපට එරෙහිව විවිධ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම දේශපාලන සංවිධාන කුමන්ත්‍රණ කළ බවද ඒ අයට අවශ්‍ය වූයේ දේපලවලට පමණක් නොව අපේ ජීවිතවලට හානි කිරීමට බවද පෙන්වාදෙයි.

ඒ මහතා මේ බව සදහන් කළේ බොරැල්ල කැම්බල් පිටියේ දී ඊයේ (01) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “පොදුජන මැයි රැලිය 2023” රැලියට එක් වෙමිනි. “අභියෝග බිඳ අභිලාෂ ජයගමු” යන්න තේමාව කරගනිමින් දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම මැයිදින රැලිය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ මහින්ද රාජපක්ෂ මහතා,

අද මේ කැම්බල් පිටියට රැස්වෙලා ඉන්න ආදරණීය වැඩකරණ ජනතාව මේ රටට ඉතා වැදගත් පණිවුඩයක් දෙනවා. ඒ තමයි රටේ පොදුජන අභිලාෂය තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟය කියන අපේ බැඳීම ඔබ නැවත තහවුරු කර තිබෙනවා. ඒ සඳහා ඔබට අපේ ආචාරය පළමුවෙන්ම පුද කරනවා. අපි දන්නවා 1995 වෙනකම්ම කම්කරු ජනතාව වෙනුවෙන් ඔවුන්ගෙ විපතක දි පිහිටවෙන්න රජයේ මුදලක් වියදම් කරන ක්‍රමයක් තිබුනෙ නැහැ. කම්කරු ඇමතිවරයා විදියට කම්කරු නායකයන් එක්ක කතා කරලා ඔබේ සුබසාධනය වෙනුවෙන් පළමු වතාවට එදා අපි ස්ථිර වැඩපිළිවෙලක් සකස් කළා. ඒ අනුව තමයි ශ්‍රම වාසනා අරමුදල බිහිවුණේ. අද වගේම එදත් අපේ දේශපාලන සටන් සියල්ල කම්කරුවන් එක්ක බැඳිලයි තිබුණේ. බොහෝ කම්කරු නායකයන් හොඳ මිත්‍රයන් ලෙස අපට ඇසුරු කරන්න ලැබුණා. ඒ කාලේ ඉඳන්ම මැයි දිනයට විතරක් නෙමෙයි අපි හැමදාමත් කම්කරුවගෙ අයිතින් වෙනුවෙන් පෙනී සිටියා. ඒ නිසා ඔබේ සාධාරණ ඉල්ලීම් ගැන හොඳ වැටහීමකින් ප්‍රතිචාර ලබාදෙන්න අපට හැකියාව ලැබුණා. සමහරු අපව විවේචනය කරනවා.

හැබැයි ඒ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයට. මතක ඇති අද වගේම 2004 දිත් ආණ්ඩු රිමෝට් එක අපේ අතේ තියෙන්නෙ කියලා කියපු අය හිටියා. අවසානයේ මොකද වුණේ ? ඒ අයම තමයි අපට බලයට එන්න උදව් කළේ. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබල වෙන්නෙ නැහැ. අපි අවශ්‍ය වෙලාවට ඔබත් එක්ක ඒ තීන්දුව ගන්නවා. අපේ රටේ ආර්ථිකයේ ගාමක බලවේගය කම්කරු ජනතාව. අපි ආර්ථිකය සැළසුම් කරනකොට මේ කම්කරු ජනතාවගේ අභිලාෂයන්ට ප්‍රමුඛ තැනක් දිය යුතුයි. අපි කම්කරු ඇමතිකම ගත්ත දවසෙ ඉඳන්ම ඔබ වෙනුවෙන් ඒ යුතුකම ඉටුකර කළා. ඒ වගේමයි එදා ඉඳන් ඔබත් බලය තිබුණත් නැතත් අපි එක්ක ඉඳලා රට වෙනුවෙන් අපිව බලයට ගේන්න අවශ්‍ය කැප කිරීම් කළා. වැඩබිමේ කම්කරු අයිතින් වෙනුවෙන් පෙනි ඉන්න අපේ සහෝදරයෝ ඒ අයිතින් වෙනුවෙන් හඬ නගන්නෙ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කියලයි අපි විශ්වාස කරන්නෙ. ඒ බව තේරුම්ගෙන තමයි ආණ්ඩුව වැඩ කරන්න ඕනි. අපි ඉතිහාසය පුරා වැඩකළේ ඒ විදියට. ඒ නිසා කම්කරු ජනතාව සමඟ අපි සාකච්ඡාවෙන් බොහෝ ප්‍රශ්න විසඳගත්තා. ඔවුන්ගේ ඉල්ලීම් දිනා දුන්නා.

ජිවත්වෙන්න සුදුසු සමාජ පරිසරයක් ඇති කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පටන් ගන්න කොට අපට මොනවද නොකිවුවේ. මේක අලුත් පක්ෂයක් කිවුවා. මේ වගේ පක්ෂවලට ඡන්ද දිනන්න බැහැ කිවුවා. හැබැයි ඒ හැමදේටම ඔබ උත්තර දුන්නා. ඉතිහාසයේ වාර්තාගත ඡන්ද ප්‍රතිඵලයක් දීලා අපිව දිනෙව්වා. ඒ වගේ ගත්ත බලය වෙනුවෙන් අවශ්‍ය සාධාරණය කරන්න අපට බැරිවුණා. අපට පටන් ගන්න උනේම කොවිඩ් එක්ක ආර්ථිකය බිඳ වැටුණ තැනකින්. සමහර වැරදි තීන්දුත් ඊට හේතු වුණු බව අපි පිළිගන්න අවශ්‍යයයි. හැබැයි වැරදුණු තැනත් දැන් අපට තේරෙනවා. ඒ නිසා ඒ අත්දැකිමත් අපට තියෙන එක තවත් ශක්තියක්. ඔබට මතක නම් මේ හැම වෙලාවෙම අපි රට භාරගත්තෙ අමාරුම වෙලාවේ. එක වෙලාවක යුද්ධයක්. අනෙක් වෙලාවේ ආර්ථිකය පහළටම වැටිලා තිබුණා. මේ එක වෙලාවකවත් අපි පස්ස ගැහුවේ නැහැ. අපිට පුළුවන් සාධාරණය මේ රට වෙනුවෙන් ඉටු කරන්න අපි ඉදිරිපත් වුණා. ඒ වගේ තීන්දු ගන්න අපේ පක්ෂයේ තියෙන ශක්තිමත් වෘත්තිය සමිති ජාලයත් හේතුවුණා. ඒ අය දවසින් දවස වැඩබිමේ තමන්ගෙ ශක්තිය පෙන්වමින් අපට ජනතාවගේ අදහස් ඉදිරිපත් කළා.

ඔවුන්ගේ බලාපොරොත්තු පෙන්වා දුන්නා. මෑතක දී සිදුවුණු ඇතැම් වෘත්තීය ක්‍රියමාර්ග හේතුවෙන් අපේ සහෝදර වෘත්තීය සමිති නායකයින්ටත් ප්‍රශ්න ආවා මේ වෙලාවේ කියන්න ඕනේ ඒ කිසිදු වෘත්තීය සමිති සාමාජිකයෙක් අපි තනිකරන්නේ නැහැ. ඒ අය වෙනුවෙන් අපි හැමදාමත් පෙනී සිටිනවා. ඔබට ශක්තියක් වෙන්න අපට අදත් හැකියාව තියෙන බව මතක් කරන්න ඕනි. හැබැයි අපි දන්නවා සමහර දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති කරන්නේ බළලුන් ලවා කොස්ඇට බාවන එක. ඒවට අපේ අය අහුවෙන්න හොඳ නැහැ. නැති ප්‍රශ්න ඇතිකරල කෙටි පාරවල් වලින් බලයට එන්න සමහරු කරන වැඩ රටේ පැත්ත හිතලා ගන්න තිරණ නොවන බව අපි කාටත් පැහැදිලියි. දැන් බලන්න ගෝල්ෆේස් අරගලයේ හිටියෙ කවුද කියලා. රටම දන්නවා ඒ අය දැන් මොනවද කරන්නෙ කියලා. ජනතාවට මේවා ඇගිල්ලෙන් ඇනලා පෙන්නන්න ඕන දේවල් නෙමෙයි. හොරු හොරු කියලා ලේබල් අලවලා මඩ ගහලා, කොතරම් අවලාද නැගුවත් අපි දන්නවා අපි ජනතාව වෙනුවෙන් මොනවද කරේ කියලා. රට භාර ගන්න කිවුවම පස්ස ගහලා, ඊට පහුවදා ඉඳන් භාරගත්ත අයට විරුද්ධව කෑ ගහලා වැඩක් නැහැනේ.

එතනැදි තමයි මිනිස්සු තීරණය කරන්නෙ මේ කෑ ගහන අයගේ කැරැට්ටුව මොකද්ද කියලා. එක කට්ටියක් නම් 71 බැලුවත්, 88-89 බැලුවත් ඕකම තමයි කළේ. ප්‍රජාතන්ත්‍රවාදිව නොවන ක්‍රමවලින් බලය ගන්න ගියාම අවසානයේ මොකුත් ලැබෙන්නෙ නෑ. දැන් මේ විපක්ෂෙට මාතෘකා නෑ. ඒ නිසා රටට හොඳ දේටත් විරුද්ධ වෙනවා. අපි සද්ද නොකර හිටියත් මේ අය කියන කතා අහලාම ජනතාව ඔවුන්ට විරුද්ධ වෙනවා. ඒ බව ඔලුවේ තියාගෙනයි අපි වැඩකරන්න ඕනේ. ඒ නිසා ඒ අයගේ රූකඩ නොවී හොඳ දේට හොද කියන්නත් නරක දේට නරකයි කියල විරුද්ධ වෙන්නත් අපේ වෘත්තිය සමිති නායකයන්ට ශක්තියක් තියෙන්න ඕනි. උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ ගැටලුව තාම අවසන් නැහැ. විභාගෙ ලියපු දරුවෝ විශ්ව විද්‍යාලවලට ඇතුලත් වෙන්න උසස් අධ්‍යාපනය ලබන්න බලාගෙන ඉන්නවා. මේ ප්‍රශ්නය නිසා සාමාන්‍ය පෙළ විභාගයත් කල් ගියා. ඒ දරුවොත් මේ නිසා ඉන්නේ පීඩනයකින්. ඊටත් වඩා පීඩනයකින් ඉන්නේ දෙමවුපියන්. ඒක වෘත්තීය සමිති සටනක් කීවට ඒක වෘත්තීය සමිති සටනක් හැටියට අපි දකින්නේ නැහැ. හැබැයි මේකට හැම ගුරුවරයෙක්ම සම්බන්ධ නැහැ.

ඔවුන්ට කරන්න දෙයක් නැතිව ඉන්නෙ. ඉතිහාසයේ කොතනකවත් දරුවන්ව ප්‍රාණ ඇපයට තියල සටන්කරල දිනාගත්ත ඉල්ලීමක් නැහැ. එහෙම දිනාගෙන වැඩකුත් නැහැ. අපි වෘත්තීය සටනක් කරනකොට මේ දේවලුත් හිතන්න ඕනි. සැබෑ කම්කරු නායකයෝ සටන්කරන්නේ පටු දේශපාලන වාසි තකා නෙමෙයි. අපේ රටට නිදහස ලබා ගැනීමේ සටනේ දී ඉදිරියෙන්ම හිටියෙත් කම්කරු නායකයින්. ඒ අය නිදහස් සටන වෙනුවෙන් විශාල කැප කිරීමක් කළා. එදා කම්කරු ව්‍යාපාරය තමයි රටේ නිදහස දිනා ගන්න සටනේ බලවේගය වුණේ. ඔබට මතක නම් ඒ.ඊ.ගුණසිංහ, ආචාර්ය එන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කෙනමන්, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන වගේ නායකයෝ කවදාවත් කම්කරු සටන් රට අරාජික කරන්න මෙහෙයවුයේ නැහැ. එයාල සටන් කළේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. ඒත් අද මේ සිද්ධ වෙන්නේ මොනවද ? බටහිර අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ බවට පත්නොවී දේශීය චින්තනයකට අනුව වැඩ කරන්න ගිය නිසයි අපිට එරෙහිව විවිධ රාජ්‍ය නොවන සංවිධාන වගේම දේශපාලන සංවිධාන එකතුකරල යම් කුමන්ත්‍රණයක් කළේ. ඒ අයට ඕන වුණේ අපේ දේපලවලට විතරක් නෙමෙයි අපේ ජීවිතවලටත් හානි කරන්න.

බලය ගන්න කලින් හිට්ලර් කෙනෙක් බලය ගන්නවා කියලා ජනතාව කුපිත කරවපු අය අවසානේ කිවුවේ මොකද් ද ? එදා ඒ කියපු කතාව ඇත්තක් නොවුන නිසයි රට ලේ විලක් නොවී බේරුණේ. ජනතාව වෙනුවෙන් බලය ගන්නවා වගේම ජනතාව වෙනුවෙන් බලය අත්හරින්නත් හැකි දේශපාලන අත්දැකීමක් අපටත් අපේ පක්ෂයටත් තියෙනවා. ඒ වගේම ඕනැම මොහොතක කවුරුත් නොහිතන තරම් සංවිධාන ශක්තියකින් නැගිටින්නත් අපට පුළුවන්. ඒ නිසා දේශපාලනික විවේචන කොතරම් කළත් මඩ දේශපාලනයට ඔබ වැටෙන්න එපා. මඩ ගහන අයට තමයි මුලින්ම මඩ ගා ගන්නෙ වෙන්නෙ. පහුගිය කාලේ නම් අපි බොහෝ අත්දැකීම් විඳගත්තා. මිනිස්සු හඳුන ගත්තා. අපට දැන් තිබෙන්නෙ රට ශක්තිමත් කරගන්න අපට අවශ්‍ය අනාගත පරපුර වෙනුවෙන් හොඳ රටක් නිර්මාණය කරන්න. ඊයේ මෙන්ම, අදත්, හෙටත් අපි විශ්වාස කරන්නෙ වැඩබිමේ දහඩිය හෙළන වැඩකරණ ජනතාවට මේ රට වෙනුවෙන් විශාල වගකීමක් තිබෙන බවයි. වැඩබිම ශක්තිමත් වෙන තරමට තමයි රට ශක්තිමත් වෙන්නෙ. අභියෝග බිඳගෙන රට දිනවන අභිලාෂය ජයගන්වන්න එක්වෙන්නයි සමස්ත කම්කරු ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා,

නොසැලී සිටින පක්ෂ දෙක ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ මහජන එක්සත් පෙරමුණ නම් කරන්න පුළුවන්. වැඩකරන ජනතාවගේ අයෝමය ශක්තිය ඉදිරියේ ඔවුන් නැගී සිටිනවා. අපි ආණ්ඩුවේ සිටියත් විපක්ෂයේ සිටියත් වැඩකරන ජනතාව සමඟ ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසර ගණනාවක් තුළ මැයිදිනයට සහභාගි වී තිබෙනවා. පාසල් කාලයේ සිට ඒ සඳහා එක්ව තිබෙනවා. පොදු ජනතාවගේ පැත්තේ ඉන්නවා. අපි ජයග්‍රහණ සහ පසුබෑම්වලට මුහුණ දෙනවා. ජයග්‍රහණවල දී විශාල පිරිසක් ඉන්නවා. පසුබෑම්වල දී අපි දේශපාලන බලවේගයන් හා රට දියුණු කළහැකි ලෙස ජනතාවගේ විශ්වාසය සමඟ කැපවිය යුතු වෙනවා. මෑත ඉතිහිසයේ අපි මුහුණ නොදුන් අර්බුදයක අපි ඉන්නවා. එහිදී ජයග්‍රහණය වෙනුවෙන් ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න පොදුජන පෙරමුණ අපි සමඟ ඉන්නවා. දේශපාලන ස්ථාවරභවක් ඇති කරන්න පැමිණි ගමනේ දී පැහැදිලිව කටයුතු කර තිබෙනවා. අපේ මන්ත්‍රීවරු මරා දැම්මා. ගෙවල් ගිනි තිබ්බා. සංවිධායකවරුන් විවිධ ගැටළුවලට මුහුණ දුන්නා. යළිත් හිස ඔසවා දේශපාලන ක්‍රියාදාමයට ශක්තිය දෙන්න පුළුවන් වෙලා තිබෙනවා.

ඊට ශක්තිය දෙන මේ මැයි රැලියට අපේ ගෞරවය පිරිනමනවා. කොළඹ නගරයේ පැවැත්වෙන විශාලම මැයිදින රැලිය වෙනවා. විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටිනවා. ඒ තත්ත්වය ගොඩනඟන්න පුළුවන් වෙන්නේ හිංසාවාදය දේශපාලනයෙන් පරාජය කළ පසුවයි. හිංසාවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශයයි. මේ ගත්ත පියවර වැදගත් වෙනවා. වෘත්තිය සමිති ව්‍යාපාරවලට දීර්ඝ ගමන යෙදෙන්න වෙනවා. අපේ වමේ ව්‍යාපාරයට හයිය දුන්න නායකයින් මැයි දිනය ඉදිරියට ගෙනවිත් තිබෙනවා. විවිධ වෘත්තිය සමිති නායකයින් හිර ගෙවල්වලට ගොස් තිබෙනවා වැඩකරන ජනතාවට වඩා හොඳ ජයග්‍රහණ ලබාගන්න ඔවුන් ඒ දැවැන්ත කැපවීමක් කර තිබෙනවා. අලුත් ජයග්‍රහණයන් ඇතිකර ගන්න අපි මැයිදින පණිවුඩය බවට පත්කළ ගතයුතු වෙනවා. මැයි දිනයෙන් පසුව නව දේශපාලන අවධියක් වෙන්න පුළුවන්. කොවිඩ්වලින් පසුව ලෝක ආර්ථිකය පණ ගැන්වී නැහැ. ලෝක ආර්ථිකය පසුබැස තිබෙනවා. දුර්වල ආර්ථිකයන් සහිත රටවල් එයින් බැට කරනවා. ඒ ආර්ථික වර්ධනයන් අපේ සංවර්ධනයට වැදගත් වෙනවා. මේ තුළ වැඩකරන ජනතාව වෙනුවෙන් කම්කරු විරෝධී අණ පනත් අපි අනුමත කර නැහැ.

සේවක පක්ෂය හා රජය එකට වැඩකරන තීරණවලට යන්න යෝජනාවලියේ අන්තර්ගත වීම විශේෂත්වයක් වෙනවා. අලුතින් සිතන්න, අලුතින් කතා කළහැකි පරිච්ඡේදයක් නිර්මාණය කළයුතු වෙනවා. 2015 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා පරජයට පත්වෙනවා අපිට මතකයි. අපි එදා පාරට බැහැලා මැයි දිනයේ දී විශාල ජයග්‍රහණයක් ලබාගන්න තැනට රට ගෙනාවා. වැඩකරන ජනතාවගේ සමගිය ඉතාම අවශ්‍ය වෙනවා. ඒ අභියෝග හරහා ගමන් කළහැකි නව රටක් නිර්මාණය කරන්න අපිට පුළුවන් වියයුතු වෙනවා. අනුකරණවාදීව කටයුතු කරන්නේ නම් රටක අනාගතය නිර්මාණය වන්නේ නැහැ. අපිට ආර්ථික වර්ධනයක් ගතහැක්කේ එකට වැඩ කිරීමෙන් පමණයි. ගොවි ජනතාව ඒ අභියෝගය පිළිගත්තා. ඔවුන්ට පුළුවන් වුණා මෑත ඉතිහාසයේ වැඩිම අස්වැන්න නෙලන්න. වැඩෙන ආර්ථිකයේ ඉඩකඩ පමණයි නව පරපුරට ලබාදිය හැක්කේ. පසුගිය වසර 50 තුළ අපි දැක්ක දක්ෂතම සංවිධායකවරයා තමයි බැසිල් රාජපක්ෂ මහතා, ඔහුගේ දක්ෂතාවය අගය කරන්න ඕන. අරමුණ ඉලක්කයක් කරා ගෙනයන්න අපි එක්ව කටයුතු කළයුතු වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී සමජයක මැතිවරණ හා ඒ තුළින් ඇතිවන මහජන නියෝජිතයන්ට ඉටුකළ හැකි සේවාවන්ට අත දියහැකි ක්‍රියාදාමයන් ශක්තිමත් කළයුතු වෙනවා. ඒ වෙනුවෙන් ජනතාව සමඟ අත්වැල් බැදගෙන කටයුතු කළයුතු වෙනවා. නැවත අලුත් ක්‍රියාමාර්ගයක ජයග්‍රහණ රටට ගේන්න මේ පක්ෂය සමඟ එක්ව සිටින සියලු පාර්ශව සමඟ එක්ව කටයුතු කරන්න හැකිවේවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ නීතීඥ සාගර කාරියවසම් මහතා,

නිදහසින් පසු ලංකාවේ වැඩිම සංවර්ධනයක් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. ඒ මහතාගේ සමයේ වැඩිම සංවර්ධනයක් මේ රටේ සිදුව තිබෙනවා. අපේ ගම්වලට සීල් කළ පෙට්ටියෙන් තරුණයන් පැමිණි යුගය අවසන් කළා. මෙතන ඉන්න පිරිස තමන්ගේ කඳවුර පාවා දී නැහැ. නොයෙක් තර්ජන මැද අති විශාල පිරිසක් අපේ අරමුණ වෙනුවෙන් මේ ස්ථානයට පැමිණ සිටිනවා. මේ රටේ දේශපාලයේ මහ මොළකරු බැසිල් රාජපක්ෂ මහතායි. ඒ ගැන විවාදයක් නැහැ. ශ්‍රී ලාංකීය දේශපාලනයේ වැඩිම අවලාද නැගුවේ ද ඔහුට විරුද්ධවයි. නමුත් ඒ කිසිවකට එතුමා සැලුනේ නැහැ. අපේ පක්ෂයට අභියෝග රැසක් තිබෙනවා. ඒ අභියෝග බිඳදමා අපේ අභිලාෂ ජයගන්න පියවර ගන්නවා. මේ රටේ දේශපාලනය වෙනුවෙන් වෛරී දේශපාලනය අපිට අභියෝගයක්. ඒ අභියෝගය ජයගත යුතු වෙනවා. ඒ වගේම අපේ රටේ ආර්ථිකය දියුණු කිරීම ද අවශ්‍ය වෙනවා. තවදුරටත් විදේශ රටවලින් ණය ලැබෙන විට රතිඤ්ඤා පත්තු නොකර අපේ ශක්තියෙන් නැගී සිටීමේ අභිලාෂය අපිට තිබෙනවා. පළමු වරට මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් සිටිය කාලයේ දී රටේ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා වශයෙන් දිය උල්පත් නිර්මාණය කොට මහා ගංගාවක් මෙන් රට ආර්ථික වශයෙන් නඟාසිටුවන්න කටයුතු කළා.

වනජීවී හා වන සංරක්ෂණ ඇමැතිනී නීතීඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය,

දේශපාලන ජයග්‍රහණ මනින්නේ අනෙකුත් දේශපාලන බලවේගවලට සාපේක්ෂවයි. මේ සියල්ල බලනවිට අද මෑත ඉතිහාසයේ සැමරූ ජයග්‍රහී මැයි රැලිය අද සමරනවා. මීට වසරකට පෙර කුමන්ත්‍රණකාරී බලාවේග සියල්ල එක්ව කුමන්ත්‍රණය කළා. අපේ පක්ෂය ඉලක්ක කරගෙන සිදුකළ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස අපේ පක්ෂයට ප්‍රචණ්ඩත්වය ඇතිකර මර්දනය කරන්න ඒ බලවේග කටයුතු කළා. අවසානයේ දී අපේ පක්ෂයේ බොහෝ දෙනෙකුගේ ජීවිත හානි වෙලා, නිවාස විනාශ වෙලා අපේ පක්ෂය මර්දනය කරන්න උත්සාහ කළා. අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාට පහරදීලා නිට්ටඹුවේදී මරා දැම්මා. ඒක වීඩියෝ කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළා. පොදුජන පෙරමුණේ අයට කරන්නේ මෙහෙමයි කියා ඔවුන් ප්‍රචාරය කළා. නිසාව විනාශ කළා. දරුවන්ගේ සහතික, පොත්පත් විනාශ වුණා. ඒවා දාලා සමාජ මාධ්‍යට විවිධ ප්‍රචාරයන් ගෙනගියා. ගමේ මිනිසුන් මේ සම්බන්ධයෙන් සිතුවේ කුමක්ද. අපිටත් මැරෙන්න වෙනවා කියා සිතුවා. ඒ මිනිසුන්ගේ මතවාදය බයකර යටපත් කරන්න පියවර ගත්තා. 89/89 කාලයේත් ජනතා විමුක්ති පෙරමුණ මේ ආකාරයෙන්ම මර්දනය කළා.

ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ මර්දනය ලෝකයටම පෙන්නුවා. නමුත් අද අපේ පාක්ෂිකයන් රටට ඔප්පු කර තිබෙනවා ඊළඟ පියවරේ දී අපිව ජයග්‍රහණය කරවනවා කියා. සජිත් ප්‍රේමදාස මහතා ඊ.ඒ ගුණසිංහ පිළිරුව අභියස සමරනවා. ජනතා විමුක්ති පෙරමුණ විහාර මහාදේවී එකේ සමරනවා. නමුත් ලංකාවේ වැඩිම පිරිසක් අපේ මැයිදින රැලියට මේ අවස්ථාව වනවිට සහභාගි වී සිටිනවා. අපේ පක්ෂය විනාශ කරන්න ගත්ත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපේ අවධානය යොමුකර තිබෙනවා. නමුත් ගමේ පාක්ෂිකයන් යළි බයට පත් වන්නේ නැහැ. අපි අපේ අරමුණ වෙනුවෙන් ඉදිරියට ගමන් කරනවා. අළු මතින් අපි යළි නැගිටිනවා. වසර 30 ක් විතර දේශපාලනය කළ මට මිනිසුන්ගේ හද ගැස්ම තෙරේනවා. මැතිවරණයක් පවත්වන වෙලාවක අපේ පාක්ෂිකනයන් නියත වශයෙන්ම සහාය දෙන බව විශ්වාසයි.

නිවාස සහ නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා,

පසුගිය මැයි 9 අපි විශාල අභියෝගවලට මුහුණ දුන්නා. නමුත් අද වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. මේ මැයි දිනය සමරන්න ලැබීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. වැඩ කරන ජනතාව මෙතැන ඉන්නවා. ආය.නය විනාශ කරන, දරුවන් උකසට දෙන පිරිසක් මෙතැන නැහැ. ඒ නිසා මේ වේදිකාවේ වටිනාකම ඉහළ ගොස් තිබෙනවා. අපේ රටේ ශක්තිමත්ම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනවා. අපිට අභියෝගවලට මුහුණ දෙන්න මේ ජනතාව නිසා ශක්තිය ලැබුණා. විවිධ අභියෝග හමුවේ මේ ස්ථානයට පැමිණි සැමට අපේ ගෞරවය පිරිනමනවා. මේ රටේ ආර්ථික අර්බුදය සමඟ අරගලය ආරම්භ වුණේ. ආණ්ඩු පෙරළන්න නොවෙයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ආණ්ඩු බලය ලබාගන්න නොහැකි වුණු පිරිසක් මේ අරගලය විනාශ කළා. වැරැදි කරන පිරිස්, කුඩු කාරයන් ඊට එක්වුණා. අරගලය අවසන් වුණේ කොතැනින්ද. මාස 9 ක්වන විට අද ළමුන් ප්‍රසූත කර දුම්රියේ දමා යන තත්ත්වයට පත්ව තිබෙනවා. ජනාධිපති මන්දිරය, අගමැති කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යලය කොල්ලකෑවා.

රට, රාජ්‍ය බිඳවට්ටන්න කටයුතු කළා. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී විශාල පිරිසක් අපි කෙරෙහි වශ්වාසය තබා ඡන්දය ලබාදුන්නා. අපි පක්ෂයක් ලෙස රට ගැන සිතනවා. අරගලය වෙලාවේ රට, රාජ්‍ය වට්ටන්න නොහැකි නිසා අපි අඩියක් පස්සට ගෙන ඕනම කෙනෙකුට සහාය ලබාදෙනවා කියා පැවසුවා. අනුර කුමාරලාට මේ රට බාර ගන්න නොහැකි වුණා. නමුත් පක්ෂයක් ලෙස අපි පාක්ෂිකයන්ගේ අපේක්ෂාවන් ඉටුකරන්න පියවර ගන්නවා. ගමේ හොද දෙයක් කරන විට ඒවා විවේචනය කරන්නේ කවුද. අපි රාජපක්ෂලාට කඩේ ගියා. අදත් යනවා. හෙටත් යනවා. අපේ දරුවන්ට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ මහතායි. අපේ මන්ත්‍රීවරු මැරුවා. ගෙවල් ගිනි තිබ්බා. ගහන්න ගහන්න පන්නරය ලබන සිරිසක් අපේ පක්ෂයේ ඉන්නවා. ඉදිරියේ පැවැත්වෙන ඕනම මැතිවරණයක දී කල්ලිගසන පිරිසට වඩා දේශපාලන ජයග්‍රහණ ලබාගන්න අපිට පුළුවන්කම තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

අද දිවයිනේ ස්ථාන කිහිපයක මෙවැනි රැලි පැවැත්වෙනවා. පක්ෂයක් ලෙස මේ පිටියේ දී පවත්වන්න අපි තීරණය කළා. මීට පෙර රටේ තිබුණු වාතාවරණය අපි දන්නවා. ඝාතනය කරලා, නිවාස ගිනි තියලා විවිධ අභියෝග මැද මේ ස්ථානයට පැමිණි සැමට මගේ ආචාරය පිරිනමනවා. අපේ ගෙවල් ගිනි තිබ්බාට අපේ අතපය කැඩුවට මහින්ද රාජපක්ෂ මහතා සමඟ එන මේ ජන ගඟ ආපස්සට හරවන්න බැහැ. 2019 ජනාධිපතිවරණය අපිට මතකයි. අපි සැවොම එක්ව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගත්තා. ඒ මහතා පැමිණි ගමන් කොවිඩ් වසංගතය රටට ආවා. ඒ අවස්ථාවේ එතුමාට රටේ විශාල ප්‍රසාදයක් ආවා. මේ රටේ මිනිසුන්ට තිබුණ පීඩනයත් සමඟ ජනතාව පාරට බැහලා ආව වෙලාවේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඉවත් වෙන්න තීරණය කළා. එයින් පසුව රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලබාදුන්නා. මේ වකවානුව තුළ ජනාධිපතිවරුන් තිදෙනෙකු අපි දැක්කා. කවුරු මොනවා කිවුවත් මේ රටේ ජනතාවගේ හදවතේ ජනාධිපති කෙනෙක් ඉන්නවා. මේ රට එක්සත් කළ ජනාධිපති තමයි මහින්ද රාජපක්ෂ මහතා. තවත් ජනාධිපති කෙනෙක් රටේ ඉන්නවා. ෆේස්බුක් ජනාධිපති හැටියට අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ සඟයන් එදා අපිට නිවන්සුව කියා පොස්ට් දානවා. නමුත් දැන් සල්ලි දාලාවත් ගන්න එකක් නැහැ. ඒ අනුව අද මේ රටේ මිනිස්සු ජනතා විමුක්ති පෙරමුණ ගැන අවබෝධයකින් ඉන්නවා. මාලිමාව නමින් දේශපාලනයට ආවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ත්‍රස්තවාදී දේශපාලන පක්ෂයක්. ඒක අමතක කරන්න කමයි මාලිමාවෙන් ඡන්දය ඉල්ලන්න තීරණය කළා. එල්.ටී.ටී.ඊ ය හා ජනතා විමුක්ති පෙරමුණ අතර වෙනසක් අපි දකින්නේ නැහැ. දෙගොල්ලම කළේ ප්‍රචණ්ඩ ත්‍රස්තවාදයයි. ත්‍රස්තවාදී සංවිධානවලින් අනුග්‍රහය ලබන සංවිධානයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. එදා යුද්ධය තීරණාත්මක වෙලාවේ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ අයවැය පරද්දන්න සැලසුම් කළා. කොටියාට ඔක්සිජන් දෙන්න කටයුතු කළා. එදා අයවැය පැරදුනා නම් අදටත් අපි කොටින් සමඟ යුද්ධ කරනවා. එල්.ටී.ටී.ඊ හිටපු සාමාජිකයන්ට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් නම දුන්නා. ජාතිවාදයට, අන්තවාදයට එම පක්ෂය අනුග්‍රහය ලබාදී තිබෙනවා. ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව එන ඕනම බලවේගයකට අපි සහාය ලබාදෙනවා. අද කවුරු මොනවා කිව්වුත් මේ පක්ෂය මහින්ද රාජපක්ෂ මහතාට ලොකු ගෞරවයක් තිබෙනවා. ප්‍රචණ්ඩත්වයට යන්න එපා කියා එතුමා අපිට කිවුවා. ඒක තමයි අපේ විශිෂ්ඨ ගුණාංගය.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා,

අද අපි අභියෝගයක් බාර ගත්ත දවසක්. පසුගිය යැමි 9 ජනතා විිමුක් පෙරමුණ විසින් අපේ මන්ත්‍රීවරු, ඇමැතිවරු ඇතුළු පිරිසකගේ ගෙවල් ගිනි තිබ්බා. පහර දුන්නා. අපේ අය ලග බියක් ඇතිවුණා. නැවත අපි ජයග්‍රහණය කරන්නේ කෙසේ ද යන්න කියා බියක් ඇති වුණා. නමුත් අපේ පක්ෂය යළිත් ජයග්‍රාහී තැනකට අද පැමිණ තිබෙනවා. අපි ගිනි තිබ්බා කියා මේ සටන අත් හරින්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා අපිට නායකත්වය දෙනවා. 2015 වසරේ දීද අපි මෙවැනි තත්ත්වයකට මුහුණ දුන්නා. 1989 දී අපේ මන්ත්‍රීවරු දහස් ගණනක් ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දැම්මා. නමුත් අපේ බලවේගය නවතන්න ඒ අයට පුළුවන් වුණේ නැහැ. එදත් අදත් ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරනවා. ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන මැතිවරනයත් අපි කෙලින්ම තරඟ කරනවා. වෘත්තීය සමිති ලෙස අපි අභියෝග රැසකට මුහුණ දෙනවා. අපි සාකච්ඡා කරගෙන සාමාජිකයන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා.

හෙටත් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. අපි රජයේ වැඩපිළිවෙලට විරුද්ධ වන්නේ නැහැ. නමුත් සේවකයන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න අපි බැදී සිටිනවා. අද දහස් ගණනක් මේ ස්ථානයට රැස්ව සිටිනවා. අපේ හැම වෘත්තිය සමිතියකින්ම පැමිණ සිටිනවා. අපි සියලු දෙනාම එක්ව අනාගතයේ පොදුජන පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු කරමු.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා,

මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණ සිටිනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කඳවුර හැදුනේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු සියලු බලවේග ඒකවයි. 2015 වසරේ දී මේ වගේම කාලයක් අපිට උදාවුණා. ඒ වසරේ ජනවාරි 8 දා එතුමා පැරදුනා. එතුමා සමඟ ඉතිරිවුණ පිරිස අනාථ වුණා. ආණ්ඩුවකුත් නැහැ පක්ෂයකුත් නැහැ ඉන්න තැනකුත් නැහැ. නමුත් ගමේ ජනතාව ගිරුවාපත්තුවට ගිහින් මහින්ද මහත්තයා නැවත ගේන්න පියවර ගත්තා. ඒ පිහිටුවා ගත් ආණ්ඩුවේ නොයෙක් අභියෝග ආවා. නමුත් 2022 මැයි දිනය සමරන්න අපේ ජනතාවට අවස්ථාව ලැබුණේ නැහැ. අරගලකරුවන්ට මුහුණදීලා අද අවුරුද්දක් ගතවෙනවා. බේරේ වැවේ මඩ සෝදාගෙන අපි යළි නැඟිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ශන්තිමත්ව මැයිදිනය සමරනවා. 2017 වසරේ දී අපි මුළු කොළඹම පුරවමින් මැයි දිනය සැමරුවා. මහින්ද රාජපක්ෂ මහතාට අපි සහතිකයක් ලබාදෙනවා. ඊළඟ ඕනෑම මැතිවරණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී වීරසිංහ මහතා,

2015 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වෙලා ගෙදර ගියාම එම කඳවුරේ දේශපාලනය ඉවරයි කිවුවා. මහ පාරේ ඇවිද්දවනවා කිවුවා. අපේ නායකයන් හිර ගෙවල්වල දැම්මා. නමුත් අපි අපේ ගමන නතර කලේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවර කරන්න හැදුවට අපිව වට්ටන්න බැහැ කියා අද පෙන්වා තිබෙනවා. මැයි මාසයේ 9 අපිව වට්ටලා, දේශපාලනයෙන් ඉවර කරන්න හැදුව කණ්ඩායම මොකක් ද කිවුවේ. අපේ පක්ෂය ඉවරයි කියා කිවුවා. 75 වසරක දේශපාලනය මේ රටට ගෙනාවේ කවුද. වසර 30 ක් පැවැති යුද්ධය ඉවර කරන්න කිසිවෙකුට නොහැකි වුණත් මහින්ද රාජපක්ෂ මහතා එය නියමාකාරයෙන් කළා. එහෙම නම් මහින්ද රාජපක්ෂ මහතා මේ රටට ශාපයක් ද කළේ. එදා දරුවා ගෙදර එනකල් දෙමාපියන් බියෙන් සිටියා. හේනට ගොවියා ගියේ මරණ බියෙන්. නමුත් අද අනුර කුමාර දිසානායකලා සුරංගනා කතා කියනවා. අධිවේගී පාරවල් හදලා, වරායන් හදලා රට සංවර්ධනය කිරීම දේශපාලන ශාපයක් ද. මේ රට සංවර්ධනය කළා නම් ඒ කර තිබෙන්නේ රාජපක්ෂවරුන්ගේ සහාය ඇතිවයි. දේශපාලන ශාපය ඉවර කරන්න ආාව පිරිස තමයි මේ රටේ ජනතාවට සොරකම පුරුදු කළේ.

හාමුදුරුවරු, ගුරුවරු, දේශපාලන නායයන්ට වෙඩි තබා මරා දැම්මා. ඒවා කළේ ජනතා විමුක්ති පෙරමුණයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 74 දෙනෙකුගේ නිවාස ගිනි තිබ්බා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය අපි දන්නවා. මේ රටේ අපිට නිදහස දුන්න, චීනයට දෙවැනි ආර්ථික සංවර්ධන වේගයක් රටට ගෙනවිත් දුන්න රාජපක්ෂවරු කඳවුරේ සිටින මේ සියලු දෙනාට මගේ ගෞරවය පිරිනමනවා. අපි ශක්තිමත් ආණ්ඩුවක් හදන්න එක්ව කටයුතු කරමු.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,

අද මැයි දිනය සමරන්නේ වැඩ කරන නායකයන්ට නායකත්වය දුන් නායකයෙකු සමඟයි. වැඩ කරන ජනතාවට කම්කරු ඇමැතිවරයා ලෙස සියලු සේවාවන් ලබාදුන්නා. වැඩ කරන ජනතාවට තමන්ගේ වැඩපලට පැමිණ තමන්ගේ දරුවන් බලන්න පුළුවන් අවස්ථාව දෙන්න එතුමා පියවර ගත්තා. ඇතැමුන් ජනතාවගේ සල්ලි මංකොල්ල කාලා අච මැයි දිනය සමරනවා. සැබෑ ලෙසම මැයි දිනය සමරන්න පුළුවන් නම් ඒ මහින්ද රාජපක්ෂ මහතාට පමණයි එවැන්නක් කළ හැකි නායකයා වන්නේ. ගාලු මුවදොර නැවත සංවර්ධනය කරන්න අපේ රජය තීන්දුවක් ගත්තා. ඒ නිසා එය ලබාදුන්නේ නැහැ. අනුර කියනවා ගාලුමුවදොර ඉල්ලුවා. බය වෙලා ඒක දුන්නේ නැහැ කියනවා. ගාලු මුවදොර සෙනඟ පුරවන්න පුළුවන් වුණු එකම පක්ෂ්‍ය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ සිදුකළ සංවර්ධනය තමයි අද තිබෙන්නේ. ඒ සංවර්ධන කටයුතු යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ අද මැයිදින රැළි පවත්වනවා. ඔවුන් පොලීසියට ප්‍රකාශයක් දෙන්න යන්නේ නැහැ. ඔවුන් සිදුකරන ඩීල් ගැන අපි දන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහතාට කඩේ ගියේ කියලා අපි දන්නවා. තමන්ගේ ලේකම්ට ලක්ෂ ට වඩා පඩි අරන් දුන්න ආකාරය අපි දන්නවා. ඒවා අවශ්‍ය වෙලාවට කතා කරනවා.

දේශීය කුමන්ත්‍රණයක් තිබුණු බවට විමල් වීරවංශ මහතා තමන්ගේ පොතකින් කියනවා. ඒවා තමයි නිර්මාණය වුණේ. නමුත් අපි දන්නවා ඔහු කළ දේවල්. අරගලය කාලයේ තෙල්, ගෑස් පෝලිම් හැදුනා. කුවද මේවා පිටිපස්සේ හිටියේ. 2019 අපි දිනුවාට පසුව මේ රටට ආයෝජකයන් ආවා. මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වෙන්න කියා මුලින්ම කිවුවේ කවුද. මේවා අපි මතක තබාගත යුතු වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ සංවර්ධනය වෙනත් කිසිවෙකුට සිතා ගන්නත් බැහැ. එතුමා රැකියා තොග ගණන් ලබාදුන්නා. චීනයට පමණක් දෙවැනි වුණු ආර්ථික සංවර්ධනයක් ගෙනාවා. වසරේ දී එතුමා පැරැද්දුව නිසා තමයි මේ රට මෙතැනට වැටුනේ. හතුරෝ සිටියේ ඇතුළ‍ෙ. සිරිසේන මහතා ජනාධිපති වෙනකොට මේ රටේ ඕනම කෙනෙකුට ජනාධිපති වෙන්න පුළුවන් කියලා අපේ කට්ටිය සිතුවා. අද කියුබාවේ මැයිදිනය සමරන්නේ නැහැ. එරට මැයි පෙළපාලි තහනම් කරලා. ඉන්ධන නැහැ. එරට ලොකු අර්බුදයක. අපේ ගෙවල් ගිනි තබලා වසරක් වෙනවා. අරමකීර්ති මන්ත්‍රීවරයා මරා දැම්මා. ඒ කිසිවෙකුට නඩු නැහැ. අරගලයට පැමිණ එකතු වෙයව් කියපු අනුර කුමාර දිසානායකට කිසිම ප්‍රශ්නයක් නැහැ. එදා පොලීසියට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ තුවක්කු අතට ගත්තා.

මහින්ද රාජපක්ෂ මහතාට අද නින්දා අපහාස කරනවා. පන්සලකට නොගිය ජනතා විමුක්ති පෙරමුණ අද බුද්ධාගම ගැන කතා කරනවා. ගෙවල් නෙවෙයි අපිය මැරුවත් මේ රටේ ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩු බලය ගන්න ඉඩ දෙන්නේ නැහැ. පසුගිය කාලයේ සිදුවූ දේ සම්බන්ධයෙන් අපි දුක් වෙනවා. නමුත් අපි ආපස්සට යන්නේ නැහැ. විනය කැඩුවේ ජනතා විමුක්ති පෙරමුණයි. වසන්තලාගේ කුමර් ගුණරත්නම්. අනුර කියන්නේ කුමාර් ගුණරත්නම් අදුරන්නේ නැහැ කියනවා. මිනීමරුවේ අපේ ගේ මිදුලට පැමිණ සිටිනවා. අද වනවිට වෘත්තීය සමිති විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. මේ රට දියුණු කරන්න හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයිදින යෝජනාවලිය ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදුවූ අතර පොදුජන ප්‍රගතිශීලී රාජ්‍ය සේවා සම්මේලනයේ ප්‍රධාන ලේකම් නදීර නෝනිස් මහතා විසින් සිදුකෙරිණි. මෙවර 137 වැනි ලෝක කම්කරු දිනය සමරන අතර තම වැඩමුරය පැය 8 කට සීමා කරන්නැයි ඉල්ලමින් 1886 වසරේ මැයි මස පළමුවැනිදා කම්කරුවන් 65,000 ක් පමණ ඇමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයට රැස්වී සිදුකළ උද්ඝෝෂණය මෙහි ආරම්භය විය. කම්කරු නායක ඒ.ඊ ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව පළමුවරට 1927 වසරේ දී කම්කරු දිනය සැමරීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමැතිවරුන් වන ශාන්ත බණ්ඩාර, දිළුම් අමුණුගම, ඉන්දික අනුරුද්ධ, පියල් නිශාන්ත, විමලවීර දිසානායක, සනත් නිශාන්ත, සිරිපාල ගම්ලත්, කනක හේරත්, රෝහන දිසානායක, පාර්ලිමේනතු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, ආචාර්ය සරත් වීරසේකර, එස්.එම් චන්ද්‍රසේන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, ජයන්ත කැටගොඩ මහත්ම මහත්මීන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka