gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජෙයරාජ් ඝාතන නඩුවෙන් ලක්ෂ්මන් කුරේ නිදොස් කොට නිදහස්! මොරිසුත් නිදහස්!

වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණයේ දී බෝම්බයක් පුපුරවා හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු ඝාතනය කිරීම ඇතුළු තවත් චෝදනා රැසක් සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ පසුවූ ගම්පහ හිටපු සහකාර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ ඇතුළු විත්තිකරුවෝ දෙදෙනෙක් ගම්පහ අංක 1 මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා විසින් ඊයේ (01) නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

ත්‍රස්තවාදී නායකයකු බවට හඳුන්වා දී තිබූ සෙල්වරාජා තිරුබාකරන් හෙවත් මොරිස් සහ එවකට ගම්පහ හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂ්මන් කුරේ යන විත්තිකරුවෝ දෙදෙනා මෙසේ නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

2008 වසරේ අප්‍රේල් මස 6 වන දින හෝ ඊට ආසන්න දිනකදී වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසල දී මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවකු මාර්ගයෙන් බෝම්බයක් පුපුරවා හිටපු අමාත්‍ය ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනෙකු ඝාතනය කිරීම, මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම, තවත් පුද්ගලයන් 84 දෙනකු ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා 31 ක් යටතේ නීතිපති විසින් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අධි චෝදනා පත්‍රයක් ගම්පහ මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා පත්‍රය එවකට ගම්පහ හිටපු මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය ඉදිරියේ දී 2014 ජූලි මස 18 වන ගම්පහ මහාධිකරණය හමුවේ දී විත්තිකරුවන්ට කියවා දී භාර දෙනු ලැබීය. විත්තිකරුවෝ එදින චෝදනා ප්‍රතික්ෂේප කළහ.

දීර්ඝ නඩු විභාගයේදී කාසි රත්නම් ප්‍රදීප්, මොහොමඩ් අලි හසන් හංසර් එවකට ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ව සිටි හෙක්ටර් ධර්මසිරි, එවකට ගම්පහ හිටපු පොලිස් අධිකාරි දිනේෂ් කරුණානායක, රුවන් මිණි දෞපදී කුරේ සහ පියංකර පෙරේරා මහාධිකරණය හමුවේ සාක්ෂි ලබාදී තිබූ බවට අනාවරණය විය.

විත්තිකරුවන්ට එරෙහිව සාධාරණ සැකයෙන් ඔබ්බට චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල විසින් අසමත්වීම හේතුකොටගෙන විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරලීමට තීන්දු කළ බව මහාධිකරණයේදී අනාවරණය විය. මෙම බෝම්බ ප්‍රහාරයේ දී මැරතන් කරු ද ජීවිතක්ෂයට පත්ව තිබූ බවට මහාධිකරණයේදී අනාවරණය වී තිබුණි.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka