අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අධිකරණයේ සිට බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මඟ අවහිර කරමින් අධිකරණ කටයුතුවලට බාධා කර අධිකරණයට අපහාස කලේ යැයි චෝදනාව මත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු දැනට ඇප මත නිදස් වී සිටින පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළු අට දෙනෙකුට ලබන ජනවාරි මස 31 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ඊයේ (14) සිතාසි නිකුත් කළේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ගල්වැව සිරිධම්ම හිමි, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි, කරව්වේ ජිනරතන හිමි, අමල් සාලින්ද, අංජන රොද්‍රිගෝ, මාලා ප්‍රනාන්දු හා පොකුණුවිට සිරිසෝම හිමි වෙත මෙලෙස අධිකරණය සිතාසි නිකුත් කර ඇත.
පසුගිය 12 වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අලුත්කඩේ අධිකරණයේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන යන අවස්ථාවේ දී පෙරවරු 11 සිට පස්වරු 02 දක්වා කාලය තුළ දී අධිකරණය ඉදිරිපිට විශාල පිරිසක් රැස්වී සිටි බවත්, ඔවුන් අධිකරණය ආසන්නයට පැමිණ විශාල පුවරු රැගෙන විරෝධතාවයක් ද පැවත් වූ බවත් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
නීතිඥවරුන්ට සහ මහජනතාවට දොරටුවෙන් ගමන් කිරීමට නොහැකි සේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන දොරටුව අවහිර කරමින් “අරගලයට ජයවේවා“ “වසන්ත මුදල්ගේ නිදහස් කරන්න“ වැනි සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කළ බවත් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දන්වා ඇත.
මෙසේ අධිකරණ කටයුතුවලට බාධාවන අයුරින් සහ අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කිරීමෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 140, මංමාවත් පනතේ 59(1) අධිකරණ සංවිධාන පනතේ 55(1) (2) වගන්ති ප්‍රකාරව සැකකරුවන් වරද සිදුකර ඇති බැවින් ඉහත නම් සඳහන් පුද්ගලයින්ට අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කරන මෙන් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අදාල කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් අට දෙනාට ලබන ජනවාරි 31 අධිකරණයේ පෙනී සිටීමට නියෝග කළේය.
