gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දසුන් ශානකට ක‍්‍රිඩා ඇමති නවක වධය දීලා!

‘ක්‍රීඩා අමාත්‍යවරයා අපේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ගෙන්වාගෙන මාධ්‍ය ඉදිරියේ විවිධ උපදෙස් දෙනවා; අඩුපාඩු විමසනවා; වැරදි ප්‍රසිද්ධියේ පෙන්වා දෙනවා. ඒක හරියට ‘නවක වදය දීම’ වැනි දෙයක්. එහෙම කළාම වෙන්නේ ක්‍රිකට් නායකයාගේ අඩුපාඩුවක් තිබෙනවා නම් ඒක හැදෙන එක නොවෙයි, ඔහු බින්දුවටම වැටෙන එක’ බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.
මහනුවර ශ්‍රී පුෂ්පදාන ශාලාවේදී පැවති උත්තර ලංකා සභාගයේ ‘මහනුවර සම්ප්‍රාප්තිය” සමුළුව අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය.
“මේ අර්බුදය කුමක්ද ? එය මේ තත්ත්වයට වැඩෙන එක වළක්වා ගැනීමට තිබුණෙ නැද්ද? යන්න පිළිබඳව අපි මුලින්ම සලකා බලමු. 1977ට පෙර වෙළඳ පරතරය ලෙස ඩොලර් බිලියනයක අතිරික්තයක් තිබුණා. වෙළඳ පරතරය කියන්නේ අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරයටයි. එය මේ වන විට ඩොලර් බිලියනයක පමණ හිඟයක් ලෙසයි පවතින්නේ. 1977දී විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රමය මේ රට මත පටවනු ලැබුවා. ලෝකයේ බොහෝ රටවල් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයට මාරු වුණේ තමන්ගේ නිෂ්පාදන සංස්කෘතියක් ගොඩ නඟලා; එය පරිණත තත්ත්වයට ගෙනෙල්ලා; තම රටේ නිෂ්පාදන පරිභෝජනය කරන අභිමානවත් පුරවැසියකු බිහි කරලා. නමුත් අපේ රටේ එය සිදුවුණේ එසේ නොවෙයි. යුනික් රේඩියෝ එක, කාර් එකක් හැදීගෙන එනකොට, තුල්හිරිය රෙදි නිපදවීම හිස ඔසවන විට, එම සියලු දේශීය නිපැයුම් මුහුකුරා යන්න කලින් ගෙනැල්ලා පැටෙව්වා වෙළඳපොළ ආර්ථීක උපායමාර්ගය. ඒක හරියට පොඩි දරුවකුට ස්මාර්ට් ෆෝන් එකක් දුන්නා වගේ. වැඩිහිටියකුට ස්මාර්ට් ෆෝන් එකක් දුන්නාම වගකීමෙන් පාවිච්චි කරනවා. පොඩි දරුවකුට එසේ කරන්න බැහැ. ආර්ථිකයත් එහෙමයි. ආර්ථිකය මුහුකුරා ගියාම දෙන්න ඕන ප්‍රතිකර්මය ළදරු අවස්ථාවේදී දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස 1977ට පෙර නොතිබුණු වෙළඳ පරතරයක් 1977 සිට ඇති වුණා.

‘වැරදි පරිභෝජන රටාවකට…’

වෙළඳ දැන්වීම්වලින් අපේ පරිභෝජන රටාව කණපිට හරවන්න පටන් ගත්තේ ඒ සමඟයි. එහිදී තමයි ආනයන වියදම දැඩි ලෙස ඉහළ යන්නේ, වෙළඳ පරතරය වැඩි වීමට පටන් ගන්නේ. දේශීය ආහාර වෙනුවට විදේශීය ආහාර පරිභෝජනයට අපි වේගයෙන් ඇදිලා ගියා. නිදසුනක් ලෙස නැවුම් එළකිරි පානය කරපු අපි ආනයනික කිරිපිටි සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 300ක් වැය කරන තැනට වැටුණා. ඒ විදිහට අපිව වැරදි පරිභෝජන රටාවකට අරගෙන ගියා. 1977න් පසු පාලකයන්ගේ වගකීම වුණේ, ඒ වැරදි පරිභෝජන රටාව පිනවීම. පාලකයන් බැලුවේ නැහැ, නිවැරදි පරිභෝජන රටාවක් හඳුන්වලා දෙන්න. ජපානයේ ජනතාවට ඒ රජය මුද්‍රණය කර දීපු පොතක් තිබෙනවා. එය සෑම නිවසකම භාවිතා වෙනවා. ජීවිතය, පරිභෝජන රටාව, මිනිස් ගුණාංග පිළිබඳවයි එහි සඳහන්ව ඇත්තේ අපේ පාලකයන් අපේ නිවෙස්වලට එහෙම පොතක් ලබාදීලා නැහැ. දකුණු ආසියාවේ, ජනගහනයට සාපේක්ෂව බටහිර ඖෂධ සඳහා වැඩිපුරම මුදල් වැය කරන රට ශ්‍රී ලංකාවයි. 1977න් පස්සේ අපේ ජීවන රටාව කණපිට හරවලා, ඔවුන්ගේ නිෂ්පාදන මත යැපෙන පරිභෝජන රටාවකට අපව වහල් කළා.

‘3.50ට පාන් දුන්නු හැටි’

රජු කියන්නේ ‘පිනවන්නා’ යන අර්ථය දෙන්නක්. පැරණි රජවරු පමණක් නොවෙයි ඡන්දයෙන් ආපු රාජ්‍ය පාලකයිනුත් බැලුවේ ජනතාව පිනවන්න. එදා චන්ද්‍රිකා මැතිනිය කිව්වා ‘3.50ට පාන් දෙනවා’ කියා. ජනතාව ‘පිනා ගිහිල්ලා’ ඡන්දය දුන්නා. ඒ අනුව බලයට ආපු චන්ද්‍රිකා මැතිනිය අවුරුදු දෙකක් පමණ 3.50ට පාන් දුන්නා. ප්‍රීමා සමාගමට පිටි අඩු මිලට දෙන්න බැහැනේ, එතැනදී සිදු වූයේ ජනතාවට 3.50ට පාන් දෙන අතරේ පිටි වෙනුවෙන් වැය වන අමතර මුදල ජනතාවගේ බදු මුදලින් ප්‍රීමා සමාගමට ලබා දීමයි. අන්තිමට පාන් 3.50ට දුන්නාට යොදවපු බදු මුදල් ද සමග පාන් ගෙඩියකට රුපියල් 15.50ක් පමණ ඒ කාලයේ වැය වෙන්න ඇති. ඒ විදියේ කෙටිකාලීන පිනවීමේ දේශපාලනයක් තමයි 1977න් පසුව ක්‍රියාත්මක වූයේ. අවසානයේදී වෙළඳ පරතරය ඩොලර් බිලියනයක හිඟයක් බවට පත්වුණා.

‘නිවැරදි මඟපෙන්වීම තෝරා ගනිමු!’

1977න් පසුව අපට දුන්නු ‘ශික්ෂා පදය’ තමයි නව ලිබරල්වාදය. ‘රජය ආර්ථික ක්‍රියාවලියෙන් ඈත් වෙන්න. පෞද්ගලික අංශයට සියල්ල කරන්න පහසුකම් සපයන්න’ යන්න එහිදී අවධාරණය කෙරුණා. දැන් මේ හතරගාතෙන් වැටුණු වෙලාවෙත් පොවන්න හදන්නේ ඒ ‘වහ කුප්පිය’ යි. මේ අර්බුදය ඇතුළෙ මගපෙන්වීම් ප්‍රවණතා දෙකක් තිබෙනවා එකක් තමයි ‘රාජ්‍ය ව්‍යවසාය, රාජ්‍ය සේවය කිසිම වැඩක් නැහැ. සියල්ල විකුණලා දමන්න ඕනේ. විකුණලා දමලා පෞද්ගලික අංශයේ දේශීය, විදේශීය ආයෝජකයන්ට ඕනෑ නැටුමක් නටා ගන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට මේ අර්බුදය විසඳෙනවා’ කියන එක. අනෙක් මගපෙන්වීමේ ප්‍රවණතාව නියෝජනය කරන්නේ අපි. 1977 සිට කළේ ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල කිරීම. තුල්හිරිය රෙදි කර්මාන්ත ශාලාව, ඔරුවල වානේ සංස්ථාව ආදී දේශීය රාජ්‍ය ව්‍යවසාය විකුණා දැමුවා. දාස සමූහ ව්‍යාපාරය වැනි දේශීය පුද්ගලික සමාගම් වැසී යාමට සැලසුවා. සියල්ල පෞද්ගලීකරණයට නතු කළා. අවසාන ප්‍රතිඵලය කුමක්ද? රටට එදිනෙදා අත්‍යවශ්‍ය ආනයන ද්‍රව්‍ය ටික ගෙන්වීමට ඩොලර් හිඟ රටක ඉරණමට ඇද වැටීම

‘මහා ආහාර නිෂ්පාදන සංස්කෘතියක්’

මේ අර්බුදයෙන් ගොඩඒමට නම් එක පැත්තකින් අපි රටට හිතකර පරිභෝජන රටාවකට මාරු වෙන්න ඕනේ. ඒක නොකියනවා නම් අපි කරන්නෙත් වංචාවක්. අනාගත පරම්පරාවේ ජීවන අපේක්ෂාව ඇපයට තියලා ණය අරගෙන ‘කාලා බීලා සැපට ඉන්න’ වර්තමාන පරම්පරාව වන අපට අයිතියක් නැහැ. ඒ නිසා අපට පළමුව සිදුවෙනවා අපේ පරිභෝජන රටාවේ නියමිත ගුණාත්මක වෙනස්කම් කරන්න. ඒ වගේම මේ වෙළඳ පරතරය අවම කරගැනීම සඳහා අපි විදේශ විනිමය උපයන මාර්ග කෙරෙහි වැඩි බරක් තැබිය යුතුයි. තේ, රබර්, පොල් අපනයනය, ඇඟලුම් කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ, තොරතුරු තාක්ෂණ කර්මාන්තය ආදිය මගින් තමයි දැනට අපට විදේශ විනිමය ලැබෙන්නේ. රුසියාවට හිරු එළිය ලැබෙන්නේ මාස හයයි. ඔවුන් ඒ හිරු එළිය ලැබෙන මාස 06 තුළ හිමෙන් බරිත වූ මාස 06ටත් සෑහෙන්න සියලු ආහාර නිෂ්පාදන වගා කරනවා. ලෝකයේ පරිභෝජනය කරන තිරිඟු පිටිවලින් විශාල ප්‍රමාණයක් රුසියාව නිපදවනු ලබන තිරිඟු පිටි යි. ඔවුන් ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිතයි. ඒකයි කවර සම්බාධක දැම්මත් ඔරොත්තු දෙන්නේ. අපට 365 දවසේම හිරු එළිය තිබෙනවා. හිරු එළිය තිබෙන්නේ ඩොලර් උත්පාදනය කිරීමට අපට සොබාදහම දුන් මහා බලයක්. සුළඟ, වැස්ස, සාරවත් මහපොළොව මේ සියල්ල ද අපට ඩොලර් උත්පාදනය කිරීමට සොබාදහම දුන් මහා බලයක්. අපේ පරිභෝජනයෙන් එහාට ගිහිල්ලා, විදේශයන්හි පරිභෝජන අවශ්‍යතා සපුරාලිය හැකි ආහාර නිෂ්පාදන සංස්කෘතියකට අපට මාරුවීමට බැරි නැහැ. මේ රටේ සෑම මිනිසකුම සැලසුම් සහගතව, ඒ මහා නිෂ්පාදන ක්‍රියාන්විතයේ දායකයකු කරගන්න ඕනෙ. එහෙම වුණොත් විතරයි ජාතියක් හැටියට අප සියලුදෙනා සාමූහික විඥානයකින් බැදෙන්නේ.

‘සාමූහික විඥානය’

චෝල, පාණ්ඩ්‍ය, කේරල, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කවර ආක්‍රමණ ආවත් අපේ සාමූහික විඥානය බිඳවැට්ටවීමට බැරි වුණා. ඒ සමූහ විඥානය බලගැන්වීම තමයි රට නගාසිටුවීමේ පළමු දෙය වන්නේ. ජපානයේ පසුගිය දිනවල න්‍යෂ්ටික බලාගාරයක පිපුරුමක් සිදු වුණා. ඒ සමගම විදුලි අර්බුදයක් ආවා. රජය නිවේදනය කළා, ‘ඔබගේ වායුසමීකරණ යන්ත්‍රය සෙන්ටිග්‍රේඩ් අංශක 25ට වඩා පහළ අගයකට දමන්න එපා’ කියලා. ජවිපෙ වැනි පක්ෂයක් ජපානයේ තිබුණා නම් ‘තොපි කියන දේ අපි අහන්නේ නැහැ’ කියලා අර අගය සෙන්ටිග්‍රේඩ් අංශක 12ක වගේ අගයක තියාගන්නවා. ඒ රටවල පක්ෂ විඥාන වෙනම තිබුණාට සාමූහික ජාතික විඥානයක් තිබෙනවා. පක්ෂ විඥානය උඩට ගෙනැවිල්ලා, සාමූහික ජාතික විඥානය යටට දැමූ රටකට නැගී සිටින්න බැහැ. මානව සම්පතට අයාලේ යන්න දීලා රටක් හදන්න බැහැ.

අර්බුදයෙන් ගොඩඒමේ තුන් වැදෑරුම් මගක්

එහෙනම් පළමුකොට අපි මහජනයාගේ පරිභෝජන රටාව නිවැරදි කළ යුතුයි. දෙවැන්න මහජනයා සාමූහික ජාතික විඥානයකට රැගෙන ඒම. එසේ කොට ඔවුන් නිෂ්පාදන ක්‍රියාන්විතයක මහා බලවේගයක් බවට පෙරළීම අපි සිදු කළ යුතුයි. එය ලංකාවේ වෙළෙඳපොළ පමණක් අරමුණු කර ගත් නිෂ්පාදන ක්‍රියාන්විතයක් නොවිය යුතුයි. විදේශ වෙළෙඳපොළ ද ආවරණය වන පරිදි එම නිෂ්පාදන ක්‍රියාන්විතය සැලසුම් කළ යුතුයි. කොස් ආශිත නිෂ්පාදන අදටත් ඩුබායි වෙළඳපොළෙන් අපට ඩොලර් උපයා දෙනවා. ‘ස්ටෝරි එකක් තිබෙනවා නම් ගල්කැටයක් වුවත් විකුණාගන්න පුළුවන්’ කියා කතාවක් තිබෙනවා. ලස්සන කතාවක් සමඟ අපනයන වෙළෙඳපොළ වෙත සැපයිය හැකි නිෂ්පාදන අප සතුව කොපමණ තිබෙනවාද? නමුත් ඒ සඳහා නිර්මාණාත්මක හැකියාවක් සහිත දරු පරපුරක් ඕනේ. එවැනි දරු පරපුරක් බිහි කිරීමට අධ්‍යාපනයේ වෙනසක් ඕනේ. ‘ගිරාපෝතක අධ්‍යාපනය වෙනුවට නිර්මාණාත්මක පරිකල්පනයක් සහිත මිනිසකු බිහි කරන අධ්‍යාපනයක් උවමනායි. පරිසරය සමඟ ජීවත් වන දරුවෙක් තුළින් ඒ වෙනස බලාපොරොත්තු විය හැකියි.

‘කන විට පහර දීම’

මම දැක්කා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදයට විරුද්ධ දරුවන් පිරිසක් ආහාර ගනිමින් සිටින විට නවක වදයට පක්ෂ අයියලා ටිකක් ගිහිල්ලා කෑම පිඟන් විසි කරලා පහර දුන් බව දැක්වෙන පුවතක්. ඒක දැකලා මට සිහිපත් වුණා, අපේ අම්මලාගෙන් සහ ඒ පරිසරයෙන් අපට ලැබුණු අවබෝධය; කන කොට බල්ලෙකුටවත් ගහන්න එපා! කියන එක. ඒවා අපට ලැබී තිබුණු උරුමයන්. නමුත් අර ‘මරුවන්’ බවට පත්වෙලා ඉන්න විශ්වවිද්‍යාල අයියලා ටික දන්නේ නැහැ ආහාර ගනිමින් සිටින විට මිනිසකුට තියා සතකුටවත් පහර දෙන එක නිර්ලජ්ජිත ක්‍රියාවක් කියන එක. මේ අනුව පෙනෙන්නේ වත්මන් අධ්‍යාපන ක්‍රමයෙන් හදන්නේ ‘අවලස්සන දරුවකු’ බවයි. අපි හදන්න ඕනේ කාර්යශූර, අභියෝගවලින් පරදින විට නොවැටෙන, දිනන විට උඩ නොයන දරුවෙක්.

‘ක්‍රිකට් නායකයාට නවක වදය’

ඒ වගේම මම දැක්කා, ක්‍රීඩා අමාත්‍යවරයා අපේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ගෙන්වාගෙන මාධ්‍ය ඉදිරියේ විවිධ උපදෙස් දෙනවා; අඩුපාඩු විමසනවා; වැරදි ප්‍රසිද්ධියේ පෙන්වා දෙනවා. ඒක හරියට ‘නවක වදය දීම’ වැනි දෙයක්. එහෙම කළාම වෙන්නේ ක්‍රිකට් නායකයාගේ අඩුපාඩුවක් තිබෙනවා නම් ඒක හැදෙන එක නොවෙයි, ඔහු බින්දුවටම වැටෙන එක. ඒක නොතේරෙන හන්දා තමයි නවක වදය දෙනවා වගේ මෙවැනි කටයුත්තක් කරන්නේ. මේ විදිහට විකෘති වුණු සමාජයක් එක්කයි අපට මේ ගමන යන්න වෙලා තිබෙන්නේ. අපි විශ්වාස කරනවා අපිට මේ තත්ත්වය වෙනස් කළ හැකියි කියා.”

උත්තර ලංකා සභාගයේ “මහනුවර සම්ප්‍රාප්තිය” සමුළුව අමතා එහි නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් එහි ප්‍රචාරක ලේකම් ඉරංග විද්වත් මෙන්ඩිස්, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ වෘත්තීය සමිති නායක අම්මාන් නල්ලුසාමි යන මහත්වරු ද අදහස් දැක්වූහ.

පැමිණි පිරිස පිළිගැනීම ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක ඩී. යූ සෙනරත් මහතා විසින් සිදු කරන ලද අතර පිවිතුරු හෙළ උරුමයේ මහනුවර දිස්ත්‍රික් නායක, පූජ්‍ය නිකවැරටියේ ධම්මරතන හිමියෝ ද අදහස් දැක්වූහ.

උත්තර ලංකා සභාගයේ සමාජික දේශපාලන පක්ෂවලට අයත් මහනුවර දිස්ත්‍රික් මහජන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka