එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පදිංචිව සිටින කොළඹ 02 හයිඩ්පාර්ක් පෙදෙසේ පිහිටි නිවසට ඇතුළු වී මිල කළ නොහැකි සිතුවම් හයක් සහ රුපියල් ලක්ෂ 13ක් වටිනා අත් ඔරලෝසුවක් සොරකම් කිරීම සම්බන්ධව කොම්පඤ්ඤවීදිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
රුවන් විජේවර්ධන විසින් ඊයේ කොම්පඤ්ඤවීදිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
සොරකම් කරන ලද සිතුවම් මීට සියවස් දෙකකට පෙර, එනම් 1807 වර්ෂයට අයත් ඒවාය.
මෙම සිතුවම් සහ ඔරලෝසුව තිබී ඇත්තේ නිවසේ නිදන කාමරයේය. පසුගිය 24 වැනිදාත් 27 වැනිදා උදෑසන 7.30ත් අතර කාලය තුළ මෙම සොරකම සිදුවන්නට ඇතැයි රුවන් විජේවර්ධන කොම්පඤ්ඤවීදිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව තිබේ. පොලිසිය පවසන්නේ මෙම සිතුවම් වල වටිනාකම නිසි පරිදි අවබෝධයක් ඇති පුද්ගලයෙක් මෙම සොරකම සිදුකරන්නට ඇති බවය.
ජෝර්ජ් කිට්ගේ මිල කළ නොහැකි සිතුවම් දෙකක් මීට වසර 10කට පෙර මේ ආකාරයෙන්ම සොරකම් කර තිබිණි.
මෙම සිතුවම් සොරකම් කර තිබුණේ වර්ෂ 2013 වසරේ ජූලි 12 -19 කාලය තුළය. එම සොරකම සිදුවන්නේත් කොම්පඤ්ඤවීදිය පොලිස් වසම තුළ පිහිටි දැඩි ආරක්ෂාවක් සහිත කලාපයක් වූ අංක 130, ගැලතිව් වීදිය, කොළඹ 02 දරණ ස්ථානයේ පිහිටි ජෝන් කීල්ස් ප්‍රධාන කාර්යාලයෙනි.
මෙම චිත්‍ර සොරකම ගැන කොම්පඤ්ඤවීදිය පොලිසිය වසර 05ක් තිස්සේම විමර්ශන කළත් තවමත් සොරා සොයා ගැනීමට හැකි වී නැත.
