gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රට කෑවයි ජනාධිපති, අගමැති ඇතුළු පිරිසකට නඩු!

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සහ පුද්ගලයින් තිදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

අදාළ පෙත්සම මගින් නීතිපති (ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරමින්), හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු වගඋත්තරකරුවන් 13 දෙනෙකු නම් කරනු ලැබූවා.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් කඩාවැටීමට හේතු වී ඇති ඉහළ මට්ටමේ තීරණ ගැනීමේදී වගකීම් සහ විනිවිදභාවය නොමැතිව ගත් තීරණ හේතුවෙන් සිදුව ඇති අර්බුදය කේන්ද්‍ර කරගනිමින් අදාළ නඩුව ගොනු කර තිබෙනවා.

ඒ අනුව

1) 2019 දී ලබා දුන් නීති විරෝධී සහ අත්තනෝමතික බදු සහන හේතුවෙන් රාජ්‍ය ආදායම අඩුවීම.

2) නීති විරෝධී බදු විරාමය ආපසු හැරවීමට අපොහොසත් වීම.

3) ශ්‍රේණිගත කිරීම් පහත හෙලීමෙන් පසු ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම.

4) ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කිරීම සඳහා පුලුල්ව පැතිරුනු ඉල්ලීම් නොතකා කාලෝචිත, ක්‍රමවත් හා සුදුසු අයුරින් අවප්‍රමාණය කිරීමට අපොහොසත් වීම.

5) කිසිදු ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව ස්වෛරී ණය දිගටම පවත්වාගෙන යාමට තීරණය කිරීම

6) අර්බුදය උග්‍ර වන තුරු ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති සමානාත්මතාවය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන් හරහා උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවන් අදාළ පෙත්සමෙන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ විදේශ ණය තිරසාර නොවීම, විදේශ ණය ආපසු ගෙවීමේ දැඩි පැහැර හැරීම සහ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථිකයේ තත්ත්වය සම්බන්ධයෙන් පෙත්සමේ නම් කර ඇති වගඋත්තරකරුවන් සෘජුවම වගකිව යුතු බව පෙත්සම්කරුවන් පවසනවා.

වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් රට තුළ වර්තමානයේ පවතින ආහාර, ඖෂධ, ඉන්ධන සහ ගෑස් හිඟය පෙර නොවූ විරූ ලෙස සමස්ත ජනතාවම ගොදුරු කර ගැනීමට හේතු වී ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.

චන්ද්‍රා ජයරත්න, ජෙහාන් කනගරත්න සහ ජූලියන් බොලින් යන අය මෙහි සම පෙත්සම්කරුවන් වනවා.

- ටෂ්මා සිතුමිණි


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka