අද ( 23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් බොරු සාක්ෂි ලබා දුන් බව ප්‍රකාශ කර ඔහුට එරෙහිව ප්‍රකාශයක් ලබා දුන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාශයේ ලේකම් මේජර් ජනරාල් ( විශ්‍රාමි) ජගත් ද අල්විස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වේ.
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අමූලික බොරුවක් බවත්, තමන් කිසිම විටෙක අනීතික නියෝග හෝ උපදෙස් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත ලබා දුන්නේ නැති බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයා සිය ප්‍රකාශයේ සටහන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ආරංචි මාර්ග පවසයි.
මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා තමාට පැවසුවේ අරලියගහ මන්දිරයට පැමිණි පිරිසෙන් කොටසක් ගාලුමුවදොරට පැමිණෙන බවත්, ඒ අයව ඔහු ගෝල්ෆේස් වටරවුමෙන් හරවා යවන බවත් යැයි ලේකම්වරයා පවසා තිබේ.
එය හොඳ දෙයක් බවත් ඒ ආකාරයට කිරීම සුදුසු බවත් තමා ඔහුට පැවසූවා මිස අයියා මල්ලි කතාවක් නොකී බව ද ලේකම්වරයා පවසා ඇතැයි වාර්තා වේ.
තමා මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේ පොලිස්පතිවරයාගේ නියෝග හා උපදෙස් අනුව කටයුතු කරන ලෙස යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළ බව විමර්ශන අංශ කියයි.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය ලබා දීමෙන් පසු දුන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාශයේ ලේකම් මේජර් ජනරාල් ( විශ්‍රාමි) ජගත් ද අල්විස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.
