gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරගලකරුවන් රූපවාහිනියට කඩා වැදීම වරදක් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අරගලයේ නාමයෙන් මාධ්‍ය ආයතනවලට අණ දීම වැරදි පූර්වාදර්ශයකි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

අරගලකරුවන් ලෙස තමන් හඳුන්වාදුන් පිරිසක් 14 වැනිදා ජාතික රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වී එහි වැඩසටහන් සැකැස්ම පිළිබඳව නියෝග පැනවීම හා සජීවී වැඩසටහනකට සහභාගී වෙමින් පළ කළ අදහස් පිළිබඳව දැඩි අවධානය යොමු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එම බලහත්කාරී ක්‍රියාකලාපය හා ආන්තික අදහස් තරයේ ප්‍රතික්ෂේප කරයි. මාධ්‍ය අන්තර්ගගතය තීරණය කිරීම ඒඒ මාධ්‍යවල සංකාරක මණ්ඩය සතු අයිතියක් වන අතර ඊට බලපෑම් කිරීම මාධ්‍ය නිදහස පිළිබඳව සලකා බැලෙන පිළිගත් නිර්ණායකවලට අනුව පැහැදිලිවම මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමකි.

ජාතික රූපවාහිනිය ඇතුළු රාජ්‍ය මාධ්‍ය පවතින ආණ්ඩුවල හොරණෑ ලෙස ක්‍රියා කරනු වෙනුවට ‘මහජන සේවා ජනමාධ්‍ය’ බවට පත් කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය ප්‍රජාව දසක දෙකකට පමණ පෙර සිට කියා සිටින අතර රාජ්‍ය මාධ්‍ය හා මහජන දේපළක් වන සංඛ්‍යාත (frequencies) භාවිත කරන මාධ්‍යයද ඇතුළුව සියලු මාධ්‍ය නියාමනය සඳහා ස්වාධීන මාධ්‍ය කොමිසමක් පිහිටුවිය යුතුය යන අදහස ප්‍රවර්ධනය කරමින් සිටී. එමෙන්ම අදහස් පළ කිරීමේ නිදහස ඇතුළුව ජනමාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික කොන්දේසියක් බව පිළිගන්නා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, සිය තේමාපාඨයෙහි සඳහන් වන පරිදි ‘නිදහස වගකීම පෙරදැරිව’ පරිහරණය කළ යුතු බවද නිරන්තරයෙන් අවධාරණය කරයි. ඒ අර්ථයෙන්, රට බංකොළොත්භාවයට පත් කළ පාලන තන්ත්‍රයට එරෙහිව ඉතිහාසයේ පෙර නොවූවිරූ මහජන නැගිටීමක් සිදු වී ඇති මොහොතක ජාතික රූපවාහිනිය ඇතුළු රාජ්‍ය මාධ්‍ය තවදුරටත් එම පාලන තන්ත්‍රය ආරක්ෂා කරමින් හා මහජන නැගිටීමට එරෙහිව කටයුතු කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කිසිසේත්ම අනුමත කරන්නේ නැත. එමෙන්ම පවතින ආණ්ඩුවට පක්ෂපාතී හා ඊට එරෙහිව කටයුතු කරන ඇතැම් පෞද්ගලික රූපවාහිනී නාලිකාවල ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද අපට බලවත් විවේචන තිබේ.

එසේ වුවද මාධ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම ජනමාධ්‍ය ප්‍රජාව, මහජනයා සහ රජය අතර පුළුල් සංවාදයකින් හා එකඟතාවකින් සිදු විය යුතු බව තරයේ විශ්වාස කරන හා ඒ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට සාමූහික ක්‍රියාදාමයක නිරතව සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, කිසිදු පාර්ශ්වයක් මාධ්‍ය ආයතනයකට කඩාවැදී අණ දීමෙන් යහපත් වෙනසක් ඇති කළ හැකි බව කිසිසේත්ම විශ්වාස කරන්නේ නැත. එමෙන්ම කවර පාර්ශ්වයක හෝ එවැනි බලපෑම් මාධ්‍ය නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන තර්ජන ලෙස සලකා තරයේ හෙළා දකී.

ශ්‍රී ලංකාව මේ වන විට පත්ව තිබෙන ශෝචනීය ඉරණම හමුවේ, ඊට ආසන්න වගකිවයුත්තන් වන ගෝඪාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු වත්මන් පාලන තන්ත්‍රයට එරෙහිව තෙමසකට පමණ පෙර පැනනැගුණු මහජන අරගලයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය ප්‍රජාව සිය සහාය පළ කළේය. විශේෂයෙන් එම අරගලය විසින් පිළිබිඹු කළ ප්‍රජාතන්ත්‍රවාදී, අහිංසාවාදී, බහුත්වවාදී හා දියුණු සංස්කෘතික ප්‍රකාශනය, අනාගත ශ්‍රී ලංකාවක් පිළිබඳ පූර්වාදර්ශයක් ලෙස සලකා තරයේ ප්‍රසංසාවට ලක් කළේය. අවාසනාවකට මෙන් පසුගිය දිනවල සිදු වූ ඇතැම් සිදුවීම් අරගලයේ එම වර්ධනයට මුළුමනින්ම ප්‍රතිපක්ෂ ගුණාංග පිළිබිඹු කරන බව අපගේ නිරීක්ෂණයයි. රූපවාහිනියට කඩාවැදීමේ සිදුවීම අප දකින්නේ එම අයහපත් වර්ධනයෙහි පිළිබිඹුවක් වශයෙනි. අරගලකරුවන් ලෙස පෙනී සිටි නියෝජිතයන් දෙදෙනා එම පරිශ්‍රය තුළ අණ නියෝග දෙමින් හැසිරුණු ආකාරය මෙන්ම සජීවී විකාශනයේදී පළ කළ ඇතැම් අදහස්ද ශිෂ්ට සමාජය කම්පනයට පත් කරන ඒවා බව පැවසීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පසුබට වන්නේ නැත. එක් ප්‍රකාශකයෙන් සෘජුවම පැවසුවේ ‘මාධ්‍ය සදාචාරය’ ඔවුන් නොපිළිගන්නා බවයි. එමෙන්ම තමන් කරන්නේ ‘ඉල්ලීම් නොව අණ දීමක්’ බවද ඔවුහු සෘජුවම පැවසූහ. මේ හැසිරීම සිහිගන්වන්නේ කුප්‍රකට මර්වින් සිල්වා ඇමතිවරයා මැර පිරිසක් සමඟ රූපවාහිනී පරිශ්‍රයට කඩාවැදුණු අවස්ථාවයි.

අදහස් පළ කිරීමේ අයිතිය, සියලු අයිතිවාසිකම්වල මූලික පදනම බව අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අරගලයේ නාමයෙන් සිදු වන මෙබඳු ක්‍රියාවන් හෙළාදැකීමත් ඒවා සංවාදයට ලක් කිරීමත්, අත්දැකීම් රහිත අරගලකරුවන්ට නිසි අවබෝධයක් ලබා දීමත් දැනුවත් සමාජයේ වගකීමක් බව අවධාරණය කරයි. එමෙන්ම ‘ආදරයේ අරගලය’ නැමති දියුණු සංස්කෘතික විරෝධතා අවකාශය ගොඩනැගීමට දායක වූ සියලු පාර්ශ්වවලින් අප සහෝදරත්වයෙන් ඉල්ලා සිටින්නේ කෙතරම් අභියෝගාත්මක වාතාවරණයකදී වුවද අරගලයෙහි එම ගුණාංග ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියා කරන ලෙසය.

– නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka