වසන්ත මුදලිගේ යනු තමන්ට ආභරණයක් බඳු සැබෑ තරුණයෙක් බවත් ඔහු විෂයෙහි ක්‍රියාත්මකවන මේ හැසිරීම නවත්වා රටේ සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කරන ලෙස තමන් රටේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ආදි වාසී නායක වන්නිලා ඇත්තෝ අද (13) පැවසූහ.
ඔහු කියා සිටින්නේ අරගලයේ පිහිටෙන් රටේ ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහට අරගලය අපරාධයක් නොවන බව වැටහෙන්නේ නැතිවීම පුදුමයක් බවය.
වසන්ත මුදලිගේ කියන්නෙ මට ආඩම්බරයක්. ඒ දරුවාගෙ අම්මා අපේ රැහේ ඌරුවරිගෙ කලූ. තාත්තා සිංහල කෙනෙක්. වසන්ත කියන්නෙ කලූගේ කුසේ වැඩුණු දරුවා.
මා මෙය කියන්න ඕන. මුලු රටේම මිනිස්සු අරගලයට සම්බන්ධ වුනා. වසන්තලා අරගලයට නායකත්වය දුන්නේ සෑම මිනිසෙකුගේම යහපත වෙනුවෙන්. මේ අරගලය පටන් ගත්තෙ එහෙමයි.
ඒත් අරගලය කරගෙන යනකොට එක එක කණ්ඩායම් එකතුවුනා. දේශපාලන කණ්ඩායම්, මැර කණ්ඩායම්, හොර කණ්ඩායම් එකතුවුනා. වසන්ත මුදලිගේ ලා කරගෙන ගිය යහපත් අරගලය වෙන පැත්තකට ගෙනිච්ච කණ්ඩායම් හිටියා.
දැන් ඒ දරුවා මාස ගණනක් තබාගෙන ප්‍රශ්න කරන එක ඒ දරුව එක්ක තවත් දරුවො රඳවාගෙන ප්‍රශ්න කරන එක, ශාරීරික වද හිංසා කරන එක යුතුකමක් නෙමෙයි. වැරදි දෙයක්.
මම කල්පනා කරන්නෙ අද ඉන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ උනත් කල්පනා කරන්න ඕන ඒ අරගලය නිසා තමයි ඔහුට ජනාධිපති ධූරය ලැබුණෙ කියලා.
අරගලයේ පිහිටෙන් වත්මන් ජනපති එම ධූරයට පත්වුන නිසා වසන්ත මුදලිගේ දරුවාත් අනෙක් අයත් එළියට දාන්න කියන එක නෙමෙයි මම කියන්නෙ. වැරැද්දක් කරලා තියනවා නම් ඒ දරුවට රටේ සාමාන්‍ය නීතිය අනුව නීත්‍යානුකූලව දඬුවම් දෙන්න. හිරේ යවන්න. හැබැයි මේ ආකාරයේ කටයුතු හොඳ නෑ…
මේ දරුවට මේ වද දෙන්නෙ ඔහු ආදිවාසීන්ට තියන ඥාතිකම නිසා කියලා මට හිතෙනවා. මොකද වැරැද්දට සම්බන්ධ වෙච්චි අය නිදහස් කරනවා. සමහර හිරේ හිටපු අයටත් සමාව දීලා නිදහස් කරනවා.
වසන්ත නොවෙයි… මෙහෙම දෙයක් කිසිම දරුවෙකුට කරන්න එපා. වන්නිලා ඇත්තෝ අවසාන වශයෙන් කියා සිටියේය.
- ලංකාසර
