කීර්ති ශ්‍රී රාජසිංහ රජ මාලිගා පරිශ්‍රයේ තිබී සොරාගත්, ජනවහරේ සඳගල ලෙසින් පැනෙනා පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධව සැක පිට පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (08) රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
මෙසේ අත්අඩංගුවට පත්වන්නේ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ ඩබ්ලියු ශිරෝන් දුෂ්‍යන්ත (52) සහ මහනුවර හීරැස්ස ප්‍රදේශයේ පදිංචි ඩී.කේ. ප්‍රසාද් සංජීව නැමැති පුද්ගලයින් දෙදෙනාය. මෙම පුරාවස්තුව මහනුවර සිට කොළඹ ප්‍රදේශයට ලොරි රථකයින් ප්‍රවාහනය කර ඇත්තේ ඔවුන් විසින් බව අනාවරණය කරගෙන ඇත. ඔවුන් දෙදෙනා පුරාවස්තුව පටවාගෙන ගිය ලොරි රථය ද පොලිස් භාරයට ගෙන ඇත.
කෑගල්ල මුලගොඩ ප්‍රදේශයේ සැඟවී සිට පසුව කෑගල්ල පොලිසියට භාරවීමෙන් අනතුරුව මෙම පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධිය පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.
දුරකථන ජාල පරීක්ෂාවෙන් සහ සීසීටීවී දර්ශන විමර්ශනයෙන් අනතුරුව මේ සිද්ධියට සම්බන්ධ නුවර ප්‍රබල ඇමතිවරයෙකුගේ පුතෙක් සම්බන්ධවත් තොරතුරු අනාවරණය කරගැනීමට ු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී ඇත.
සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය හිමි පුද්ගලයා මෙන්ම මේ පුරාවස්තු කොල්ලකරුවන්ට ආරක්ෂාව සපයමින් යතුරු පැදියකින් පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ද නිවෙස් හැර පලාගොස් ඇතැයි විමර්ශන ආරංචි මාර්ග කියයි.
එමෙන්ම පුරාවස්තුව කුඩණ්ඩසාල උඩමළුව භූමියෙන් ගලවාගෙන පැමිණි බූම් ට්‍රක් රථයේ රියදුරු ද නිවසින් පලා ගොස් ඇත.
කොල්ලයට සම්බන්ධ සියලු දෙනාම හඳුනාගෙන වාර්තා කර තිබියදීත් මහනුවර පොලිසිය යටතේ විමර්ශන සිදුකරන විට නිදහසේ හැසිරෙමින් සිටි මෙම පුද්ගලයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පරීක්ෂණ භාර දුන් පසු මෙසේ පලා ගොස් ඇති බව ද හෙළි වී තිබේ.
දුරකථන ජාල සහ සීසීටීවී දර්ශන පරීක්ෂාවෙන් හඳනාගත් මෙම කොල්ලය පසුපස සිටින ඇමති පුත්‍රයා සම්බන්ධව දැඩි අවධානයකින් යුතුව සිය පරීකෂණ කටයුතු සිදුකරන බව ද විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.
දැනට සිදුකර ඇති විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම පෞරාණික කැටයම් සහිත ගල් කුට්ටිය තුළ මුතු මැණික් සඟවා ඇතැයි උපන් මිත්‍යා විශ්වාසයක් මත එය පැහැරගෙන ගොස් ඇති බවය. මේ වනවිට එය විනාශ කර තිබීමේ අවදානමක් ගැනද විමර්ශන අංශ සැක පහළ කරයි.
මේ අපරාධය සම්බන්ධව සියලුම තොරතුරු තිබිය දී එය හිතා මතා නීතිය ක්‍රියාත්මක කිරීම පැහැර හැරිය පොලිසිය මේ පුරාවස්තු සංහාරයට පුරාවස්තු හොරුන්ට හා සමානවම වගකිව යුතු බවට මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පාර්ශවයෙන් චෝදනා එල්ලවෙමින් ඇත.
- lankasara
