නාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන පෞද්ගලික නිවස ඉදිරිපිට ඊයේ (31) රාත්‍රියේ පැවති විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය අන්තවාදීන් ලෙසින් සඳහන් කිරීම වැරදි බවත් එය ත්‍රස්තවාදීන් ලෙස හැඳින්විය යුතු බවත් ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
ඊයේ උද්ගත වූ තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමට පැවැති මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් එම විරෝධතාවේදී අත්අඩංගුවට ගත් පිරිස අන්තවාදීන් ලෙස හැඳින්වීම පිළිබඳව ඊට සහභාගී වූ අමාත්‍යවරුන්ගෙන් කළ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ අමුණුගම අමාත්‍යවරයා එසේ සඳහන් කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමුණුගම මන්ත්‍රිවරයා පැවසුවේ කවුරුන් හෝ මොවුන් අන්තවාදීන් ලෙස සඳහන් කරන්නේ නම් එය වැරදි බව තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවයි. මෙම පිරිස අත්අඩංගුවට ගත්තේ පොදු දේපළ විනාශ කිරීම හේතුවෙන් බැවින් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස තමන් හඳුන්වන බවද ඔහු මෙහිදි පැවසීය.
තමන් මෙම මාධ්‍ය හමුට සහභාගීවන්නේ ප්‍රජා පොලිස් කටයුතු භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස බවත් ඊයේ සිදුවීමේදී විශේෂ පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ක්‍රියා කළේ අවම බලය පාවිච්චි කරමින් බවද සඳහන් කළ අතර ජනාධිපතිවරයාගේ නිවසට ඇතුළු වන ස්ථානයේ අවසන් බැරැක්කය බිඳ දමන අවස්ථාව්දී සහ පොදු දේපළ විනාශ කරන අවස්ථාවේ පමණක් ඔවුන්ට එරෙහිව කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව පැහැදිළි කළේය.
කෙසේ වුවද දිගින් දිගටම අත්අඩංගුවට ගත් පුද්ගලයන් අන්තවාදීන් ලෙස හැදින්වීම පැහැදිළි කරන ලෙස ඉල්ලා සිටි අතර ඊට හෙතු වූයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය අංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් අන්තවාදීන් පිරිසක් අත්ඩඅඩංගුවට ගත් බවට සඳහන් කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකි.
මෙම අන්තවාද ප්‍රශ්නය ඊට සම්බන්ධ වූ අමාත්‍යවරුන් තිදෙනාගෙන්ම මාධ්‍යවේදීන් විමසා සිටින අතර මුලින්ම මාධ්‍ය හමුව ඇමතූ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එම ප්‍රශ්නය හමුවේ යම් අපහසුතාවකට ලත්වූ බවත් පෙනුණි. එසේ වුවද මෙම අන්තවාදීන් ලෙස හදුන්වන්නේ දේශපාලනය තුළ අන්තවාදී ලෙසින් කටයුතු කරන්නන් ලෙස ඔහු එය විග්‍රහ කළේය. එසේ වුවද දිගින් දිගටම මාධ්‍යව්දීන් ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දීම මඟ හරිමින් ඔහු සභාවෙන් පිටව ගියේය.
අවසානයට පිළිතුරු දීමට පැමිණි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද අන්තවාදීන් යන්නෙන් අදහස් කළේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැරව ශීලාචාර මට්ටමින් නොවන ආකාරයෙන් කටයුතු කරන දේශපාලන අන්තවාදීන් බව සඳහන් කළේය. එය වෙනත් අන්තවාදීන්ට ආදේශ නොකළ යුතු බවද ඔහු සඳහන් කළේය.
