ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැනට ඔහුට හිමි ද්විත්ව පුරවැසිභාවයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ මෙම තීරණය පසුගියදා පොහොට්ටුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවේ හෙළිදරව් කළ බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් දේශය පුවත්පතට පවසා තිබේ.
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරිය නොහැකි වන විධිවිධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමට තීන්දු කිරීමත් සමඟ බැසිල් රාජපක්ෂ මහතා තමන් දැරූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් විය.
ඊට හේතු වූයේ ඔහු ශ්‍රී ලංකාවේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තකු වීම නිසාය.
එහෙත් ඉන් අනතුරුව සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන් සමඟ කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් පසුව බැසිල් රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවයෙන් ඉවත්ව තවදුරටත් මෙරට දේශපාලනයේ නිරතවීමට තීන්දු කර ඇති බව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයා වැඩිදුරටත් පවසා තිබේ.
මූලාශ්‍රය - දේශය