gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ වධකාගාරයක් ගැන විමල් හෙලි කරයි

එදා කර්මාන්ත ඇමැති ලෙස, බියගම යූරියා කර්මාන්ත ශාලාව පාඩු ලබන තත්ත්වයට පත්කර විකුණා දැමූ, යභපාලන ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස, ශ්‍රී ලංකාවේ සමස්ත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 17න් අවුරුදු හතරහමාරකට ඩොලර් බිලියන 12.5ක්ම ලබගත් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “වැදි බණවලින්” පවතින ආර්ථික අර්බුදය ජයගත හැකි යැයි උත්තර ලංකා සභාගය කිසිසේත්ම විශ්වාස නොකරන බව එහි සභාපති, හිටපු අමාත්‍ය, විමල් වීරවංශ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ පැවති අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක් වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘කර්මාන්තකරුවාට කර්මාන්ත එපා කරවීම’

“ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මට පෙර අදහස් දක්වපු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා අපේ රටේ දියුණුව වෙනුවෙන් සිදු කළ යුතු බොහෝ දේ ගැන අදහස් පළ කළා. එහිදී එතුමා කර්මාන්ත පිළිබඳව විශේෂයෙන් කරුණු දැක්වූවා. එතැනින් මගේ කතාව ආරම්භ කිරීම සුදුසු යැයි මා සිතනවා. මට මතකයි, සිමෙන්ති සංස්ථාවට අයිති වෙලා තිබුණු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ පාලන සමයේ පෞද්ගලීකරණය කරනු ලැබූ පුත්තලම සිමෙන්ති කම්හල මේ වන විට පවත්වාගෙන යනු ලබන ඉන්සී(INSEE) සිමෙන්ති නිෂ්පාදන සමාගම මා කර්මාන්ත අමාත්‍ය ධුරය දරන අවධියේ මට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඒ මට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. පුත්තලම දිස්ත්‍රික්කයේ එක්තරා මන්ත්‍රීවරයෙක්(එක් කාලයකදී රාජ්‍ය අමාත්‍යවරයෙක්), එක් අවස්ථාවක එම කම්හලේ සේවක පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතා කළා, කියා ඔවුන් සේවයෙන් නෙරපීම ගැන විමසීමට එම ඉන්සී සමාගමට කතා කරලා, ‘එයාලා මගේ ගෝලයෝ ඔවුන් නැවත සේවයට ගන්න’ කියලා. අවසානයේදී මේ බලපෑමෙන් මිදෙන්න ඒ සමාගමට, මේ මන්ත්‍රීවරයාට සිමෙන්ති කොට්ට 1000-2000ක් ලබා දෙන්න සිදු වෙලා. රටේ ජනාධිපතිවරයාට පවා මේ පැමිණිල්ල ආවා. මම දැක්කා ඒ මන්ත්‍රීතුමා අර ‘කපුටා’ පිළිගන්න ගුවන් තොටුපළට ගිහින් තිබුණා(කපුටාට ගැලපෙන කට්ටිය). තමන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස තිබෙන බලය පාවිච්චි කරලා බලපෑම් කරනවා, ‘ඒක දීපන්! මේක දීපන්!’ කියලා. ‘සමාගමට සේවකයන් ප්‍රවාහනය කරන බස් රථ ගන්න ඕනේ මගෙන්’ කියලා බලපෑම් කරනවා එහෙම දේශපාලන සංස්කෘතියක් තමයි මේ පොළොවේ තිබෙන්නේ.

කර්මාන්තයක් පටන් ගන්න ගියාම මුලින්ම පගාව දෙන්න ඕනේ, ප්‍රාදේශීය සභාවට, නගර සභාවට. ඊළඟට පරිසර අධිකාරියෙන් ඇවිත් ‘කෙකර ගෑවාම’ එතැනටත් දෙන්න ඕනේ. හදලා තියෙන්නේ කර්මාන්තකරුවාව දිරිගන්වන සංස්කෘතියක් නොවෙයි, කර්මාන්තකරුවාට තමන් නියැලී සිටින කර්මාන්තයත් එපා කරවලා, මේ රටත් එපා කරවන තත්ත්වයක් තිබෙන්නේ. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තු සභා ගැබ මැද්දේ කොයිතරම් බරසාරෙට කතා කළත් මහ පොළොවේ තිබෙන ඒ අපරාධකාරී ස්වභාවය වෙනස් කරන්න ප්‍රායෝගික මැදිහත්වීමක් නැත්නම් කවදාවත් අපේ රටේ කර්මාන්ත සංස්කෘතියක් ඇති වෙන්නේ නැහැ. මෙහිදී තමුන්නාන්සේලා කතා කළ වියට්නාමය හෝ වෙනත් රටක් වෙන්න පුළුවන්, ඒ රටවල නීති-රීති කාටත් එකයි. ප්‍රාදේශීය දේශපාලනඥයන් සතුටු කිරීමට ඒ රටවල කර්මාන්තකරුවන්ට දොළ පිදේනි දීමට සිදුව නැහැ. මෙතැන එහෙම නොවෙයි, මෙතැන හදලා තිබෙන්නේම, එන මිනිහාව මරාගෙන කාලා හරි, තමන්ගේ කුට්ටිය කඩාගන්නා ‘පෙරේතකමට’. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන තැනින් අපි පටන් ගන්න ඕනේ.

‘බියගම පොහොර සමාගමට සිදු කළ දේ’

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මට මතක් වුණා බියගම තිබුණු පොහොර කර්මාන්ත ශාලාවට සිදු වූ දෙය. මගේ මතකයේ හැටියට ඒ කාලය වත්මන් ජනාධිපතිවරයා කර්මාන්ත ඇමැති ධුරය දරපු කාලය. ඒ බියගම රාජ්‍ය පොහොර කම්හලෙන් රටටම අවශ්‍ය යූරියා නිෂ්පාදනය කළා. සමහර වෙලාවට අපි අතිරික්ත යූරියා ප්‍රමාණය පකිස්ථානයට විකුණලා පවා තිබෙනවා. එහෙම තිබුණු කර්මාන්ත ශාලාවක් පිටරට කොම්පැනියකට කුණුකොල්ලයට දුන්නා. ටික කලකදී එයාලා යන්ත්‍රසූත්‍ර පවා ගලවලා අරගෙන ගියා. ඊට පස්සේ එතැන වධකාගාරයක් දාගත්තා. මේ රටේ ගොවියාට යූරියා පොහොර ටික සපයපු පොහොර සමාගම පාඩුයි කියලා පෙන්වලා, විදේශ සමාගමකට දුන්නාට පසුව සිදු වූ දෙයයි ඒ.

‘පරණ ට්‍රැක් එකට වැටීම’

තමන් එහෙම තුට්ටුදෙකේ තීරණ අරගෙන මේ රට වලට ඇදලා දාපු භාවිතාවන් පෙනෙන්න තිබියදී, අවුරුදු තිහකට පමණ පසුව ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාම ජනාධිපතිවරයා හැටියට ඇවිත් කියනවා, ‘අපි ආපු ගමනේ වැරදි තිබෙනවා’ කියලා. ඒවා වැරදි නම්, වැරදි නිවැරදි කරන උපායමාර්ගික සැලැස්මක් මේ අයවැයේ තිබෙනවා ද? කුරුඳු වගාව සම්බන්ධ යෝජනාව ඇතුළු යෝජනා කීපයක් හැරුණාම මේ අයවැයෙන් බලන්නේ, ලැයිස්තුවක් ලෙස දමා තිබෙන ලාභ ලබන රාජ්‍ය ආයතන ටික, ඩොලර්වලට විකුණලා, විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන තුනහතරකට හදාගෙන, ‘රේටින්ස්වලින්’ පොඩ්ඩක් ඉහළට ඒම. එහෙම ඉහළට ආවාම කවුරුහරි ‘හෙට්ටියකු’ ළඟට ගිහින් ආයෙත් ණය ගැනීම; ණයට අරන්, සැපට කාලා, ජොලියෙ ඉඳීම. මේ අයවැය තුළ තිබෙන මට පෙනෙන ‘ආර්ථික දර්ශනය’ ඒකයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව සිදුකළ කතාවකදී කියනවා, ‘මම සංවේදී ඔය ආයතන, ගොඩනැගිලි ගැන නොවෙයි. මම සංවේදී කුස්සිය ගැන. ඒ ආයතන ටික විකුණලා ඩොලර් බිලියන තුනක්හතරක් හදාගත්තාම අපේ සංචිතය ශක්තිමත් වෙනවා’ කියා. එතැනින් කතාව නතර කරනවා. මේ හදන්නේ මම ඉහත පෙන්වා දීපු ආකාරයට ‘ණයට අරන් සැපට කෑමේ’ පරණ ට්‍රැක් එකට වැටෙන්න.

‘අර්බුදයේ ප්‍රධානතම හේතුකාරකයෙක්’

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ මුළු විදේශ ණය බර ඩොලර් බිලියන 52ක්. ඒක තුළ තිබෙනවා, සහන කාල සීමා නොමැති, 6%-9% අධික පොලියට ගත්තු වාණිජ ණය හෙවත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ඩොලර් බිලියන 17ක්. ඉන් ඩොලර් බිලියන 12.5ක්ම ගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරපු යහපාලන ආණ්ඩුවේ අවුරුදු හතරහමාරක කාලයේදීයි. ඒ ගත්තු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණයවල වාරිකය එකවර කඩාගෙන වැටුණාම තමයි ණය ආපසු ගෙවීම කළමනාකරණය කරගැනීම ඉතා දුෂ්කර වෙන්නේ. මේ ආකාරයට අවුරුදු හතරහමාරකදී අධික පොලියට, සහන කාල සීමා නොමැති වාණිජ ණය ඩොලර් බිලියන 12.5ක් ගැනීමත් අපි අද පත්වෙලා ඉන්න ආර්ථික අර්බුදයට එක් ප්‍රධානතම හේතුවක්. ඒ හේතුකාරකයාම දැන් ඇවිත් අපට කියනවා, ‘වැරදි වෙලා තියෙනවා. ඒවා හදාගෙන අපි ඉදිරියට යමු.’ කියලා. එක පැත්තකින් බියගම පොහොර කම්හල පාඩු ලබන තත්ත්වයට පත් කරවලා, විකුණා දමා, එතැන වධකාගාරයක් පවත්වාගෙන ගිය කෙනා, අනිත් පැත්තෙන් අවුරුදු හතරහමාරකදී ඩොලර් බිලියන 12.5ක වැඩිම ණය බරක් එකතු කළ කෙනා කියන ‘වැදිබණවලින්’ මේ ආර්ථික අර්බුදය ජය ගත හැකියි, කියා අපි නම් හිතන්නේ නැහැ.

‘දැන්වත් විදේශ විනිමය පනත සංශෝධනය නොකරන්නේ ඇයි?’

මට අද තිබෙන සරලම ප්‍රශ්නය තමයි ‘ඇයි තමුන්නාන්සේලා තවමත් විදේශ විනිමය පනත සංශෝධනය නොකරන්නේ?’ කියන එක. රවී කරුණානායක, ඉහත කී අවුරුදු හතරහමාරක යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස එතෙක් පැවති විනිමය පාලන පනත වෙනුවට විදේශ විනිමය පනත ගෙන ආවා. පෙර පැවති නීති අනුව අපනයනයෙන් උපයන මුදල් නිශ්චිත කාලයකදී රට තුළට රැගෙන ආ යුතුයි. එසේ නොකිරීම අපරාධ වරදක්. ඒ නිසා අපේ නිෂ්පාදකයන් අපනයන ආදායම මාස දෙක,තුනකට සැරයක් රට තුළට ගෙන ආවා. එහෙම නොකළොත් මහබැංකුවට හැකියාව තිබුණා නඩු පවරන්න. රවී කරුණානායක ගෙන ආ පනතින්, ‘නඩු පැවරීම, අපරාධ වරදක් ලෙස සැලකීම’ යන සියල්ලම ඉවත් කරලා, බොරු වගන්තියක් පමණක් දැම්මා, ‘උපයන විදේශ විනිමය මාස හයක් ඇතුළත රට තුළට රැගෙන ආ යුතුයි’ කියලා. එහෙම රැගෙන නොආවොත් කරන දේ ඒ පනතේ නැහැ. ඒ නිසා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ අපේ රටේ නිෂ්පාදකයින් උපයන විදේශ විනිමය සම්පූර්ණයෙන් රට තුළට එන්නේ නැහැ. රට තුළට එන්නෙ නැතුව පිටරටවල ‘පාක් කරලා’ තිබෙන අපේ රටට අයිති විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන 35ක් පමණ වෙනවා. ඒක රට තුළට ගෙන එන්න විදේශ විනිමය පනත සංශෝධනය කරලා, පෙර පැවති නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කිරීමට බැරිනම්, තමුන්නාන්සේලා මොකද්ද බලාපොරොත්තු වන්නේ? අද පාසල් දරුවාගේ පොත් ටික, පාසල් බෑගය, සපත්තු කුට්ටම තුන්හතර ගුණයකින් මිල වැඩිවන ආකාරයට බදු ගහනවා. නමුත් මේ රටට අයිති විදේශ විනිමය ප්‍රමාණය රට තුළට ගෙන ඒමට නීති සංශෝධනය කරන්නේ නැහැ. මේ ප්‍රශ්නය සඳහා සංවේදී නැහැ කියන්නේ, මේ ආර්ථික අර්බුදය තමුන්නාන්සේලා විසඳන්න හදන්නේ ‘මුලෙන්’ අල්ලාගෙන නොවෙයි කියන එකයි. ඒ නිසා තමුන්නාන්සේලා තවදුරටත් කරන්නේ බොරුව.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට තනතුර දමලා පලා යෑමට සිදු වුණේ ඇයි? පැවති යථාර්ථයට කෙලින් මුහුණ දීලා, පෙර තීරණ අරගෙන, ඒවා පිළිබඳව මහජනයා දැනුම්වත් කරලා, පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මේ ආර්ථික අර්බුදයට මුහුණදීමට උපායමාර්ග සැලැස්මක් නොමැතිකම නිසයි. අදත් වෙන්නේ කිසිදු උපායමාර්ගික සැලැස්මකින් තොරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙස බලාගෙන දවස කළමනාකරණය කරගැනීම. ණයහිමි රටක් හෝ දෙකක් කිව්වොත් ‘අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට විරුද්ධයි’ කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුළු සැලැස්මම ඒ මත බිඳ වැටෙනවා. එතැන සැලැස්ම සාර්ථක වුණත් ලැබෙන්නේ ඩොලර් බිලියන 2.9ක්. ඒකත් වාරික හතරකට. අපේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 52ක්. ඩොලර් බිලියන 52ක ප්‍රශ්නයකට ඩොලර් බිලියන 2.9කින් කරන්න පුළුවන් මොන කෙංගෙඩියක් ද?

‘IMF දොස්තර මහත්තයා අන්තිමට කියන දේ’

මෙතැන වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘බෙහෙත් වට්ටෝරුව’ දිහා විතරක් බලාගෙන, ‘මේක තමයි හොඳම බෙහෙත; එකම බෙහෙත; මේ බෙහෙත පෙව්වාම තමයි මේ ලෙඩේ හොඳටම සනීප වෙන්නේ’ කියමින් ඉස්සරහට යෑම. අන්තිමටම IMF දොස්තර මහත්තයා කියයි, ‘ඔයාලාට ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරියට කරන්න බැරි වුණා. බෙහෙතේ ප්‍රශ්නයක් නොවෙයි, ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් තිබෙන්නේ’ කියා. ඔය ‘බෙහෙත් වට්ටෝරුව’ පාවිච්චි කරපු ආජන්ටිනාව, 1988 සිට පස් වතාවක් ණය ගෙවාගත නොහැකි රටක් බවට පත්වූවා. අදටත් ඔවුන් ආර්ථික අර්බුදයෙන් ගොඩගිහින් නැහැ. ලංකාවත් එවැනි දීර්ඝකාලීන අර්බුදයක් කරා රැගෙන යාම පමණයි සිදුවන්නේ කියා, තමුන්නාන්සේලා අනුගමනය කරන ප්‍රතිපත්ති සහ අරගෙන තිබෙන තීන්දු අනුව අපට පැහැදිලියි. ඒ නිසා මේ අය-වැය, රට ඉදිරියේ තිබෙන අභියෝගය ජය ගැනීම සඳහා ප්‍රමාණවත්, පුරෝගාමී අය-වැයක් නොවන බවට අපේ මතය අපි ඉදිරිපත් කරනවා.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka