ගාලු මුවදොර අරගලයට සහ ‘මයිනාගෝගමට’ එල්ල කළ ප්‍රහාරයට ඍජුව හා වක්‍රව අනුබල දුන් දේශපාලන නායකයින්ට, ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන මහජන නියෝජිතයන් ලෙස රැඳී සිටීමට තවදුරට ත් සදාචාරාත්මක අයිතියක් නොමැති බව ත්‍රෛනිකායික මහ නාහිමිවරු පවසති.
මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව ජනපති, අගමැති, විපක්ෂ නායක හා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
උන්වහන්සේලා අවධාරණය කර ඇත්තේ, පටු දේශපාලන අරමුණු පෙරදැරි කර ගනිමින් සමාකාමී අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාර තරයේ හෙළා දකින බව ය.
එමෙන් ම, බලලෝභී, අවිචාරවත් දේශපාලන න්‍යාය පත්‍ර පෙරදැරි කරගෙන සිදුකළ මෙම ප්‍රහාරයට සම්බන්ධ සියලු වගකිවයුත්තන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු අදාළ ආයතන කටයුතු කළ යුතු බව ද එමගින් උන්වහන්සේලා අවධාරණය කර තිබේ.
එහි මෙසේ ද සඳහන් වෙයි.
“රට තුළ උද්ගතව ඇති සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුදයන්ට විසඳුම් ඉල්ලා සාමකාමී අරගලයක නිරත වූ මහ ජනතාව වෙත එල්ල කළ සාහසික ප්‍රහාර ප්‍රජාතන්ත්‍රවාදයට මෙන් ම මනුෂ්‍යත්වයට ද නිගා දෙන්නකි. ඍජුව හා වක්‍රව මෙම නින්දිත ක්‍රියා මාර්ගය සඳහා අනුබල දුන් දේශපාලන නාකයින්ට ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන මහජන නියෝජිතයන් ලෙස රැඳී සිටීමට තවදුරටත් සදාචාරාත්මක අයිතියක් නැති බව අපි තරයේ විශ්වාස කරමු.
රටේ සමස්ත මහජනයාගේ ජීවිත, දේපොළ මෙන් ම නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ද ආරක්ෂා කිරීමට රාජ්‍ය පාලකයා ව්‍යවස්ථාවෙන් බැඳී සිටියි.
බලලෝභී අවිචාරවත් දේශපාලන න්‍යාය පත්‍ර පෙරදැරි කරගෙන සිදුකළ මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ සියලු වගකිවයුත්තන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු අදාළ ආයතන කටයුතු කළ යුතු ය.
තව ද රටේ ඇති වුණු දේශපාලන, සමාජ, ආර්ථික අර්බුද නිසා මීට පෙර අප විසින් හා විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කෙරෙහි කඩිනම්ව අවධානය යොමු නොකිරීම නිසා මෙබඳු ප්‍රතිවිපාක දක්නට ලැබෙන බව සිහිපත් කර සිටිමු.
මෙම තීරණාත්මක අවස්ථාව තුළ විමසිලිමත්ව සබුද්ධිමත්ව හා ඉවසිලිමත්ව කටයුතු කර අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීමට කටයුතු කරන ලෙස සියලු වගකිව යුතු පාර්ශ්වලට හා රට වැසියන් සියලු දෙනා වෙත මෙයින් සිහිපත් කර සිටිමු.”
කේ .එල් .සුරවීර – මහනුවර
