gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විපක්ෂය බෙදා වෙන් කිරීමට ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් ඒකාබද්ද කුමන්ත්‍රණයක් - ගම්මන්පිල

විපක්ෂනායකවරයා ඇතුළු පිරිසක් විපක්ෂ මන්ත්‍රීවරුන් බෙදා වෙන් කිරීමට කටයුතු කිරීමෙන් ඔවුන් ආණ්ඩුව සමඟ රහසිගත කුමන්ත්‍රණයක යෙදී සිටින බව අද රටට ප්‍රදර්ශනය කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ (05) ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

අද දින නියෝජ්‍ය කථානායකතුමා තෝරන ඡන්ද විමසීම් අවස්ථාවේදී ආණ්ඩුව විසින් අපේ අපේක්ෂකයාගේ පිටුපස හැංගිලා තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව ලෝකයට ප්‍රදර්ශනය වීම වළක්වා ගත්තා. ඒ අතරේ සමගි ජන බලවේගය විපක්ෂය විසින් එකඟතාවයෙවන් තෝරාගත් අපේක්ෂකයාගේ නම සඳහන්ව තිබියදී තමන්ගේත් අපේක්ෂකයෙක් නම් කරලා විපක්ෂය දෙකට බෙදලා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය විදිහට තමන් ගේ නොමේරූ කම ප්‍රරදර්ශනය කර ගත්තා.

ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි තමන්ගෙ බහුතරය නෑ කියලා පේනවා නම් තවදුරටත් මේ ආණ්ඩුව පවත්වාගෙන යාමට උත්සාහ දැරීම පිළිබඳව. විපක්ෂනායකවරයා ඇතුළු මේ විපක්ෂයට නායකත්වය දෙන පිරිස විශ්වාසභංග යෝජනාවක් ආණ්ඩුවට එරෙහිව ගෙනැවිත් තිබියදී විපක්ෂයේ සිටින අය බෙදා වෙන් කිරීමට කටයුතු කිරීමෙන් ඔවුන් ආණ්ඩුව සමඟ රහසිගත කුමන්ත්‍රණයක යෙදී සිටින බව අද රටට නෙවෙයි මුලු ලෝකයටම ප්‍රදර්ශනය වී තියෙනවා.

අද දින ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් විපක්ෂනායකතුමාට ලිපියක් යැව්වා. සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මෙම ලිපිය බාර ගත් බවටත් අත්සන්කර සහතිකකර තිබෙනවා. විපක්ෂය ගෙනා විශ්වාසභංග යෝජනාවෙන් මේ ආණ්ඩුවට විශ්වාසය නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා. අපිත් ඒ බව කියනවා. මේ ආණ්ඩුව විසින් මෙම ආර්ථික අර්බුදයෙන් තීවුර වීම වැළැක්වීමට කටයුතු නොකර ගත් අත්තනෝමතික තීරණ නිසා අද ජනතාව දුකට පත්වෙලා තියෙන නිසාත්, මේ මොහොත වන විටත් මේ මහා ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට කිසිම ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට මේ දක්වාම අසමත් වී ඇති නිසාත්, මේ ආණ්ඩුව පිළිබඳව රටේ ජනතාවට විශ්වාසයක් නැහැ. ඒ නිසා විශ්වාසය භංග වී ඇති බව පැහැදිලි යි.

ආණ්ඩුව ගෙදර යැවීමට විශ්වාසභංග යෝජනාවක් ගෙන එන අයට ආණ්ඩුව පරාජය කර ගෙදර යැව්වට පස්සෙ රට පාලනය කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඉංග්‍රීසි කියමනක් තියෙනවා නරකම ආණ්ඩුවකට වඩා ආණ්ඩුවක් නොමැතිව රට අරාජික වීම නරකයි කියලා. ආණ්ඩුව පෙරලෙනවා නම් ඊළඟ ආණ්ඩුව හැදීමේ විකල්ප වැඩපිළිවෙළ මොකක්ද කියන එක පැහැදිලිව ජනතාව ඉදිරියේ තියන්න අවශ්‍යයි. අවම වශයෙන් එය පාර්ලිමේන්තුව ඉදිරියේ තියෙන්නට ඕනෑ.

මේ රට අස්ථාවර වෙන්න දෙන්න බැහැ. විශ්වාසභංග යෝජනාව සම්මත වූ වහාම ආණ්ඩුව විසිරී යනවා. මුදල් අමාත්‍යධූරය හිස් වෙනවා. එහෙම වුණාම අපේ රටේ ජනතාවට අවශ්‍ය කරන බෙහෙත් ටික, තෙල් ටික, කෑම ටික ගන්න ණය පහසුකම් ලබා ගැනීමට එක් එක් රටවල් සමග පවත්වන සාකච්ඡා ඇණ හිටිනවා. ණය ප්‍රථිව්‍යහගතකරණය කිරීම සඳහා සිදුකරන සාකච්ඡා ඇණ හිටිනවා. මේවා ඉදිරියට යාමට නම් එක ආණ්ඩුවක් ගෙදර යන විට ම අනික් ආණ්ඩුව පැමිණිය යුතුයි. නමුත් එවැනි වැඩපිළිවෙළක් සමගින් ජන බලවේගයට නැහැ. ඒ නිසා අපි සමගි ජන බලවේගය ට කියනවා අපේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සහයෝගය මෙම විශ්වාසභංගයට අවශ්‍ය නම් අප විසින් ඉදිරිපත් කරන විකල්ප දෙකෙන් එකක් තෝරා ගෙන හැකි ඉක්මනින් අපට දැනුම් දෙන්න.

මොනවද මේ විකල්ප දෙක. එක්කෝ ආණ්ඩුව පරාජය කරාට පස්සේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවට සමගි ජන බලවේගය දායක වෙන්න ඕනෑ. සමහර සමගි ජන බලවේගය කට්ටිය කියනවා අහවල් අහවල් කට්ටියත් එක්ක අපට එකට වාඩිවෙලා ආණ්ඩු කරන්න බැහැ කියලා. ඒක නම් ප්‍රශ්නය ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඑන පක්ෂය විදිහට සමගි ජන බලවේග ආණ්ඩුව භාර ගැනීමට සූදානම් විය යුතුයි. අපි සූදානම් ඔවුන්ට ආණ්ඩුව භාර දීලා විපක්ෂයේ සිට විවේචනාත්මක සහයෝගය ලබා දෙන්න. නිසා අපි අද විපක්ෂ නායක තුමාට දැනුම් දුන්නා විශ්වාසභංගයට සහය අවශ්‍ය නම් මේ විකල්ප දෙකෙන් මොන විකල්පය ද තෝරා ගන්නේ කියලා හැකි ඉක්මනින් ම අපට දැනුම් දෙන්න කියලා.

තවදුරටත් ආණ්ඩුව සමඟ ඩීල් දාන්නේ නැතුව මේ විකල්ප දෙකෙන් කුමණ විකල්පය ද තෝරගන්නේ කියලා වහාම අපට දැනුම් දෙන්න කියලා අපි විපක්ෂනායකතුමා ගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය

ජනතාව කලකිරෙනවා නේද මේ ක්‍රියාදාමයන් තුල

පිළිතුර

ඇත්තෙන්ම මේ රටේ ජනතාවට පාර්ලිමේන්තු වට කරන්න, 225 සොයාගෙන එන්න සම්පූර්ණයෙන් අයිතියක් තියෙනවා. පාලිමේන්තුව රැස්වෙනවා. එකිනෙකාට බැන ගන්නවා. ජනතා මුදල් මිලියන ගණනක් කාබාසිනියා කරලා ගෙදර යනවා. අර්බුදයෙන් පස්සේ මේ තුන්වැනි වතාවටයි රැස් වෙන්නේ. කිසිම උත්තරයක් හොයන්න පාර්ලිමේන්තුව අසමත් වෙලා තියෙනවා. උත්තරයක් හොයාගන්න බැරි හන්දා අපි සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩු යෝජනාවට අමතරව විස්තරාත්මක යෝජනාවලියක් හැදුවා මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්නේ කොහොමද කියලා. මේ දක්වා මේ අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කරලා තියෙන්නේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙන්නේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම පමණමයි.

ආණ්ඩුව වේවා විපක්ෂය වේවා තමන් ගාව වැඩපිළිවෙළක් නැතිනම් ස්වාධීන කණ්ඩායමේ වැඩපිළිවෙළ හා අනුගත වෙන්න ඕනෑ. එහෙම නැතුව පාර්ලිමේන්තුවේ කතා පැවැත්වීමෙන් රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියල හිතනවා නම් පාර්ලිමේන්තුව පැය අටක් නොවෙයි පැය අසූවක් හෝ අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමෙන් රටේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ජනතාවගේ මුදල් වැඩියෙන් වියදම් වෙලා ජනතා ප්‍රශ්න උග්‍ර වෙනවා නම් පාර්ලිමේන්තුව මොකටද කියන සාධාරණ ප්‍රශ්නය ජනතාවගේ හිතේ මතු වෙනවා.

රටේ ජනතාව තමුන්ගේ පක්ෂ භේද අමතක කරලා සාමූහිකව තමන්ගේ වේදනාව පීඩනය කේන්තිය පිට කරමින් ඉන්නවා. එහෙමනම් නම් ජනතා නියෝජිතයෝ විදියට අපි 225ට වගකීමක් තියෙනවා පක්ෂ භේද අමතක කරලා සමගි වෙලා ජනතාව පෙළන මේ ප්‍රශ්නවලට උත්තර සාමූහිකව හොයන්න. අවාසනාවට මේ පාර්ලිමේන්තුව මේ දක්වා ගිය ගමන් මග අනුව නම් එවැනි සූදානම් බවක් තවම නම් පේන්නේ නැහැ. ජනතාව තවම බය කරාම මදිද මන්දා කියලා මට වෙලාවකට හිතෙනවා.

– repoter


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka