පසුගිය සිකුරාදා දිනයේ ගාලු මුවදොර අරගලකරුවන්ට රාජ්‍ය හමුදා යොදවා සිදු කළ පහරදීම ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දීමට සැලසුම් කරන ණය සහනය කෙරෙහි සෘජුවම අහිතකර ලෙස බලපාන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
මේ තත්ත්වයට හේතු වන්නේ ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ විදේශ සම්බන්ධතා පිළිබඳව සෙනෙට් කාරක සභාව ශ්‍රි ලංකාවට ණය සහන ලබා දෙන්නේ නම් සම්පූර්ණ කළ යුතු බවට ඉදිරිපත් කර ඇති කොන්දේසි තුන සිකුරාදා ප්‍රහාරය ඔස්සේ කඩවීම බවත් මේ වනවිටත් එම සෙනෙට් සභාව මේ ගැන දැඩි අවධානයක් යොමු කර ඇති බවත් ආයතනික බැඳීම් හේතුවෙන් නම හෙළි කළ නොහැකි ඇමෙරිකානු මූල්‍ය විශේෂඥවරියක් ලංකාසරට අනාවරණය කළාය.
ඇයට අනුව ආර්ථික අර්බුදය හේතුවෙන් ණය සහනයක් අපේක්ෂා කරන ශ්‍රි ලංකාව වෙත එම ණය සහනය ලබා දීමට නම් මූලික කොන්දේසි තුනක් සපුරාලිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ට ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ විදේශ සම්බන්ධතා පිළිබඳව සෙනෙට් කමිටුව යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
එම කමිටුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, ශක්තිමත් දූෂණ විරෝධී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාව විසින් අනිවාර්යයෙන් කළ යුතු බවය.
එය එසේ නොවන්නේ නම් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය ඵලදායක නොවනු ඇති බවත් රට තවදුරටත් අර්බුදයකට තල්ලු වනු ඇති බවත් එම සෙනෙට් කමිටුවේ සභාපති සෙනෙට් සභික බොබ් මෙන්ඩොසස් පවසා ඇත. ඔවුන් මෙම කොන්දේසි පිළිබඳව යෝජනා ඉදිරිපත් කර ඇත්තේ මෙම මාසයේ මුල් සතියේදී බව සඳහන් වේ.
එම කොන්දේසි ඉදිරිපත් කළ ඇමෙරිකානු විදේශ සම්බන්ධතා පිළිබඳව සෙනෙට් සභාව ඊයේ සිය නිල ටිව්ටර් ගිණුම හරහා පනිවිඩයක් නිකුත් කරමින් සිකුරාදා අලුයම ශ්‍රි ලංකාවේ සාමකාමී අරගලකරුවන්ට ශ්‍රි ලංකා ආරක්ෂක හමුදා භාවිත කරමින් සිදු කළ හිංසනය බියකරු එකක් බව පවසා එය හෙලා දැක ඇත.
Horrified by Sri Lankan security forces' violent crackdown on protesters last night. I encourage President @RW_UNP to engage with the Sri Lankan people's democratic aspirations, work toward economic stability & address widespread need. Human rights must be protected above all. https://t.co/bXmtFPfYFi
— Senate Foreign Relations Committee (@SFRCdems) July 22, 2022
