රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරය භාරගැනීම නීත්‍යානුකූල ක්‍රියාවලියකට අනුව සිදුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම පත්කිරීම නීතිවිරෝධී හා සම්ප්‍රදාය කඩකිරීමක් වන බවට නැගෙන චෝදනා හා විවේචනවල කිසිදු පදනමක් නොමැති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන්ව ඇති පරිදි එම පත්කිරීම සිදුව ඇති බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වන වගන්තිය කියවීමෙන් ඒ පිළිබද සරල අවබෝධයක් ලැබිය හැකි බවද ඔහු පැවැසීය.
මහලේකම්වරයා මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයී.
එමෙන්ම අගමැතිධූරය ඉල්ලාගත් දෙයක් නොවන බවද ජනාධිපතිවරයාගේ ඉල්ලීම හා රට ඇදවැටී තිබෙන තත්ත්වය යන කාරණා පිළිබද සැලකිලිමත්ව රනිල් වික්‍රමසිංහ මහතා එම වගකීම භාරගත් බවද පාලිත රංගේබණ්ඩාර මහතා මෙහිදී පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප මහලේකම්වරයා,
බොහෝ අය කිව්වා දාල යන්න අපි කරන්නම් කියලා. මහින්ද රාජපක්ෂ අගමැතිධුරයෙන් ඉල්ලා අස්වුණා. ඊට පස්සේ ආණ්ඩුව භාරගන්න තවත් කොන්දේසි දැම්මා. මේක හරියට අන්දරේගේ ජවනිකාවක් වගෙයි. ලොකු කළු ගලක් තිබුණලු වෙලක. ඉතිං මේක අයින් කරන්න ගොඩක් අය ගොඩාක් මහන්සි වුණාලු. අත්නිමේ කාටවල් බැරිවුණාලු මේ ගල ඉවත් කරන්නා. ඔතැනට අන්දරේ ඇවිත් කිව්වලු හරි මං මේක අයින් කරල දෙන්නම්, හැබියි මට මාස 03 ක් එක දිගට කළුකුං මසුයි හිනැටි හාලේ බතුයි අවශ්‍යයි කියලා. පස්සේ ඉතිං ගමේ මිනිස්සු කතා වෙලා බොහොම මහන්සියෙන් අන්දරේගේ ඒ ඉල්ලීම ඉටුකළාලු. මාස 03 ක් ඔන්න ඔහොම අවසන් වෙලා ගල අයින් කරන දිනේ ලංවුණාලු. අන්දරෙත් ඇවිත් දැන් ගල අයින් කරන්නලු ලෑස්තිය. අන්තිමට අන්දරේ ගල ලගට ගිහින් කිව්වලු මේ එහෙනම් උස්සලා කට්ටියම මගේ කර උඩින් තියන්නකො කියලා. ඉතිං කොහොමද ඒක කරන්නේ.
ඒ වගේ තමයි අපේ විපක්ෂ නායක ඇතුළු පිරිස. එක එක කොන්දේසි දැම්මා. අගමැති අයින් වුණාම තවත් දේවල් දැම්මා. රටේ ප්‍රශ්න උඩු දුවන්න ගත්තා. එයාලගෙ ඉල්ලීම් ඉටුවෙනකම් හිටියනම් අපට ශ්‍රී ලංකාවක් හොයා ගන්නවත් බැරිවෙනවා.
ආණ්ඩුවක් අසමත් නම්, ආණ්ඩුව ඉදිරියට කරගෙන යාමේ වගකීම භාරදිය යුතු අනෙක් කණ්ඩායම වන්නේ විපක්ෂයයි. හැබැයි ආරාධනා කළත් භාරගත්තේ නෑ. එක එක දේ කියමින් මග හැරියා. අපට තිබුනේ එක් ආසනයයි. ඒත් අපි රට වෙනුවෙන් වූ වගකීමෙන් පැනල ගියේ නෑ. අපි ඒක භාරගත්තා. ඒ වගේම අපි ඒ වගකීම නිසි ලෙස ඉටුකරන්න ලෑස්තියි. ජනතාව දැන් දැන් ඇත්ත තේරුම් ගනිමින් සිටින බවත් අපට පෙනෙන්නට තිබෙනවා.
මාධ්‍ය ඒකකය
ඒක්සත් ජාතික පක්ෂ මහලේකම් කාර්යාලය
