රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය ගැන පාලකයින්ට අවවාද අනුශාසනා සිදුකළ ද ඔවුන් ඒවා තැකීමකට ලක්නොකළ බව අස්ගිරි මහානායක හිමියන් අවධාරණය කරයි.
අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් බහුතර සංඝරත්නය කලකිරීමකින් සිටින බවයි.
මේ බව උන්වහන්සේ ප්‍රකාශ කළේ ඊයේ (28) මහනුවරදී පැවති ආගමික වැඩසටහනක් අතරතුරදීය.
අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනායක හිමියන්,
"අද මේ රටේ තියෙන තත්ත්වය දිහා බලනකොට, දේශපාලනය පැත්තෙන් වචනයක්වත් කතා කරන්නේ නැහැ. නමුත් අද පුංචි දරුවෝ පවා දන්නවා.. රටට වෙලා තියෙන විපත්තිය. ඒකට හේතුව මොකක්ද කියන එකත් දන්නවා.ඒවා ගැන අපි කනගාටුවෙනවා මිසක් කළයුතු දෙයක් නෑ. භික්ෂූන් වහන්සේලා හැටියට අපි නොයෙක් විට ඒ අයට අවවාද අනුශාසනා කළා.නමුත් ඒවා නොතකන බවක් තමයි පේන්නේ, අපි ප්‍රසිද්ධියේ කිව්වා ඒවා. මේ විදියට ගියොත් එහෙම මේ රට විනාශ වෙනවා කියන එක දැනට අවුරුදු කිහිපයකට උඩදි අපි ප්‍රකාශ කළා.. ඒ අයට.නමුත් ඒ අය ඒවා තැකුවේ නෑ, සලකන්නේ නෑ කියන එක ඉතාම පැහැදිලිව පේනවා.ඒ නිසා නොවෙන දේකට, නොකෙරෙන දේකට කතාබහ කිරීම වැඩක් නෑ කියන විශාල කලකිරීමකින් තමයි මේ රටේ භික්ෂූන්වහන්සේලා අද ජීවත් වෙන්නේ. ගිහි පිංවතුනුත් එහෙමයි.දැනඋගත් හැමදෙනාම මේ රටට වෙලා තියෙන විපත්තිය ගැන කනගාටුවට.. දුකට පත්වෙනවා.දරු දැරියන්ගේ අනාගතය පිළිබඳව හිතනකොට දෙමව්පියෝ හැටියට, වැඩිහිටියෝ හැටියට වඩාත් දුක්වෙනවා, කනගාටු වෙනවා. නමුත් කළයුත්තක් නැහැ."