වැරැද්දක් සිදුකරන ඕනෑම තැනැත්තෙකු රටේ නීති පද්ධතිය ඉදිරියේ දඬුවම් ලබා දිය යුතු බවත් ඊට කිසිවෙක් බාධා නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද ( 08) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජිනීවා මානව හිමිකම් සැසිය පැවැත්වෙන මේ අවස්ථාවේ දී රාජ්‍ය බලය යොදා ගනිමින් ප්‍රවීන සිනමා නිලි දමිතා අබේරත්න අත්අඩංගුවට ගැනීම සිදු නොවිය යුත්තක් බව කරුණු සහිතව ප්‍රකාශ කළ අවස්ථාවේ දී ය.
විපක්ෂ නායකවරයා මෙසේ කීවේය.
“එතුමිය පොදු ජන අරගලයක සාමාජිකාවක්. එතුමියට පොලිසියට එන්න කියලා තියනවා නව වැනිදාට. ඒත් ඊයෙ (07) මහජන උද්ඝෝෂණයකට සහභාගීවීමත් සමග ඇය ඇරස්ට් කරලා තියනවා.
මේ රංගන ශිල්පිනිය දඩයම් කිරීම නතර කරන්න. ඇය නීති විරෝධී ක්‍රියාවක් කරලා නෑ. දේපල හානියක් කරලා නෑ. එතුමිය කරලා තියෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති මානව අයිතිවාසිකම් අභ්‍යාස කිරීමක්. දමිතා අබේරත්න නිදහස් කරන්න මැදිහත් වෙන්න.
බෙහොම කාරුණිකව කියනවා රාජ්‍ය දඩයම රාජ්‍ය ම්ලේච්ඡත්වය රාජ්‍ය ප්‍රචන්ඩත්වය මේ හිංසනය නතර කරන්න. මේ විදිහෙ වැඩ කරමින් කොහොමද කියන්නෙ එකතුවෙලා වැඩ කරන්න කියලා.
( නාමල් රාජපක්ෂ කෑකෝ ගසයි)
මා කතා කළේ දමිතා අබේරත්න වෙනුවෙන්. සෑහෙන කාලෙකට පස්සේ නාමල් රාජපක්ෂ මැතිතුමා කෑ ගහනවා. ඇයි ඔබතුමා කෑ ගහන්නෙ. අරලියගහමන්දිරයෙන් පටන් ගත්තේ මේ ප්‍රචණ්ඩත්වය.
කෑගහන අය ගැන කතා කරලා වැඩක් නෑ. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ දඩයම නගර කරන්න මැදිහත් වෙන්න කියලා.
මේ අවස්ථාවේ දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නැගී සිටියේය.
නාමල් රාජපක්ෂ – යම් කිසි කෙනෙක් වැරැද්දක් කරලා තියනවා නම් පවතින නිතියට අනුව ඒ අයට දඬුවම් ලබා දිය යුතුයි. ඒ වගේම පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන්න ඕන.
ඒ කාලසීමාව තුළ පාර්ල්මේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය වුනා. රටේ දේපල විශාල ප්‍රමාණයක් විනාශ වුනා. පරීක්ෂණ කිරීම සම්බන්ධව කිසි ගැටලුවක් කාටවත් තියෙන්න බෑ.
ඒ වගේම තමයි එතුමිය කිසිම වැරැද්දක් කරලා නැතිනම් එතුමියට අධිකරණයෙන් කිසිම අගතියක් නොවෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි සියලු දෙනාම මේ රටේ ස්වාධීන අධිකරණ පද්ධතිය විශ්වාස කරනවා.
යම් කෙනෙක් වැරැද්දක් කරලා තියනවා නම් ඒ අය ආරක්ෂා කරන්න කිසිවෙක් ඉදිරිපත් නොවිය යුතුයි.
විපක්ෂ නායක – මගෙ ඉදිරිපත්වීම හෝ ඉදිරිපත් නොවීම තීරණය කරන්නෙ රාජපක්ෂ පවුල නොවෙයි. ප්‍රචණ්ඩත්වය පිළිබඳ උප්පැන්න දෙන්න පුලුවන් කණ්ඩායම කවුද කියලා හම්බන්තොට ජනතාව දන්නවා. කෙසේ වෙතත් මට අයිතියක් තියනවා දමිතා අබේරත්නට සිදුවන වැරදි ක්‍රියාව ප්‍රශ්න කරන්න. මේ රටේ තරුණ පරපුරට සිදුවන කලා ක්ෂේත්‍රයට එල්ල කරන මරු පහරක් ලෙසයි මා මෙය දකින්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙන්නෙ නමට නොවෙයි. මතක තියාගන්න. මේ ප්‍රශ්න අපි විසඳගන්න ඕන ජිනීවාවල නෙමෙයි. මේ රට ඇතුළෙ.
