gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව ස්වාධීන සෙල්ලමක! ස්වාධීන කණ්ඩායම් රැසකින්ම පොහොට්ටුවන්!

පොහොට්ටුවේ ඇතැම් පිරිස් ස්වාධීන කණ්ඩායම් ලෙසින් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින බවත් මෙම කාක් පැටවුන්ට සහ පොහොට්ටු පැටවුන්ට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ නිදහස් ජනතා සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ නිල තේමා පාඨය ජනගත කිරීමේ අවස්ථාව හා එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ගෝඨාභය ජනතාවට කළගුණ සැලකූ හැටි

2019 ලක්ෂ 69 ක් සුභ අනාගතයක් පිළිබඳ සිහින දකිමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දැවැන්ත ජනවරමක් ලබා දුන්නා. අපි දුක් විඳපු යුගය නිමා කරලා දියුණු රටක සැපවත් ජීවිතයක් ගත කිරීමේ සිහිනය ඒ ලක්ෂ 69 ට තිබුණා. ඒ විතරක් නෙවෙයි එතුමා තවත් ශක්තිමත් කරන්න ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමානුපාතික මැතිවරණ ක්‍රමයේ පළමු වතාවට තුනෙන් දෙකක බලයකුත් ලබා දුන්නා. එතුමාව එතරම් ශක්තිමත් කළ ජනතාවට එතුමා කළගුණ සැලකුවේ කොහොමද ?

බටහිර කියමනක් තියෙනවා පෙම්වතිය සහ බිරිඳ කියන්නේ කාන්තාවන් දෙදෙනෙක් කියලා. බඳින්න කලින් හිටපු කෙනා නෙවෙයි බැන්දට පස්සේ ඉන්නේ කියලා. ගෝඨාභය ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අපට කියන්න තියෙන්නේත් ඒකම තමයි. ඔහු ආරක්ෂක ලේකම් කාලයේ සෘජුව වැඩකරන, විනයානුකූලව වැඩ කරන, ඒ වාගේම දූෂණයට විරුද්ධ වන, පවුලේ කිසිවෙකු තම ආයතන වලට සම්බන්ධ කර නොගන්න පුද්ගලයෙක්. නමුත් ඔහු ජනාධිපති තනතුරට පත් වුණාම කළේ මොකක්ද ?

අපි විපක්ෂයේ සිටිද්දී ඒ කාලයේ ඒකාබද්ධ විපක්ෂය විදිහට පක්ෂ නායකයෝ සෑම අඟහරුවාදා වකම රැස්වීමක් තියලා ඉදිරි ගමන සාමූහිකව තමයි තීරණය කළේ. ඒ සාමූහික තීරණය ඉතාම සාර්ථකව වේගයෙන් ඉදිරියට ගියා. හැබැයි

රාජපක්ෂ සමාගමේ බෝඩ් මීටින්

2019 ජනාධිපතිවරණයෙන් පස්සේ පක්ෂ නායක රැස්වීම අහෝසි වෙලා ඒ වෙනුවට රාජපක්ෂ සමාගමේ බෝඩ් මීටින් ආවා. ඒව තිබ්බෙත් නංගිලගෙ බෑනලාගෙ ගෙවල් වල රාත්‍රී ආහාරය, රාත්‍රී සාදයන් විදිහට. ඇමති මණ්ඩලය ගතයුතු තීන්දු ගත්තේ නංගිලාගේ බැනලා ගේ ගෙවල් වල තිබ්බ රාත්‍රී ආහාර සංග්‍රහයන් මැද.

ඒ වගේම අපට මතකයි 2015 පරාජයේ දී රාජපක්ෂවරුන්ට තිබිච්ච අංක එකේ චෝදනාව තමයි පවුල්වාදය. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා වළක වැටීම මොළයට ලාබයකි කියලා. අපි හිතුවේ මේ 2015 පරාජයෙන් පස්සේ රාජපක්ෂ පවුල පවුල්වාදය පිළිබඳ පාඩමක් ඉගෙන ගන්න ඇති කියලා. නමුත් මොකද උනේ. 2015 නතර කරපු තැනින් පවුල් පෝෂණය මොවුන් පටන් ගත්තා. 2015ට කලින් අමාත්‍ය මණ්ඩලයේ සිටියේ රාජපක්ෂවරුන් තුන්දෙනයි. 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව මෙය වැඩි වෙනවා. ඝෝටාභය ජනාධිපති. මහින්ද අගමැති. බැසිල් මුදල් ඇමති. චමල් වාරිමාර්ග ඇමති. පුන්චි නාමල් කුමරු තරුණ කටයුතු ඇමති විදිහට පත් වෙනවා. එතනින් නතර වෙන්නෙත් නෑ. එතුමාට ක්‍රීඩා ඇමති තනතුරු තාක්ෂණික ඇමති තනතුර විවිධ තනතුරු හැමදාම ලැබෙන්න ගත්තා. මොකක් හරි ඇමති මණ්ඩල සංශෝධනයක් වෙනවා නම් නාමල් කුමරුටත් මොකක් හරි සැනසිලි තෑග්ගක් ලැබෙනවා. 2021 අගභාගය වන විට එතුමාට මහා බලගතු ඇමති තනතුරක් ලැබුණා. ඒ තමයි දැවැන්ත ව්‍යාපෘති අධීක්ෂණය කිරීමේ ඇමති. රුපියල් බිලියනයට වඩා වැඩි ව්‍යාපෘති වල ප්‍රගතිය බැලීමේ ව්‍යාපතිය තමයි එම අමාත්‍යංශයට භාර වුණේ. දැන් එතකොට එතුමා ඉපදෙන්නත් කලින් පාර්ලිමේන්තු ආපු වාසුදේව නානායක්කාර මැතිතුමා, ගාමිණී ලොකුගේ මැතිතුමා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා තමන්ගේ ව්‍යාපෘතිවල ප්‍රගතිය වාර්ථා කරන්න අර නාමල් කුමරුව බැහැ දකින්න ඕනෑ. නාමල් කුමරුට මෙහෙම තනතුරු පිට තනතුරු පොකුරු පිටින් ලැබෙන කොට අනිත් කුමාරවරුන් නොසන්සුන් වෙයි කියලා යෝෂිත අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී වුණා රෝහිත අගමැතිතුමාගේ පෞද්ගලික ලේකම් වුණා.

වැඩි සැලකිලි බැසිල් මල්ලීට

මෙහෙම කුමාරවරුන්ට සලකන අතර තුර වැඩියෙන්ම සැලකුවේ බැසිල් මල්ලිට. බැසිල් මල්ලිට මුදල් ඇමති කමත් සමග ආයතන 57ක් ලැබුණා. එවැනි දැවැන්ත ඇමතිකමක් මම දන්නේ නෑ ඉතිහාසයේ කවදාවත් තිබුණාද කියලා. දිනකට එක්කෙනා බැගින් ආයතන සභාපතිවරුන් හමුවෙලා ප්‍රශ්න සාකච්ඡා කරන්න යොදා ගත්තත් සභාපති වරයෙක් හමු වෙන්නේ මාස දෙකකට පස්සෙයි. අමාත්‍යාංශ කඩාවැටීම ඉතින් අහන්න දෙයක් නෙමෙයි. අවාසනාවට එතුමාට ආර්ථිකය ගැන මෙලෝ හසරක අවබෝධයක් තිබුණේ නැහැ. බරපතළ උද්දච්චකම තිබුණු නිසා කාගෙන්වත් අහලා දැනගන්න කැමති වුණේ නැහැ.

බලශක්ති අර්බුදයක් එනවා කියලා අපි කිව්වේ 2020 ඔක්තෝම්බර් මාසේ ඉඳන්. ඩොලර් අර්බුදයක් එනවා කියලා අපි ඒ කාලෙම ප්‍රකාශ කළා. හැබැයි එතුමා තමන්ගේ ගෝලයෝ දාලා රටට කිව්වා අපිට සල්ලි ඇති තරම් තියෙනවා. ඩොලර් ඇතිතරම් තියනවා. කිසිම ආර්ථික ප්‍රශ්නයක් නෑ. ගම්මන්පිල බොරු බිල්ලන් මවනවා කියලා. තව කෙනෙක් කිව්වා බය වෙන්න එපා ඩොලර් නැව් තුනක් මග එනවා, ඩොලර් නැව් ආපු ගමන් ප්‍රශ්නය විසඳෙනවා කියලා. ඒ අහිංසක ඇමති හිතාගෙන ඉන්නේ ඩොලර් කියන්නේ නැව්වල පුරෝලා රට ඇතුළට ගෙන එන දෙයක් කියලා. කැබිනට් අමාත්‍යවරුන් ගේ දැනුම එහෙම නම් මේ ආර්ථිකය කඩා වැටීම පුදුමයක් නෙමෙයි.

කලින්ම දුටු අර්බූදය සහ උත්තර

බලශක්තිය අර්බුදයේදී අපි අර්බූදය කිව්වා විතරක් නොවේ අර්බූදයට උත්තරය ද කිව්වා. මිල වැඩි කිරීම හරහා ඉල්ලුම කළමනාකරණය කරන්න, කෝටා ක්‍රමයක් හඳුන්වා දීලා සැපයුමද කළමණාකරන කරන්න ඕනෑ කියලා අප පෙන්වා දුන්නා. මේක නැනෝ තාක්ෂණය වත් රොකට් තාක්ෂණය වත් නෙවෙයි. මීට වසර දෙදහසකට පමණ කලින් රෝම අධිරාජ්‍යයේ තිරිඟු හිඟයක් ඇති වූ කාලයෙහි එම ප්‍රශ්නය විසඳුවේ සලාක ක්‍රමයක් ගෙන ඒමෙන් සහ මිල ඉහළ දැමීමෙන්. හැබැයි එහෙම අර්බූදයක් එන්නේ නෑ බොරුවට ජනතාව බියට පත් කරන්න එපා කියන දේ තමයි මුදල් අමාත්‍යවරයාගේ නිගමනය වුණේ. හිටපු කැබිනට් අමාත්‍යවරුන් මෙතන ඉන්නවා. ඔවුන්ට මතක ඇති බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මා සමග ඇතිකරගත් උණුසුම් සංවාද. 2021 දෙසැම්බර් වන විට කසකස්ථානයේ මෙවැනිම බලශක්ති අර්බුදයක් තිබුණා. ජනතාව පාරට බැහැලා වාහන ගෙවල් ගිනි තියන්න ගත්තා. ලංකාවේ බලශක්ති අර්බුදයට ද මෙම විසඳුම් 2 ක්‍රියාත්මක නොකළොත් අනිවාරයෙන්ම ජනතාව පාරට බැහැල රට ගිනි තියන බවට අනතුරු ඇඟවීම කලා. නමුත් අවාසනාවකට අපේ අනාවැකිය සැබෑ වෙලා රට ගිනි ගත්තා. ජනතාව දින ගණනාවක් පෝලිම්වල ඉඳලා අසහනය පුපුරා ගියාට පස්සේ මොකද කළේ රුපියල් 121ට තිබ්බ ඩීසල් ලීටරය 450 දක්වා වැඩි කලා. අන්න ඉල්ලුම කළමනාකරණය කළා. ඉන්ධන ලබා දීමේ සලාක ක්‍රමයක් ගෙනල්ලා සැපයුම් කළමනාකරණය කළා. ඒ ප්‍රශ්නය විසඳුනා. හැබැයි අපි කියපු දේ ඇහුවා නම්, කිව්වා විතරක් නෙමෙයි ලිඛිතව අමාත්‍ය මණ්ඩලයට එකොළොස් වතාවක් කරුණු දක්වා තියෙනවා. ඒ දේ එදා තේරුම් ගත්තා නම් මේ රටේ ජනතාවට අවාසනාවන්ත 2022 ට ඒ අයුරින්ම මුහුණ දෙන්නට වෙන්නේ නෑ.

බැසිල් මල්ලීට ගෝඨා අයියා දුන්න ලොකුම තෑග්ග අර දැවැන්ත නොතේරෙන මුදල් ඇමතිකම නෙවෙයි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. එය ගෙන ආවේ එකම එක අරමුණකින් පමණයි. අමෙරිකානු පුරවැසිකම තියාගෙන බැසිල් මල්ලීට පාර්ලිමේන්තු ඇවිල්ලා ඇමතිකමක් ගන්න එක. ව්‍යවස්ථාවත් එක්ක ගොඩක් සෙල්ලම් කරපු ජයවර්ධන මැතිතුමා තමන්ගෙ ගෝලයෙක් වෙච්ච අබේරත්න පිළපිටිය මැතිතුමන්ට පාර්ලිමේන්තු එන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආවත් පසුව අකුලා ගත්තා. කවුරුවත් තමන්ගේ පවුලේ කෙනෙකු වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අත කියන්න හැදුවේ නැහැ. ජේ ආර් ජයවර්ධන වත් එවැනි උත්සාහයක් දැරුවේ නැහැ. තමන්ගේ පවුලේ කෙනෙකු වෙනුවෙන් රටේ ව්‍යවස්ථාව වෙනස් කළ ලොව එකම ජනාධිපතිවරයා ලෙස මා දන්නා තරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක ඉතිහාසයට එකතු වෙනවා.

පොහොට්ටුවේ ස්වාධීන සෙල්ලම

අදටත් පොහොට්ටුව පාඩමක් ඉගෙන ගෙන නැහැ. ආඩම්බරයෙන් කියනවා අප බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. ජනතාව බලාගෙන ඉන්නේ එනකං. ඒ වගේම අනතුරු ඇඟවීමක් කරන්න ඕනේ බොහෝදෙනෙකු මෙදාපාර පොහොට්ටුවෙන් තරග කිරීම ප්‍රතික්ෂේප කළහම පුංචි කාක් පැටවු පුංචි පොහොට්ටුවෝ ස්වාධීන වෙස් මුහුණු බැඳගෙන මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අයට රැවටෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අපට දිනපතා මුණගැහෙන ජනතාව කියන්නේ එකම කතාවක්. එක පැත්තකින් බඩු මිල අහස උසට නැගලා. ජීවන වියදම දරාගන්න බැහැ. ඒ අතර බදු පිට බදු ගහලා පඩි පත සොච්චමක් වෙලා. කෑම බීම බෙහෙත් ටික ටියුෂන් පන්තිය මේ සියල්ල මේ සොච්චම් පඩියෙන් කරගන්න බැරුව අද ජනතාව මැරී මැරී ජීවත් වෙන්නේ. ඇවිදින ඇටසැකිලි කිව්ව ජනතාව අද ඇවිදගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන්නෙ. මේ මාසයේ අමාරුයි ඊළඟ මාසේ ඊටත් වඩා අමාරුයි ජනතාව පටි තද කර ගත යුතුයි කියලා දෙසන ආණ්ඩුවේ නායකයන් මේ ජනතාව සිරවී සිටින දුෂ්කරතාව පිළිබඳව කිසියම් සංවේදීතාවයක් දක්වනවා ද කියන එක අද අපිට ප්‍රශ්නයක්. ආණ්ඩුවේ නායකයන් කතාවෙන් කෙසේවෙතත් ආදර්ශයෙන් කැප කිරීම් කරන්න සූදානම් බව නම් පෙන්වලා නැහැ.

ඉන්දිරා ගාන්ධි මැතිනිය ලංකාවට පැමිණි අවස්ථාවක සිරිමාවෝ මැතිනිය රාත්‍රී ආහාර සාදයක් සූදානම් කර තිබුණා. එම අවස්ථාවේදී ගාන්ධි මැතිනිය වතුර වීදුරුවක් පමණයි පානය කලේ. ආහාර නොගන්නේ ඇයි කියලා බණ්ඩාරනායක මැතිනිය ඇහුවම මම මේ දිනවල රාත්‍රී ආහාරය නොගෙන උපවාසයක යෙදෙනවා මොකද අපේ රටේ විශාල පිරිසක් මේ වන විට දුර්භික්ෂයක් නිසා කෑම නැතිව දුක් විඳිනවා. මම රටේ නායකයා විදියට ඒ අයත් එක්ක ඒ දුක එකට වින්දොත් විතරයි අපේ දුක නායකයා ට තේරෙනවා අපේ දුකින් අපව මුදවා ගැනීමට නායකයා කටයුතු කරනවා කියන විශ්වාසය ජනතාව තුළ ඇති වන්නේ කියලා ඉන්දිරා ගාන්ධි මැතිනිය උත්තර දුන්නා.

නිදහස් සැණකෙළිය නතර කරන්න

බ්‍රිතාන්‍ය අරපිරිමැස්ම ව්‍යාපෘතිය පටන් ගත්ත කාලයේ අමාත්‍යවරුන් ගෙදර ඉදලා වැඩට ගියේ බයිසිකලයෙන්. ව්‍යාපාරික පන්තියේ පළමු පන්තියේ ගුවන් ගමන් වෙනුවට ඔවුන් ගියේ සාමාන්‍ය පංතියේ. අපේ ඇමතිවරුන් ගේ ආදර්ශය කෝ. ජනතාවට පටි තද කරගන්න කියලා මේ අය අද ඇමතිවරු පැටව් ගහනවා. ජනාධිපති කාර්යාලයේ ලේකම්වරුන් ව්‍යාපෘති අධ්‍යක්ෂක වරු පත් කරනවා. ඒ නිසා මම ජනාධිපතිතුමන්ට අභියෝග කරනවා ඔබ සැබැවින්ම ජනතාවගේ වේදනාව දන්නවනම් ඔය ලෑස්ති කරලා තියෙන නිදහස් සැණකෙළිය නතර කරන්න. ප්‍රරකෝටි ගණනින් වැය කරන්න සූදානම් කරලා තියෙන මුදල් කුසගින්නේ සිටින ජනතාවගේ කුස පුරවන්න යොදවන්න. පුළුවන්නම් ඒක කරලා ජනතාවගේ දුක ඔබට තේරෙන බව ඔප්පු කරන්න කියලා මම ජනාධිතිතුමන්ට අභියෝග කරනවා.

ජනතාවගේ දුක නොතේරෙන ආණ්ඩුවට එරෙහිව අරගලය පටන් ගත්තේ අපි. නැකත් බලලා කිරිබත් කාලා තිබ්බ පලවෙනි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී 20 වන සංශෝධනයට එරෙහිව සටන් කළේ අපි. රාජපක්ෂවරුන්ගේ තුනෙන් දෙකේ බලයෙන් ඇස් නිලංකාරව භ්‍රාන්තව හිටපු විපක්ෂයට ආදර්ශයක් වෙමින් ඒ බලයට අභියෝග කළේ අපි. රාජපක්ෂ පාලනය පලවා හැරීමට හැකියාව තිබෙන්නේ ගේ පාලනයට විකල්පයක් බිහිකිරීමට කුසලතාවය තිබෙන්නේත් ඒ සඳහා පිරිපුන් මිනිසුන් ඒකරාශී වී සිටින්නේත් හෙලිකොප්ටරයේ පමණයි. ඒ නිසා පුංචි ඡන්දයට හෙලිකොප්ටරය වටා ඒකරාශී වෙන්න යැයි මම ඔබට ආරාධනා කරණවා.

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka