මෙරට පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වන මහින්ද පතිරණ විසින් හැකිනම් කැමති පහක් රැගෙන ගොස් නඩු පවරන ලෙස අනුර දිසානායක මන්ත්‍රීවරයාට අභියෝග කර තිබෙනවා. ඔහු එම අභියෝගය කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ඇතුළු පිරිසක් හෙළිදරව් කළ දුෂණ වංචා පිළිබඳව තම ෆේස්බුක් හි සටහනක් තබමින්.
“2015 කලිනුත් අනුර කුමාර කිව්වෙ ඔය ටිකමයි. අරලියගහ මන්දිරයේ තිබුණ දූෂණ විරෝධී ඒකකයේ අනුර කුමාරත් හිටියා. එක සාර්ථක නඩුවක් දැම්මෙ නැහැ. දැනුත් කියන්න තියෙන්නෙ ඔය ෆයිල් ගෙදර හංගගෙන ඉන්නෙ නැතුව ගිහිං නඩු දාන්න කියල. ඕනම කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. ඒත් ඒව ඔප්පු කරන්න අවශ්‍යයි.අනුර, පුළුවන් නම් ඔය ෆයිල් සේරම නෙමෙයි, කැමති පහක් තෝරගෙන ගිහිං නඩුවක් දාන්න”යි බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අතිශය සමීපතමයෙකු බව කියන මහින්ද පතිරණ මහතා සටහන් කර තිබෙනවා.
ජවිපෙ නායක අනුර දිසානායක ඇතුළු පිරිස හෙළිකරනු ලැබූ කාරණා අතර බැසිල් රාජපක්ෂ මහතාට අයත් ගනුදෙනු පිළිබඳවද චෝදනා සහිත ලිපිගොනුවක්ද මාධ්‍යයට නිරාවරණය කරනු ලැබුවා.
මාධ්‍ය ඉදිරියේ අනාවරණය කළ බොහෝ ලිපිගොනුවලට අදාළව නඩු පවරා තිබුණත් එම නඩු අවසානයක් දක්වා විභාග නොකර විවිධ හේතුමත ඉවත්කර ගෙන තිබූ බව අනුර දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පවසා සිටියා.
