gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට මැදිහත් වෙන්නේ නෑ… මුස්ලිම්වරුන්ට අහිතකර කිසිම ක්‍රියාවක යෙදෙන්න එපා - ජනාධිපති

මුස්ලිම් ප්‍රජාවගේ ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා සමාජ සාධාරණත්ව කොමිසම සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුස්ලිම් ප්‍රජාවට ආරාධනා කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලවේ දී (19) පැවති සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ 100 වන සංවත්සරය අමතමිනි.

75 වන නිදහස් උත්සවය සැමරීමට ශක්තිමත් සහ සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එක්වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී සියලු ප්‍රජාවන්ගෙන් ඉල්ලා සිටියේය.

ඕනෑම ආගමක් නවීන ලෝකය සමඟ අනුගත විය යුතු බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු ආගමක් වෛරී ආගමක් නොවන බව ද පැවසීය.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ සභාපති අෂ්- ෂෙයික් එම්. අයි. එම් රිස්වි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිළිගන්වනු ලැබීය.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ 100 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

‘සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ සියවැනි සංවත්සරය සමරන මේ අවස්ථාවේ එහි ආරම්භය පිළිබඳව සිහිපත් කළ යුතුයි.

1922 ආරම්භය, පළමු ලෝක යුද්ධයෙන් පසු ලෝකය විශාල පරිවර්තනයකට භාජනය වෙමින් පැවතියා. මුහම්මද් නබිතුමාගේ මරණයෙන් පසු සියවස් ගණනාව තුළ මුස්ලිම් ප්‍රජාව සහ එහි ආධිපත්‍යය යටතේ පැවති ඉඩම් සහ ජනතාව ඇතුළත් දේශපාලන-ආගමික රාජ්‍යය අහෝසි කිරීම එයට ඇතුළත් වෙනවා. ඒ වගේම එය ඉන්දියාවේ ස්ථාපිත කිරීම සඳහා විශාල ව්‍යාපාරයක් තිබුණා.

නමුත් ලංකාවේ ඔබ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ආරම්භ කරනවා. එහි මුස්ලිම් චින්තනය මිස වාද විවාදයක් නැහැ.

ඉතින් එදා තිබු ඇතැම් ප්‍රශ්නවලට අදත් ඔබ මුහුණ දෙනවා. පළමුව, අප සිටින්නේ 1922 දී නොසිටී ජාතීන් 150ක් පමණ සිටින වෙනස්ම ලෝකයකයි. එමෙන්ම අප එළැඹ සිටින්නේ විද්‍යාව හා තාක්‍ෂණයේ දියුණුව මෙන්ම දේශපාලන අයිතිවාසිකම් සංවර්ධනය සමඟම ඇති වූ වෙනස්ම සියවසකටයි. අපට ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ අනාගතය දෙස බැලීමට සිදුව ඇත්තේ මේ පසුබිම තුළයි.

පළමුව ඉස්ලාම් ආගම පමණක් නොවෙයි, සියලුම ආගම් බලන්නේ ආගමේ හරය කුමක්ද යන්නයි. ආගමේ නිර්මල අරුත කුමක්ද සහ අප නූතන ලෝකය සමඟ සම්බන්ධ වන්නේ කෙසේද කියලයි. ආගමේ හරය අතීතයට, වර්තමානයට සහ අනාගතයට සරිලන අයුරින් තිබිය යුතුයි.

හොඳ උදාහරණයක් තමයි බුදුදහම. බුදු රජාණන් වහන්සේ ගංගා ඉවුරුවල දේශනා කරන විට ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක් තිබුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, එහි එක් පදනමක් වන බුදුදහම සහිත ජලාශ්‍රිත ශිෂ්ටාචාරයක් ගොඩනැගීමට අපට හැකි වුණා. ගෞතම බුදුරදුන්ගේ කාලයේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරය නොතිබුණත් අප එය පිළිගෙන ඊට අනුගත වුණා.

ඒ හා සමානව, අප සියල්ලන්ම වර්තමානයේ ජීවත් වෙමින් අනාගතය දෙස බැලිය යුතුයි. අපේ ආගමේ හරය කුමක්දැයි සොයා බැලීමට අතීතය ප්‍රයෝජනවත් වෙනවා. එනමුත් කිසිම ආගමක් වෛරී ආගමක් නොවිය යුතුයි.

එය අනුකම්පා සහගත විය යුතුයි. ඒ වගේම විශේෂයෙන්ම ඉස්ලාම් ආගම හෝ ක්‍රිස්තියානි හෝ වේවා ආගම් කිසිම ආකාරයකින් වෛරී විය නොහැකියි.

ක්‍රිස්තියානි ආගමේ ආකාරයට මෝසෙස්ව පිළිගැනීම සහ ක්‍රිස්තුස්වහන්සේව පිලිගැනීම මෙන්ම ඉස්ලාම් ධර්මයට අනුව නබිතුමාව පිළිගැනීම වෛරී ආගමක් නොවේ. එය ආගමික ප්‍රගතියක්. ඉස්ලාම් දහම මගින් මුහම්මද් නබිතුමා කළේ, එම පණිවිඩය තව දුරටත් ඉදිරියට ගෙන යාමයි. ඒ නිසා අපි කිසිම ආගමක් වෛරී ආගමක් බවට පත් නොකළ යුතුයි. නමුත් අපි එකට ජීවත් විය හැකි ආකාරය සහ එකිනෙකාගේ ආගම දෙස හරවත් ලෙස බැලිය යුතුයි.

සෑම ආගමක්ම උත්සාහ කරන්නේ එය අදහන අයට මෙන්ම අදහන්නේ නැති අයටද තම ආගම පිළිබඳ දේශනා කිරීමටයි. නමුත් ඒ ආගම අදහන්නේ නැති අයට නොඇදහිලිවන්තයන්ට දේශනා කිරීමෙන් අදහස් කරන්නේ ඔවුන් ඕනෑම ආගමක සතුරන් කියලා නෙවෙයි. සෑම ආගමකම දැන් බොහෝ ආරවුල් දකින්න ලැබෙනවා. එය ඉස්ලාම් දහමේ පමණක් නොව, අනෙක් ආගම්වලත් අනාගතය කුමක්ද යන්න පිළිබඳව විශාල වාද විවාද සහ සාකච්ඡාවක් සිදු වෙනවා.

හැම ආගමකම හින්දු ආගමේ වේවා, බුද්ධාගමේ වේවා ප්‍රශ්න මතුව තිබෙනවා. අපි සාකච්ඡා කරන්නේ ඒ මොකක්ද කියලා. එබැවින් අපි සියල්ලෝම මෙම ගැටලුවට මුහුණදී සිටිනවා. නමුත් අපි අපගේ මූලික මූලධර්මවලින් ඉවත් නොවිය යුතුයි.

ඒ නිසා අපි ඉස්ලාම් ආගමේ මෙන්ම බුද්ධාගමේ, හින්දු, ක්‍රිස්තියානි ආගම්වලත් අපේ ආගමේ හරය සෙවීමේදී එම ප්‍රතිපත්තිවලට ගරු කළ යුතුයි. එවගේම අද අපිට දැනෙනවා ආගම වාණිජකරණය වෙලා කියලා. ඔව් ඇතැම් විට ආගම පාවිච්චි කරලා තියෙන්නේ යුද්දෙට සහ වෛරයටයි.එයින් අදහස් කරන්නේ ආපසු අතීතයට ගොස් යුද්ධ ආරම්භ කරන්න කියා නෙවෙයි.

දෙවනුව ආගම ඊටම අනුගතවී නූතනත්වයට මග පෙන්විය යුතුයි. ඉස්ලාමීය සෞදි අරාබියට හෝ නබිතුමාගේ උපත සිදුවූ කාලයට ආපසු යා යුතු යැයි කියන අයට, බැග්ඩෑඩ් අගනුවර වූ ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ගැන මොකද කියන්නේ තියෙන්නේ කියල මම අහනවා.

තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ රාජධානි දෙස බලන්න, යුරෝපය ශිෂ්ඨාචාරගත කිරීමට උපකාර වූ අයිබීරියානු අර්ධද්වීපයේ හෝ ස්පාඤ්ඤයේ මුස්ලිම් රාජධානි දෙස බලන්න. ඔටෝමාන් අධිරාජ්‍යයේ අතිවිශිෂ්ට සුලෙයිමාන් දෙස බලන්න. ඔබ ඔහුව ප්‍රතික්ෂේප කරනවාද? අපේ කලාපයේ පවා, අක්බර් අධිරාජ්‍යයා සහ ඔහු කලාප එකතු කිරීමට උත්සාහ කළේ කොහොමද? ඔහුව අනුගමනය කරමින් ඉන්දියන් සාගරයේ සහ පැසිෆික් සාගරයේ සන්ධිස්ථානය ගැන ඔහුගේ මුණුපුරා කතා කළා. අපි එය ඉන්දු-පැසිෆික් ලෙස හඳුන්වනවා. නමුත් ඔහු කීවේ එය නොවේ. ඔහු අදහස් කළේ සාගර දෙකක එකමුතුව නොව හින්දු ආගමේ සහ ඉස්ලාම් ආගමේ එකමුතුව ගැනයි. එබැවින් ඔහු පැවසූ දේ පවා ගැටුමට මුල පිරුවේ එය වෙනත් ආකාරයකින් භූ දේශපාලනයට ඇඳෑ ගත් නිසයි.

ඔබ නූතනත්වය පිළිගෙන ඉදිරියට යනවාද? ආගම් එය කළ යුතුයි. ඔබට එය වෙනස් කළ හැකි මාර්ගයක් නෑ. ඉස්ලාම් ආගම සෞදි අරාබියේ ආරම්භ වූණත් එහි විශාලතම බැතිමතුන් සංඛ්‍යාව සිටින්නේ ඉන්දුනීසියාව, පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් පිහිටි දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ බව කවුරුත් පිළිගත යුතුයි.

ඒ වගේම දැන් පවා ඔබට පෙනෙනවා වෙනස්කම් නිසා ලෝකයේ සියලුම රටවල ඇතිවී ඇති ගැටුම් පිළිබඳව. අපි දැන් බටහිර ශිෂ්ටාචාරය පිළිගෙන ඉවරයි. හොඳම උදාහරණය නම්, බ්‍රිතාන්‍යයේ අගමැතිවරයෙකු ලෙස හින්දු ජාතිකයෙකු පත් වීම සහ ලන්ඩනයේ නගරාධිපතිධුරයට මුස්ලිම් ජාතිකයෙකු පත්වීම පෙන්වා දෙන්න පුළුවන්. ඔවුන් නියෝජනය කරන්නේ බටහිර සංස්කෘතීන් මිස හින්දු හෝ මුස්ලිම් සංස්කෘතීන් නොවේ. ඉතින් මේවා තමයි නූතනත්වය පිළිබඳ අද අපට පෙනෙන්න තිබෙන හොඳම උදාහරණ.

තුර්කියේ කෙමාල් අතාටර්ක්ගේ, ඊජිප්තුවේ ගමාල් නසාර් කළ දේ අපි ප්‍රතික්ෂේප කළ යුතුද? ඒවගේම ජනාධිපති සුකර්නෝ දූපත් 400 ක් එකතු කර ඉන්දුනීසියාව ඇති කළේ කෙසේද? බෝරෝබුදුර් සහ රාමායනයේ ජයග්‍රහණ මතකයේ තබා ගන්න. ඉතින් ඔබ ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනවාද? අපි මෙය පිළිගෙන ඉදිරියට යා යුතුයි. එබැවින් නූතනත්වය වැදගත් වන අතරම ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අතර නවීන චින්තන මධ්‍යස්ථාන තිබිය යුතුයි. ඊට හොඳම උදාහරණය බහුතර මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන අග්නිදිග ප්‍රදේශයේ පිහිටුවා ඇති විශ්ව විද්‍යාලයයි. ඒ වගේම අෂ්රෆ් මැතිනිය කාන්තාවක් විදියට තමන් කරපු ජයග්‍රහණ වෙනුවෙන් ඇයට සම්මානයක් ලැබීම ගැන මම සතුටු වෙනවා. ඇය එය ලබා ගත යුතුයි. ඒවගේම විශ්වවිද්‍යාලය පිහිටුවීමේ දී දිවංගත අෂ්රෆ් අමාත්‍යවරයා ඉටුකළ කාර්යභාරය ද මා අගය කරනවා.

එය සියලු ආකාරයෙන්ම වඩාත් නවීන විශ්වවිද්‍යාලයක් විය යුතුයි. එය රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන සියලු ජාතින්ට ප්‍රයෝජනවත් වන විශ්ව විද්‍යාලයක් විය යුතුයි. එය මුස්ලිම්වරුන්ට පමණක් සීමා කිරීමට උත්සාහ කළ හොත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අත් වූ ඉරණමම අත්විය හැකියි. ඒ නිසා එය හොඳින් සිහියට ගත යුතුයි.

එබැවින් නූතනත්වය යනු සාරය බව අප පිළිගත යුතු සහ අප ඉදිරියට යා යුතු දෙයයි. මම දකින්නේ මෙතැනදී පවා මුස්ලිම් සමාජය ඒ වෙනස්කම්වලට ලක්වෙමින් ඒ වෙනස්කම් ගැන සාකච්ඡා කරනවා. මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) යනු ප්‍රධාන ප්‍රශ්නවලින් එකක්. ඒකට මම මැදිහත් වෙන්න යන්නේ නැහැ.

ඒක මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රශ්නයක්. නමුත් මම එකක් කියනවා, ආපස්සට යන්න එපා. මුස්ලිම්වරුන්ට අහිතකර කිසිම ක්‍රියාවක යෙදෙන්න එපා. පහුගිය දවසක මම දැක්කා සමහර මුස්ලිම් ළමයි මේ වෙනුවෙන් උද්ඝෝෂණ කරනවා. එය ඇත්ත වශයෙන්ම දරුවන්ගේ රැකවරණය පිළිබඳ නීතිය උල්ලංඝනය කිරීමක්. වැඩිහිටියන්ට අවශ්‍ය නම් එය කළාට කමක් නැහැ. එහෙත් දරුවන්ව ඉන් ඈත් කර තබන්න. ඒක ඇත්තටම මුස්ලිම් අය පිළිබඳව සෘණාත්මක තක්සේරුවක් ඇති කරන්නක් නිසා, ඒකට ඉඩ දෙන්න එපා. මට කියන්න තියෙන්නේ එච්චරයි.

දැන් ඔබ ඔබේ සියවන වසර සම්පූර්ණ කර තිබෙනවා. අපි අපේ නිදහසේ 75 වන වසරට මුහුණ දෙන්නේ. මේ කාලයෙන් වැඩි හරියක් අප ගත කරලා තියෙන්නේ එකිනෙකා සමඟ සටන් කරමිනි. මම හිතන්නේ දැන් සංහිඳියාවට සහ සහජීවනයට කාලයයි.

ඉතින් අපි දැන් පටන් අරන් තියෙන්නේ ශ්‍රී ලාංකීය දෙමළ, ප්‍රශ්න මොනවද, අපි සංහිඳියාව කරා යන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න. ඒ වගේම අප එහි පළමු පියවර අරගෙන අපි නැවතත් පක්ෂ නායකයන් හමුවෙනවා. පැවැති සාකච්ඡාවලදී අපි විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. කඳුකරයේ දෙමළ ජනතාව සමාජයේ සෙසු අය සමඟ ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද අපි සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා.

අනෙකුත් ජනවර්ග සහ ආගමික කණ්ඩායම් එයට ඒකාබද්ධ කර ගත යුතයි. මොකද මේවායේ ප්‍රතිලාභ ඔවුන්ට ලැබී නැහැ. අපි සම්පුර්ණයෙන්ම ඒකාත්මික විය යුතුයි. එමෙන්ම මට අවශ්‍ය වන්නේ මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ඔබ සමඟ සාකච්ඡා කිරීමටයි. දැන් ඔබ මුහුණ දෙන ප්‍රශ්න මොනවාද? මම හිතන්නේ ඒකට හොඳ උදාහරණයක් තමයි 2018 දිගන කෝලාහලය. ඒ ගැන කතා කරන්න වෙනවා. ඒ වගේම 2019 පාස්කු බෝම්බ ගැනත් කතා කරන්න වෙනවා. මෙයට හේතු වූ කරුණු සහ ප්‍රශ්න මොනවාද යන්න පිළිබඳව අප කතා කළ යුතුයි. කොළඹ මුස්ලිම් ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ශ්‍රී ලංකාවේ ගිනිකොන දෙසින් සිටින මුස්ලිම්වරුන් හෝ මන්නාරම මුස්ලිම්වරුන් මුහුණ දෙන ප්‍රශ්නවලට වඩා හාත්පසින්ම වෙනස්.

අප ගෙනයන සාකච්ඡාවලට දෙමළ, උඩරට දෙමළ, ශ්‍රී ලාංකික දෙමළ සහ සිංහල අය සම්බන්ධ කර ගන්නේ කොහොමද? ඔබේ දුක්ගැනවිලි, ඔබට දැනෙන සමාජ පසුගාමීත්වය පිළිබඳව සාකච්ඡා කරමු. මම හිතන්නේ එය සිදු කිරීමට මේ තමයි හොඳම කාලය කියායි.

ඒ විතරක් නෙවෙයි. අපි සිංහල අය අතරත් සාකච්ඡාවක් කරනවා. සමහර කණ්ඩායම් බලපෑමට ලක්ව වෙලා ඉන්නේ. විවිධ හේතුන් මත ඔවුන් සමාජය පිළිගන්නේ නැහැ. .මේ නිසා තමයි දිගුකාලීන ගැටලු පිළිබඳව සොයා බලන සමාජ සාධාරණත්වය කොමිෂන් සභාවක් පිහිටුවීමට අවශ්‍ය වන්නේ. එබැවින් ප්‍රශ්න ගැන ඉතා සෘජුව කතා කළ සමස්ත ලංකා ජම් ඉයියතුල් උලමා සංවිධානයෙන් මම ඉල්ලා සිටින්නේ මුස්ලිම් කණ්ඩායමද මෙය සමඟ එකතු වී එහි තුන්වන අදියර ලෙස මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රශ්න සාකච්ඡා කරමු කියලයි.

අපි එකින් එක ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යමු. මම මේ සාකච්ඡා එකක්වත් එකට ගත්තේ නැහැ. මොකද ඒ ඒ පිරිස් තමන්ගේ ප්‍රශ්න වලට ප්‍රමුඛත්වය බලාපොරොත්තුවෙනවා. මේ විදිහට ගියොත් කිසිම ප්‍රශ්නයක් විසඳන්න වෙන්නේ නෑ. ඒ නිසා අපි වෙනස්ම ආකාරයට එකින් එක විසදා ගනිමින් ඉදිරියට යමු.

ඉතින් නිදහසේ 75 වනසංවත්සරයේදී අපි සියලු දෙනාම සැබෑ ශ්‍රී ලාංකිකයන් වෙමු. ඉන්පසු ඉදිරි වසර 25 දෙස බලමු. අපි ඉදිරි වසර 25 තුළ කුමක්ද කරන්නේ ? අපි ආරම්භ කරන එක් ආයතනයක් තමයි මේ සියලු කරුණු සාකච්ඡා කළ හැකි ඉතිහාස පිළිබඳ අධ්‍යයන ආයතනය. ඊට අමතරව රාජ්‍ය සහ වෙනත් ආයතන තිබෙනවා. අපට ඉදිරියට යාමට නව ආර්ථිකයක් ඇති කර ගැනීමට මේ සියල්ල අවශ්‍යයි.

ශ්‍රී ලාංකික ජාතිය ලෙස අප ශක්තිමත් වෙමු. සමාජ සාධාරණත්වය ජය ගනිමු. වාර්ගික සහජීවනය ඇති කර ගනිමු. අපට ඉතා තරගකාරී ආර්ථිකයක් වීමට හැකි වන පරිදි නව ආර්ථිකයක් ඇති කර ගනිමු. අපව සමෘද්ධිමත් වෙමු.

සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානයේ සභාපති අෂ්- ෂෙයික් එම්. අයි. එම් රිස්වි මහතා

අපේ මාතෘභූමිය වන ශ්‍රී ලංකාව බහු වාර්ගික සහ බහු ආගමික රටක්. අපේ රටේ ප්‍රගතිය සහ සමෘද්ධිය රඳා පවතින්නේ අපගේ සියලු ජාතින් අතර ඇති යහපත්, සුහද සබඳතා මතයි. බෞද්ධ, හින්දු, ක්‍රිස්‌තියානි සහ ඉස්ලාම් භක්තිකයන් අතර සියවස් ගණනාවක් පුරා පවතින අන්‍යෝන්‍ය සබඳතාවලින් අපේ ජාතිය පෝෂණය වී ඇති බවට ඉතිහාසය සාක්ෂි දරනවා.

නිකාය ගැටුම් අවම කිරීමට ක්‍රියා කළ දූරදර්ශී නායකයන්ගේ කරුණාව, ආදරය සහ ගෞරවය සැබවින්ම සාර්ථක ජාතියක් ගොඩනැඟීමට ඉවහල් වුණා. කුල, ජාති, ආගම් භේදයකින් තොරව ඔවුනොවුන් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට උත්සාහ කිරීම අප මාතෘභූමියේ සෑම දේශප්‍රේමී පුරවැසියකුගේම වගකීමක්.

සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය, ගාල්ල කොටුවේ අල්-බහ්ජතුල් අල්-ඉබ්‍රාහීමියා අරාබි විද්‍යාලයෙන් ආරම්භ වූ දා සිටම, මුස්ලිම් ප්‍රජාවේ සියලුම තරාතිරම්වල ආධ්‍යාත්මික, සදාචාරාත්මක මඟ පෙන්වීමට කැපවී සිටිනවා.

එය නිර්පාක්ෂික කවුන්සිලයක් ලෙස සිය ස්ථාවරය පවත්වා ගනිමින් ප්‍රජාවේ සහ ජාතියේ අධ්‍යාපනික, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අංශවල සංවර්ධනය සඳහා දායකත්වය සපයනවා.

අද අපි මේ විද්වත් මණ්ඩලයේ 100 වන සංවත්සරය සමරනු ලබනවා. සහජීවනය, සැමට අධ්‍යාපනය, ජාතික ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය සඳහා සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානයේ සැලකිය යුතු දායකත්වයන් කිහිපයක් ගෙනහැර දැක්වීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

මේ රටේ මුස්ලිම් ජනතාව පසුගිය දශක කිහිපය තුළ සෑම ජනකොටසක් සමඟම සහජිවනයෙන් ජීවත්වීමේ අවංක උත්සාහයක නිරත වුණා. ඒ බව අභාවප්‍රාප්ත ඉතිහාසඥ ආචාර්ය ලෝර්නා දේවරාජා මහත්මියගේ සිය “The Muslims of Sri Lanka – One Thousand Years of Ethnic Harmony” නම් ග්‍රන්ථයෙන් පවා මනාව පිළිබිඹු වෙනවා.

ආගමික වතාවත් සම්බන්ධයෙන් ඉතිහාසයේ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් එකක් අපගේ මුහම්මද් තුමාණන් විසින් ශුද්ධ වූ මදීනා නගරයේ දී හඳුන්වා දුන්නා. ඒ අනුව සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය අනෙකුත් ඇදහිලි නායකයින් හා ආගමික අවකාශය නියාමනය කිරීමට සහ මධ්‍යස්ථභාවය, ඉවසීම සහ සහජීවනය ගොඩනැඟීමට ප්‍රමුඛතාවක් ලබා දී තිබෙනවා.

අප අවට ලෝකයේ මතු වී ඇති අභියෝග හමුවේ සියලු ජනකොටස් අතර සහයෝගීතාව ගොඩනඟන මුලපිරීම්වල අවශ්‍යතාව දැඩිව මතුව තිබෙන අතර එහිදී රටේ නායකයන් සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීමේ ඉතා වැදගත් වනවා.

මානව වර්ගයාගේ සාර්ථකත්වය සහ සමෘද්ධිය බොහෝ දුරට රඳා පවතින්නේ යහපත් ගුණාංග ශක්තිමත් කිරීම හා මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය ආරක්ෂා කිරීම මත ය. අල් කුර්ආනය සහ මුහම්මද් නබි තුමන්ගේ ඉගැන්වීම් මත පදනම්ව ප්‍රජාවන් තුළ සහජීවනය පවත්වා ගැනීම සඳහා අදියර හතරක් තිබෙනවා.

අප එකිනෙකා හඳුනාගැනීම, එකිනෙකා අතර වඩා හොඳ අවබෝධයක් ගොඩනැඟීම, එකිනෙකා අතර ඉවසීම ඇතිකර ගැනීම, එකඟ විය හැකි විෂයයන් තුළ සහයෝගීතාවය පුළුල් කිරීම, ප්‍රජාවන් අතර අවබෝධය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා, සිංගප්පූරුවේ ක්‍රමයට සමානව සමගි මධ්‍යස්ථාන, මුස්ලිම් පල්ලිවල පුස්තකාල, පාසල් සහ සංගම් ඉදිකිරීමට සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය ප්‍රතිඥා දී තිබෙනවා.

සමාජ සංවාද ග්‍රන්ථ මාලාව ප්‍රකාශයට පත් කිරීමෙන් සමාජ සංවාද පිළිබඳ ප්‍රජාවන් අතර මනා අවබෝධයක් තවදුරටත් ඇති වූ අතර ‘අපේ ජාතික උරුමය සුරකිමු’ යන තේමාව යටතේ සිදු කළ සුවිශේෂි අධ්‍යාපන චාරිකාව ප්‍රජාවන් තුළ ශක්තිමත් බැඳීමක් ඇති කිරීමට දායක වුණා.

එමෙන්ම සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ කාර්යභාරය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව පුහුණු කර, රටේ වටිනා සම්පත් බවට පත් කර රටට අඩම්බර විය හැකි පුරවැසියන් බවට පත් කිරීමයි. එවිට ඔවුන් සත්‍යවාදී, ආදරණීය, ගෞරවනීය සහ ගෞරවාන්විත පුරවැසියන් ලෙස ලෝකයට ආලෝකයක් වනු ඇතියි.

සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය “සියලුදෙනාදෙනාට අධ්‍යාපනය” යන තේමාව යටතේ ආධ්‍යාත්මික හා අධ්‍යයන වැඩසටහන් මෙහෙයවා ඇති අතර, ඵලදායී ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය යටිතලපහසුකම් සපයා දෙමින් අඩු වරප්‍රසාදලාභී සිසුන්ට උපකාර කර තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ දිවයින පුරා පාසල් 40ක සිසුන් 38,000කට ආසන්න පිරිසක් මෙම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබා තිබෙනවා.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරන ලද විෂයමාලා දළ සටහන් මත පදනම්ව සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය විසින් දහම් පාසල් (මක්තබ් ලෙස හඳුන්වන) හා සමාන පාසලෙන් පසු වැඩසටහනක් පවත්වනු ලැබුවා.

එක් ජීවිතයක් බේරා ගැනීම මුළු මිනිස් සංහතියම බේරා ගැනීමට සමාන බව ශුද්ධ වූ කුර්ආනයේ දිව්‍යමය පණිවිඩය ප්‍රකාශ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

මෑත වසරවලදී, බොහෝ ආගමික, සමාජ සංවිධාන, දේශපාලන ව්‍යාපාර සහ ආයතන රැඩිකල්කරණය, අන්තවාදය සහ විවිධ ප්‍රචණ්ඩත්ව සමඟ කටයුතු කළා. පිළිගත නොහැකි හැසිරීම් සාධාරණීකරණය කිරීම සඳහා පුද්ගලයන් ආගම, සමාජ අසාධාරණය, මූල්‍ය දුෂ්කරතා, වාර්ගිකත්වය යනාදිය භාවිතා කර තිබෙනවා.

ඒ සඳහා මානසික, චිත්තවේගීය සහ ආධ්‍යාත්මික ආබාධවලින් මිදීමට අපගේ පුරවැසියන්ට උපකාර කිරීමට සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය කටයුතු කරයි. එහිදී ස්වේච්ඡා සේවකයන්ගේ සහ මානසික සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සහාය අගය කළ යුතු අතර මෙම රාමුව මත තවදුරටත් ගොඩනැඟීමට අපි බලාපොරොත්තු වෙනවා.

ආරවුල් ඇති වූ කාලවලදී රජයේ ආයතන සමඟ අපගේ අතීත සහයෝගීතාවන්, ලෝකයට ආදර්ශයක් වී ඇතැයි මම විශ්වාස කරනවා.

දශක හයක් තිස්සේ ජාතික රණවිරුවන් අපේ මාතෘභූමියේ ස්වෛරීත්වය සුරැකීම වෙනුවෙන් දිවි හිමියෙන් කැප වූණා. ජාති ආගම් භේදයකින් තොරව සියලුම දේශප්‍රේමී පුරවැසියන් මෙම ජාතික අරමුණ වෙනුවෙන් හැකි සෑම ආකාරයකින්ම දායක වුණා.

2006 මුතූර් ප්‍රදේශයේ පැවති යුද ගැටුම්වලදී ආරක්ෂක අංශවලට සහාය වෙමින් ත්‍රස්තවාදීන් තුරන් කිරීම සඳහා මුස්ලිම් ජනතාව විශාල දායකත්වයක් ලබා දුන් බව ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණක්.

තවද සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය 2015 දී ISIS සංවිධානයට සහ අන්තවාදයට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ ලොව පළමු ආයතනවලින් එකකි. අපි තරුණයන් සඳහා ‘අන්ත වෙන්න එපා’ පොත් පිංච ප්‍රකාශයට පත් කිරීම වැනි ප්‍රති-රැඩිකල්කරණ වැඩසටහන්වල සැලකිය යුතු ප්‍රයත්නයක ද නිරත වූණා.

එපමණක් නොවෙයි, අපගේ ආදරණීය රට වන ශ්‍රී ලංකාවේ සහෝදරයන්ට ශුද්ධ වූ කුරානයේ නිවැරදි අවබෝධය ලබා දීම සඳහා ශුද්ධ වූ කුරානය සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත් කරමින් සහ ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳ වැරදි සංකල්ප පැහැදිලි කරමින් අපි ඒ පොත සම්පාදනය කළා.

මධ්‍යස්ථව ආගමික කාරණාවලට ප්‍රවේශ වන සමාජ සහජීවනය පවත්වාගෙන යන ආදර්ශවත් ප්‍රජාවක් ගොඩනැඟීම සඳහා විවිධ මතවලට ගරු කරන විද්වතුන්ගේ මගපෙන්වීම යටතේ සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය විසින් ‍ ‘මන්හජ්’ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එමඟින් අනෙකුත් ප්‍රජාවන් සමඟ සාමකාමී සහජීවනය පවත්වාගෙන යාමට දායකත්වයක් සපයනු ලබනවා.

ඉස්ලාම් ධර්මය මනුෂ්‍යත්වයට මුල් තැන දෙමින් “සියලු නිර්මාණ එකම පවුලක්” සංකල්පය ප්‍රවර්ධනය කරන අතර එය සර්වබලධාරි දෙවියන්ගේ දයාව ලබා ගැනීමට උපකාරි වනවා.

මිනිසුන් අතර විශිෂ්ඨ මින්සුන් ලෙස සලකන්නේ මනුෂ්‍යත්වය කෙරෙහි වඩාත් නැඹුරු වු අයයි. සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය පසුගිය දශක දෙක තුළ රුපියල් බිලියනයකට වඩා සමාජ සේවා ව්‍යාපෘති සඳහා වියදම් කර තිබෙනවා. එමෙන්ම තීරණාත්මක වසංගත කාල පරිච්ඡේදයන්වලදී, හදිසි ගංවතුර තත්ත්වයන්, සුනාමි ව්‍යසනය, 2006 මූතුර් ප්‍රදේශයේ ඇති වූ අවාසනාවන්ත සිදුවීම් හා පාස්කු ප්‍රහාරය වැනි සිද්ධීන්වලදී මානුෂීය ආධාර සඳහා පහසුකම් සලසා තිබෙනවා.

තීරණාත්මක වසංගත කාල පරිච්ඡේදය තුළ සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය අදාළ බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ අවශ්‍ය සෑම අවස්ථාවකම හැකි සහයෝගය ලබා දීමත් වැදගත් කරුණක් වනවා.

2002 දී සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මස් සැපයුම්කරුවන් සඳහා ඔවුන්ගේ ඉල්ලීම මත හලාල් සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලැබුවා. කාලයකට පසු, මෙම මුලපිරීම හලාල් සහතික කිරීමේ ක්‍රියාවලියක් ඇති කළ අතර එමඟින් රටට ඩොලර් මිලියන ගණනක අපනයන ආදායමක් ද ලැබුණා.

මෙම අවස්ථාවට සහභාගී වූ සියලු ආගමික නායකයින්ටත්, අතිගරු ජනාධිපතිතුමාට, ගරු අග්‍රාමාත්‍යතුමා, කථානායකතුමා, මහකොමසාරිස්වරු සහ තානාපතිවරුන්ටත්, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පැමිණ සිටින සියලු සම්භාවනීය ආරාධිතයන්ට මගේ හෘද්ධයාංගම ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. සර්වබලධාරී දෙවියන් අපගේ මාතෘභූමියට සදාකාලික සාමය, සෞභාග්‍යය සහ සාර්ථකත්වය ලබාදේවා ! යි මම ප්‍රාර්ථනා කරනවා.

ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, මෙන්ම තානාපතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහූ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka