තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙනවා ද එසේත් නැතිනම් උද්ගතව ඇති අර්බුද විසඳා ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත විකල්ප ක්‍රියාමාර්ග මොනවාද යන්න පළිබඳව රටට හෙළි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ දී විශේෂ ප්‍රකාශක් කිරීමට නියමිතව ඇත.
දිනෙන් දින රට තල්ලුවෙමින් ඇති අර්බුදකාරී තත්වය මත එය යථා තත්වයට පත්විය නොහැකිනම් වහා ඉල්ලා අස්වන ලෙසත් එසේ නොමැතිනම් රට ගොඩනැගීම සඳහා වැඩපිළිවෙළක් රට හමුවේ තබන ලෙසත් විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ ලිඛිතව හා වාචිකව මේ වනවිට ජනපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබේ.
විපක්ෂයෙන් කර ඇති එම ඉල්ලීම්වලට ජනාධිපතිවරයාගේ සහ රජයේ ස්ථාවරය කුමක් ද යන්න විශේෂ ප්‍රකාශයකින් රටට කරුණු හෙළි කරන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් අප කළ විමසුමක දී ලංකාසරට පැවසීය.
ජනාධිපතිවරයා ඉල්ලා අස් වී විකල්ප වැඩ පිළිවෙළකට යන්නේ නම් ඔහුට එරෙහිව ගෙන එන දෝෂාභියෝගය හා ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් නොකිරීමට විපක්ෂය තීරණය කර ඇත.
කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සාකච්ඡා ආරම්භ කර ඇති අතර ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට අත්සන් ගැනීම සිකුරාදා සිට අත්සන් ගැනීම ආරම්භ කර තිබිණි.
