gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහජන අරගලය : ආරක්ෂක අංශ සහ ජනතාව අතර ගැටුමක් බවට පත්කිරීමට කුමන්ත්‍රණයක්!

‘පීඩිත ජනතාවගේ මහජන අරගලය ආරක්ෂක අංශ සහ ජනතාව අතර ගැටුමක් බවට පත්කිරීමට රජය කුමන්ත්‍රණය කරනවා’ යයි ජාතික අවදි සභාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් තිලක් උභයවර්ධන මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ සදහන් කලේය.

අපි දන්නවා අද රටේ තියෙන්නා වූ වර්තමාන තත්වය. ජනතාවගේ පැත්තෙන් බලපුවහම, ජනතාවට ඉතාම අතිවිශාල, දැවැන්ත පීඩනයක් රජය විසින් පටවලා තියෙනවා. දරුවන්ට කිරිපිටි නෑ. බොහොම අමාරුවෙන් ගත්ත එළවළු ටික, මාළු ටික උයාගන්න, බතක් ලිපේ තියාගන්න, තුන් වේලෙන් අඩු ගානේ එක වේලක්වත් කන්න උයාගන්නවත් ගෑස් නෑ. මිනිහෙක්ට රස්සාව කරගන්න යන්න ඩීසල් ටිකක් නෑ. ත්‍රීවිලයක් දුවාගන්න පෙට්‍රල් නෑ. මහන්සි වෙලා ගෙදර එන මනුස්සයාට ෆෑන් එකක් දාගෙන විඩා නිවාගන්න විදුලිය නෑ. රෑට කරුවලේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වගේ තත්වයක් උඩ රජය කෙරෙහි තියෙන මහජන විරෝධතාවය දවසින් දවස දිනෙන් දින පැයෙන් පැය වැඩිවෙමින් පවතිනවා. අපේ රටේ විතරක් නෙමෙයි ඔබ තමුන්නාන්සේලාට දකින්න ඇති රූපවාහිනිය හරහා මුළු ලොව වටා සිටින ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධතාවය රජය කෙරෙහි යොමු වෙමින් පවතින අවස්ථාවක්.

රජය මේ පිළිබඳව තමන්ට ලැබෙන තොරතුරුත්, තමන් අත්දකින අත්දැකීමුත් එක්ක “අපිට මේ රාජ්‍ය පාලනය කරගන්න බැහැ”යි කියලා තේරුම් යමින් පවතිනවා. තවදුරටත්. අද දවස වෙනකොට රටේ ඉන්න ජනාධිපතිට, අගමැතිට, ඇමති මණ්ඩලය ඒ වගේම අඩුම වශයෙන් ගත්තොත් මන්ත්‍රී කෙනෙකුටවත් නිල උත්සවයකටවත් සහභාගි වෙන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මොකද, ඒ තරම් මිනිස්සුන්ගේ විරෝධතාවයක?මේ ඇමති මණ්ඩලය, ජනාධිපතිවරයා, අගමැතිවරයා කෙරෙහි ඇති පිළිකුල්භාවය දවසින් දවස වැඩිවෙලා තියෙනවා. මිනිස්සුන්ට දැනෙන පීඩනය අනුවයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ විරෝධතාවයන් දක්වන පුද්ගලයන්ට එරෙහිව තමන්ගේ සහචරයන් යොදවලා රජය බලනවා කොහොමද අපි තවදුරටත් මේ විරෝධය දියකර හරින්නේ කියලා. ඒ වගේම මේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව එක්ක මේ විරෝධතාකරුවන් ගැටුම් ඇති කරන්නේ කොහොමද කියලා බලනවා. මං මේකට අවස්ථාවක් කරගන්නවා මේ පහුගිය දවසේ ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවස ඉස්සරහ පැවතිච්ච ඒ විරෝධතාවය ඒ විරෝධතා වෙලාවෙදි එක පාරට බස් රථයක් ගිනි ගන්නවා. හමුදා රථයක් ගිනි ගන්නවා. ඒවා වුණේ කොහොමද? එතැනදී රූපවාහිනිය මුළු ලංකාවටම පෙන්නනවා. මුළු ලෝකෙටම පෙන්නනවා. තනි පුද්ගලයෙක් ඇවිල්ලා ගිනි තියනවා. පොලිසිය ඉන්නවා, හමුදාව ඉන්නවා. ඉතින් එහෙම වෙන්න පුළුවන්ද? මිනිස්සුන්ට ලොකු සැකයක් තියෙනවා.

ඒ වගේම ඒ සිදුවීම ඉවර වෙලා පැය කීපයයි ගියේ රජය විසින් මිනිස්සුන්ව අන්තවාදීන් ලෙස ලේබල් කලා. තව ටික වෙලාවක් යනකොට ඔන්න සමාජ මාධ්‍ය ජාලාවල කියනවා “මෙන්න ඉන්දියන් හමුදාව ලංකාවට ඇවිල්ලා”කියලා. ඇත්තටම ඒ ප්‍රචාරයන් කලේ කවුද? කවුරු දැම්මද? කොහෙන් ප්‍රචාරය උනාද? ඒවා හොයාගන්න පුළුවන්. රටේ බුද්ධි අංශයක් තියෙනවා. වැරදි තොරතුරු යැව්වා නම් වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා කවුද ඒවා යැව්වේ? කී දෙනෙකුට යැව්වද? ඔක්කොම හොයාගන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයෝ කවුරුත් අත්අඩංගුවට ගත්තේ නෑ. හැබැයි “ගෝඨා ගෝ හම් “ කියලා ටැග් එක එකක් හදපු තරුණයා පැය කීපයක් ඇතුළත අත්අඩංගුවට ගන්නවා.

ඊට පස්සේ කඩිමුඩියේ ජනහඬ මර්දනට අවශ්‍ය හදිසි නීතිය එනවා. ඒ වගේම ඇඳිරි නීතිය එනවා. මිනිස්සුන්ට මර්දනයෙන් පාලනය කරන්න බෑ කියලා මේ රජය දැනගත යුතුයි. ඒ වගේම මීට දවසකට ඉස්සෙල්ලා තවත් ඉතාම පිළිකුල් සහගත ප්‍රචාරණයක් රජයට හිතවාදී සහචරයන් විසින් කරගෙන යනවා.

දැන් මේගොල්ලෝ සමාජ මාධ්‍ය ඔස්සේ ජනමතයක් හදන්න යනවා “හමුදාවේ සහ පොලිසියේ ඉන්න සාමාජිකයන්ගේ දරුවන්ව පාසලේදී කොන් කරන්න, විශ්ව විද්‍යාලයේදී කොන් කරන්න, ඔවුන්ව ගර්හාවට ලක් කරන්න ඕනේ”කියලා. ඒ නිසා අපි කියනවා ඒ සහචරයින්ට මහත්වරුනේ නැවත වාරයක්, 88-89 කාලයකට රට යවන්න පාර කපන්න එපා. ඒ වගේම මේ රටේ බුද්ධිමත් ජනතාවට මම අවධාරණය කරනවා තමුන්නාන්සේලා, මේ කියන බොරුවලට, මේ කියන රැවටීම් වලට ලක්වෙන්න එපා. රජයේ ඉන්න සහචරයන්ගේ අවශ්‍යතාවය තමයි ත්‍රිවිධ හමුදාව, පොලීසිය සමඟ රජයට එරෙහ්ව මහමග අරගල කරන විරෝධතාකරුවන්ගේ ගැටීමක් ඇති කරන එකයි.

මේ මර්දනයක් සහ මේ තරම් ප්‍රෝඩාවක් කරන්නේ මොකටද? මේ සියල්ල කරන්නේ තනි පවුලක් බලයේ ඉන්න, ඒ කවුරුත් නෙමෙයි රාජපක්ෂ පවුලට බලයේ ඉන්නයි. රටේ තියෙන තරම් බොරු කියලා, මිනිස්සුන්ගේ අතරේ, ආගම්භේද, ජාති භේද ඇති කරලා, මේ රටේ නොයෙකුත් ආකාරය ගැටුම් ඇති කරලා තමයි 69ලක්ෂයක ඡන්දය අරගෙන මේ රජය බලයට පත්වුණේ. තමුන්නාන්සේලා ඒක දන්නවා. තමුන්නාන්සේලාට දවසින් දවස වැටහෙනවා. මේගොල්ලෝ ගෙනාපු ලොකුම කාරණය තමයි රටේ ජනතාව ට ආරක්ෂාවක් නෑ කියන එක. පාස්කු ප්‍රහාරයත් එක්ක. ඒගොල්ලෝ කිව්වා සිය ගණන් මැරී වැටෙනකොට මේ රටේ ආරක්ෂාවක් නෑ – අනාගත පරම්පරාවට ආරක්ෂාවක් නෑ ඒ නිසා ජාතික ආරක්ෂාව ඇතිකරන්න අපිට දෙන්න ඡන්දෙ කියලා කිව්වා. වින්දිතයන්ට වන්දි දෙනවා කිව්වා. මහමොළකාරයෝ අල්ලනවා කිව්වා.. මිත්‍රවරුනි අද වෙනකනුත් අවුරුදු 03කට ආසන්න කාලයක් ගෙවිලා ඉවරයි අදටත් කවුරුත් මහ මොළකරුවෙක් අත්අඩංගුවට අරගෙන නැහැ.එහෙම ප්‍රෝඩාවෙන් බලය ගත්ත ඔවුන් අද මහජන විරෝධතා හමුවේ බලය නැතිවෙන කොට රාජ්‍ය බලය රැකගන්න එකිනෙකා අතර ගැටුම් ඇති කරන්න උත්සාහ කරනවා. ඒවාට රැවටෙන්න එපා කියලා අපි මේ රටේ ඉන්න ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.

ඒ වගේම මේ අවස්ථාවේදී මං ඉතාම අවධාරණයෙන් කියනවා ඔබට වියදම් කරන්න කියලා ලෝකේ රටවල් වලින් ණය අරගෙන ඩොලර් ට්‍රිලියන 34ක් අරගෙන මේ රජය මේ මොනවද කරලා තියෙන්නේ කියලත් පොඩ්ඩක් හොයලා බලන්න. ඇස් ඇරලා බලන්න ඒවායින් ඇත්තටම සංවර්ධනයක් වෙලා තියෙනවද? තමුන්නාන්සේලාට පේනවා එවැනි දෙයක් සිද්ධ වෙලා නැහැ. සම්පූර්ණයෙන්ම වෙලා තියෙන්නේ එකම පවුලක් වර්ධනය වෙච්ච එක විතරයි. ඒ වගේම මතක තියාගන්න රාජපක්ෂ පවුලට විතරක් නෙවෙයි මම චෝදනා කරන්නේ. 20 වන සංශෝධනය ලංකාවේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න අත උස්සපු හැමදෙනාම මේවට වගකියන්න ඕනේ. මතක තියාගන්න. ලංකාවේ ද්විත්ව පුරවැසියෝ ඇවිල්ලා මේ රට රටේ පාලකයෝ වෙන්න මේ රටේ මුදල් ඇමතිවරයෝ වෙන්න ඒ 20වෙනි සංශෝධනය පාදක කරගත්තා. අද බොරුවට 20ට විරුද්ධව කතාකලාට එදා 20ට පක්ෂව ඡන්දය දීපු ඇමතිවරුනි, මන්ත්‍රීවරුනි තමුන්නාන්සේලා ලැජ්ජ වෙන්න ඕනේ ඒ ගැන. ඒ වගේම 20ට චන්දය දීපු ඔක්කොම මේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනයි කියලා මම කියනවා. ඒ වගේම අද දවස වෙනකොට මේ තියෙන අමාත්‍යාංශ ලක්ෂ ගණන් නෙමේ මිලියන ගණන් නෙමේ බිලියන ගණනින් පාඩුයි. ඒත් ඒ එක අමාත්‍යාංශයකවත් ඔය එක ඇමතිවරයෙක්වත් තමන්ට ලැබෙන සැප සම්පත් අඩු කරාද? ඒ යන වාහනයක් රුපියල් ලක්ෂ 300-500ක් විතර වෙනවා. ඒවායේ තෙල් වැඩ කරන්නේ ඩීසල් ලීටරයට කිලෝමීටර් දෙකයි, තුනයි, හතරයි. ඒ නිසා රාජපක්ෂ පවුල විතරක් නෙමෙයි මම කියන්නේ මේ ඉන්න ඇමති මණ්ඩලයේ බහුතරයක් මේ අද ඇතිවෙලා තියෙන තත්ත්වයට වගකිව යුතුය කියලා මං තමුන්නාන්සේලාට අවධාරණය කරනවා.

ඒ වගේම තමුන්නාන්සේලා ඇතිවෙන රැවටීම් වලින් බේරිලා තමුන්ගේ පවුලේ සාමාජිකයෝ, ගමේ ඉන්න මිත්‍රවරැන්ට මේ සත්‍යය නිවැරදිව පහදලා දෙන්න. ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට වගේම විශ්‍රාමික සාමාජිකයන්ටත් අපි කියනවා මෙවැනි කාරණාවලට රැවටීමට ලක් වෙන්න එපා කියලා. මිත්‍රවරුනි, බොරු කියලා, වංචා කරලා, මේ රටේ බලය ගත්ත මේ ආණ්ඩුව, අද වෙනකොට අසමත් රාජ්‍යයක් බවට ඔබේ මව්බිම පත් කරලා ඉවරයි. ඒකට මේ රට රැකගන්න දිවිදුන්න වීරවරයෝ කිසි කෙනෙක් කැමති නැහැ. ඔවුන් ඒකට සාප කරනවා. ඒ නිසා ඔබගේ මාතෘ භූමිය බේරගන්න. පෙරට එන්නට ආයාචනා කිරිමටත් මම මෙය අවස්ථාවක් කරගන්නවා. ඔබ සැමට ජය වේවා.

හැකි ඉක්මණින් අන්තර් කාලීන රජයක් පිහිටුවන්න. ජනාධිපති සිහින දකින හැමෝටම වගකීම් පවරන්න…ජාතික අවදි සභාව ඉල්ලා සිටියි.
ජාතික අවදි සභාවේ මාධ්‍ය ලේකම් මහේෂ් රංගන ජයරත්න –

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වෙනි විධායක ජනාධිපති ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මහත්තයා තනතුරට පත්වෙලා මේ වෙනකොට අවුරුදු දෙකහමාරක් විතර වෙනවා. මේ අවුරුදු දෙකහමාරක කාලය ඇතුළත ලංකා ඉතිහාසයේ කවරදාකවත් පාලකයෙක් අත් නොකරගත්ත විදිහේ අපකීර්තියක්, අපහාසයක් මේ වර්තමාන ජනාධිපතිතුමා අත්කරගෙන තියෙනවා. ඒක එක අතකින් ඛේදාන්තයක්. පාලකයාට අද වෙනකොට අපිට දැකගන්න පුළුවන් පාරක් ගානේ මිනිස්සු පාරට බැහැලා සර්ට ගෙදර යන්න කියලා ඉල්ලනවා. සර්ට විතරක් නෙමෙයි මුළු රාජපක්ෂ පවුලටමත් ගෙදර යන්න කියලා ඉල්ලනවා. මේ උද්ඝෝෂණ සහ මිනිසුන් පාරේ අරගලය නිසා රට ලොකු ව්‍යසනයකට ලක් වෙමින් තියෙන බවක් අපිට පේන්න තියෙනවා.
මේ අද රට වැහිලා තියෙන තැනට වැටෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි මේ රටේ පාලකයා, එහෙම නැත්නම් මේ ජනාධිපතිවරයාගේ උද්දච්චකම සහ මෝඩකම. අපි දන්නවා යම් රටක පාලකයෙක්ගේ නිරූපණය වෙන්නේ ඒ රටේ ජනතාවගේ ගතිගුණ. මම හිතන විදිහට මේ පාලකයා මෝඩයි නම්, උද්දච්චයි නම්, ඒ පාලකයා පත්කරගත්ත ජනතාවගේ ගතිගුණ තමයි ඒ ඉස්මතු වෙන්නේ. ඇත්තටම වත්මන් ජනාධිපතිවරයා පත්කළ 69 ලක්ෂයත් මේ රට අද පත්වෙලා තියෙන තත්වයට වගකියන්න ඕනේ. එතකොට මේ 69 ලක්ෂයේ ජනතාව තාම තමන් කරපු වරද හරියට තේරුම් අරගෙන නැහැ. දැන් මේ දවස්වල කරන උද්ඝෝෂණ අතරේ, ජනතා අරගල අතරේ ඒ අය රිංගලා කියනවා “අපි පත් කළා – අපි එළවනවා” කියලා. නමුත් ඒ අය එහෙම කතා කළාට ඔවුන් තමන් කරපු වරද තේරුම් අරගෙන “අපි හිතන විදිහේ පොඩි අවුලක් තියෙනවා. අපිව අනිත් මිනිස්සු රවට්ටනවා. අපි රැවටෙන්නේ නැතුව ඉන්න ඕනේ” කියලා හිතන්නේ නැහැ.

69 ලක්ෂයේ උදවිය මේ අරගලය අස්සේ අලුත් සටන් පාඨ කිහිපයක් කියාගෙන යනවා. එතන සමහරු කියනවා මේ අවුරුදු 74 හිටපු පාලකයෝ සියලු දෙනාම අද තියෙන මේ අර්බුදයට වගකියන්න ඕනේ කියලා. අවුරුදු හැත්තෑ හතරක පාලනය කරපු පාලකයෝ රටේ තියෙන හැම ප්‍රශ්නෙකටම යම් තරමක හෝ දායක වෙන්න ඕනේ. ඒක අපිත් පිළිගන්නවා. හැබැයි ඒ අවුරුදු 74න් 71ක්ම නොතිබිච්ච ප්‍රශ්න ටිකත් මේ අවුරුදු 03ඇතුළත අපිට දැකගන්න ලැබිලා තියෙනවා. මිනිස්සු මේ විදිහේ ඉන්ධන පෝලිම් වල, කිරිපිටි පෝලිම් වල, මේ අවුරුදු හැත්තෑ එකේම මේ තරම් ඉඳලා නැහැ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ අනුගමනය කළ යම් යම් ප්‍රතිපත්තිමය තීරණ නිසා, පෝලිම් තිබුණයි අපි අහලා තියෙනවා. හැබැයි ඉතින් ඒකත් මේ තරම්ම බරපතල මට්ටමක තිබුණේ නෑ කියලා තමයි අපේ වැඩිහිටියෝ කියන්නේ. එතකොට අවුරුදු 71කට නොතිබුණු තරමටම ප්‍රශ්න උග්‍ර වුණා නම් මේ පත්වෙච්ච පාලකයාගේ සහ ඒ පාලනය කරපු පිරිස් වල තියෙන වරදක් තියෙනවා. නමුත් ඒක ගොඩක් අය කියන්න සූදානම් නෑ. මොකද මේ මේ කතාව කියාගෙන යන්නෙත් මේ ඡන්දේ දීපු 69 ලක්ෂයේ සාමාජිකයෝම තමයි.

ඊළඟට මේ අය කියනවා “දේශපාලනයට ගෑවිච්ච එකෙක්වත් මේ උද්ඝෝෂණ වලට එන්න එපා, දේශපාලකයෝ එන්නත් එපා” කියලා. හැබැයි ඒ කතාව වැඩිපුරම කියන්නේ කවුද? ඒ කියන අයත් අවුරුදු ගාණක් තිස්සේ රටේ තිබ්බ හැම ඡන්දෙටම ඡන්දේ දීපු මිනිස්සු. තමන්ගේ කියලා අපේක්ෂකයෙක් තෝරගෙන, තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා එාහම නැත්නම් සමාජ මාධ්‍යය වල, මහපාරේ තමන් කැමති දේශපාලඥයෝ වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු. ඇත්තටම මේ අයගෙන් බහුතරයක් තමයි “සර් තමා වැඩකාරයා” කියලා ගෝඨාභය මහත්තයට උඩපැනගෙන ගිහින් ඡන්දේ දුන්නේ කියන එකත් අපි කියන්න ඕන. එහෙම කියලා රටට කෙලෙව්වට පස්සේත් එකෙකුටවත් එන්න එපා කියලා කියන එක තමයි උද්දච්චකම. මේක තමයි මේ 69 ලක්ෂේ මිනිස්සුන්ගේ මෝඩකම. ඒ කෙන් පේන්නේ ඔවුන් තමන්ගේ මෝඩකම තාම හදාගෙන නෑ. අපි දකිනවා අපේ ගම්වල තැනින් තැන පැවැත්වෙන සමහර වන උද්ඝෝෂණ වල ඉදිරියට එන්නේ මේ අය. ඒ අය කියනවා අනිත් පක්ෂවල සහෝදර ජනතාවට මේවට එන්න එපාය කියලා ගහන්න කතා කරලත් තියෙනවා. ඒ වගේ තත්වයක් අද ඇතිවෙලා තියෙන්නේ.

මේ අය තව කියන සටන් පාඨයක් තමයි “දෙසීය විසිපහම එපා” කියලා කියන්නේ. මට මේකට කියන්න තියෙන්නේ පොඩි දෙයයි. මේක පොඩි නිදසුනක්. දැන් උදාහරණයක් විදියට විවාහක පුරුෂයෙකුට දැනගන්න ලැබෙනවා තමන්ගේ බිරිඳ පතිවත බිඳගෙන කියලා.දැන් එතකොට ඒ මිනිහට ලෝකයට මුහුණ දෙන්න බැනේ. ඉතින් ඔහු අලුත් උපක්‍රමයක් හොයනවා. පස්සේ මිනිහා බලනවා ලෝකේ සෑම කාන්තාවක්ම පතිවත රකින්නේ නෑ කියන මතය ජනගත කරන්න. එතකොට තමුන්ගේ ගෑනු මනුස්සයා පතිවත බින්ඳඑකේ ලැජ්ජාවත් සාමාන්‍යකරණය වෙනවනේ. ඒ වගේම තමයි තමන් තෝරගත්ත පාලකයා, දේශපාලන චරිතය දැන් ෆේල් වෙලා තියෙන කොට දවසින් දවස අසමත් වෙනකොට අර ඡන්ද දායකයෝත් 225ම එපා වගේ ගොන් කතා ප්‍රචාරය කරනවා.

මේ විරුවා දැන් රටට කෙලවලා තියෙන්නේ. ඒ කෙලවිල්ල දරාගන්න බැරි උනහම 69 ලක්ෂයට දැන් ඇතිවෙලා තියෙන්නේ පොඩිපහේ ලැජ්ජාවක් නෙවෙයි. ඉතින් ඒ අය දැන් 225ම එපා කියලාඒ වගේම් ඒ කැම්පේන් එකත් මේ අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි. 2019 ජනාධිපතිවරණය පටන් ගන්නකොට පොදුජන පෙරමුණේ ඇත්තොම කරපු කැම්පේන් එකක් ඕක. 225න් පිට කෙනෙක් ජනාධිපති කරන්න කතාකලේ 69 ලක්ෂයේ අයමයිෙ. ඒකනේ මරණාධාර සමිතියකවත් සභාපතිකමක් කරපු නැති මිනිහෙක්, අඩුම තරමේ මරණාධාර සමිතියේ කාරක සභාවක තනතුරක් දරපු නැති මිනිහෙක්ෙව මේ මේ රටේ ජනාධිපති කළේ. අද ඒකේ ඵල විපාකනේ හැමෝම භුක්ති විඳින්නේ. එතකොට මේ කියන කතාව හරිද? මේ කතාව වැරදියි. ඊළඟට මේකම පාවිච්චි කළා පාර්ලිමේන්තු ඡන්දය වෙලාවෙ පොදුජන පෙරමුණේ අලුතෙන් මන්ත්‍රීවරු ගේන්න. ඔය පැණි සුමනේව ගේන්න. අර කුඩු සීතාව ගේන්න පාවිච්චි කළේ 225ම එපා කැම්පේන් එකමයි.100ක් ගේනවා කිව්වනේ වියත්තු. ඒ වියත්තු 100 අද මොනවද කරලා තියෙන්නේ? පැණි සුමනේ මොකද්ද කළේ? සීතා මොකද කළේ? අර ගෙවිඳු කුමාරතුංග මොකද කළේ? ඒ මිනිස්සු පාර්ලිමේන්තුවට මාසෙකට දවස් අටක් එනවා. එහෙම ගිහින් භෝජනාගාරයෙන් අර ආහාර ටික භුක්ති විඳලා, ඊට පස්සේ අර හම්බුවෙන පර්මිට් එක වගේ සුඛ විහරණයට අවශ්‍ය දේවල් කරගත්තා ඇරෙන්න කරපු දෙයක් තියෙනවද ඔය වියත්තු? වියත්තු රටට අවශ්‍යයි. පාලනයට සම්බන්ධ කරගන්න අවශ්‍යයි. හැබැයි මේ වගේ මෝඩ මේ වගේ තකතීරු වැඩ අනුමත කරන්න බැහැ.මේ තමයි 69 ලක්ෂයේ උද්දච්චකෙමේ, මෝඩකෙමේ ප්‍රතිඵල. ඒ නිසයි අපි කියන්නේ උද්දච්චකම මෝඩකම නැවත පෙන්නන්න එපා කියලා. ඒ නිසා 69 ලක්ෂයෙන් අපි ඉල්ලන්නේ “ඕගොල්ලන්ගේ ඔය වැරැද්ද හදාගන්න. අනිත් මිනිස්සුන්ට කන් දෙන්න” කියලායි.

දැන් මේ අර්බුදය අස්සේ විපක්ෂයේ අමනෝඥ හැසිරීම ගැනත් කතා කරන්න ඕනේ. විපක්ෂයේ ඉන්න ප්‍රධාන කණ්ඩායම් වල සමහරු හිතනවා දැන් මිනිස්සු බන්දේසියේ තියලා අපිට ආණ්ඩුව දෙයි කියලා. මං අහගෙන හිටියා විපක්ෂ නායකතුමත්, ජනතා විමුක්ති පෙරමුණේ නා අනුර කුමාර දිසානායක මහත්තයත් මීට සමාන අදහස් කිව්වා. දැන් අපි දැක්කා පහුගිය දවසක දෙරණ නාලිකාවේ වැඩසටහනකට ඇවිල්ලා හිටපු මැතිවරණ කොමසාරිස්තුමා කියනවා මේ ගිය පාර්ලිමේන්තු මැතිවරණයට රුපියල් මිලියන 600-700ක් විතර වියදම් වුණා ඒ නිසා මේ දැන් තියෙන රටේ තත්වෙත් එක්ක මහමැතිවරණයක් පවත්වන්න අඩුම මිලියන 1000ක්වත් යනවා කියලා. ඉතින් අද රටේ තියෙන අර්බුධකාරී තත්වය උඩ පුළුවන්ද මේ වගේ වියදමක් දරාගන්න. අනිත් එක ඡන්දය කියන්නේ කැමැත්ත. මේ කැමැත්ත නිවැරදිව ප්‍රකාශ කරන්න තරමට ජනතාවගේ ජනමතය නිරවුල්ද? මනස නිරවුල් වෙන්න ඕනේ. කැමැත්ත ප්‍රකාශ කරන්න්‍. අපි දන්නවා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ධර්මය අවබෝධ කරගන්නත් කුසගින්න බාධාවක් වෙනවා කියලා. ඒකනේ උන්වහන්සේ කිව්වේ බඩගින්න බණ කියන්න එපා කියලා. ඉතින් දැන් අපේ මිනිස්සු ඉන්නේ බඩගින්නෙන් ඒ වගේම වේදනාවෙන් සහ පාලකයින් පිළිබඳ වෛරයෙන්,ක්‍රෝධයෙන්. ඒ වගේ වෙලාවක මිනිස්සු ගන්න තීරණ, නිරවුල් මනසකින් ගන්න ඒවා නෙමෙයි. එහෙනම් ඡන්දයක් පවත්වන්න දැන් රටේ පරිසරයක් නෑ. එහෙම නැත්නම් දැන් අපි මොකද කරන්නේ? අපි ජාතික අවදි සභාව විදිහට යෝජනා කරන්නේ මේ රටේ ඡන්දයක් පවත්වන්න පරිසරයක් නැති නිසා අඩු ම මාස හයක්, අටක් එක්කෝ මේ අවුරුද්ද ඉවර වෙනකන් අන්තර්කාලීන රජයක් පිහිටවන එක තමයි සුදුසුම දේ.

ඒ අන්තර්කාලීන රජයේ මූලික වගකීම වෙන්නේ මේ රට වැටිලා තියෙන ආර්ථික තත්වය යම්තාක් දුරකට සුබවාදී තැනකට ගෙනියාමයි. ඊළඟට රට හොඳ තැනකට ගන්න එක. එහෙම ගන්න කටයුතු කිරීම සාමූහික ප්‍රයත්නයක් වෙන්න ඕනේ. ඒක මේ එක දේශපාලන පක්ෂයකට, එක පුද්ගලයෙක්ට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කවුරුහරි හිතනවා නම් අපිට දුන්නොත් අපිට කරන්න පුළුවන් කියලා, එහෙම කාටවත් බෑ. එහෙනම් හැම කණ්ඩායමකම ඉන්නවා, හැකියාවක්, කුසලතාවයක්, දක්ෂතාවයක් තියෙන මිනිස්සු, වැඩ කරපු මිනිස්සු. එතනදී සීයට සීයක් හොඳ මිනිස්සු හොයනවා කියන එක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. 100%ක් හොඳ මිනිස්සුවත්, 100%ක් නරක මිනිස්සුවත් ලෝකේ නැහැ. ඒ නිසා අපි හැමෝගෙම සාපේක්ෂව හොඳයි බලන්න ඕනේ. පාලනයේ ඉන්න මිනිස්සුන්ගෙන්, සාපේක්ෂව හොඳ කණ්ඩායමක් තෝරගෙන, ඒ කණ්ඩායම් අතර වගකීම් බෙදාගත යුතුයි. දැන් ඉන්නවනේ ජනාධිපති අපේක්ෂකයෝ හතර පස් දෙනෙක්ම. ඇත්තටම ඒ අය, රටේ නිශ්චිත වගකීම් කොටස් තුන හතරකට බෙදාගෙන තමන්ගේ කාර්යභාරය ඉටුකළ යුතුයි. අපේ පරණ කියමනක් තියෙනවා කොකාගේ සුද දකින්න පුළුවන් ඉගිලෙන කොටයි කියලා. එහෙනම් මේ දැන් “වෙන්න ජනාධිපති කොක්කු” ටිකත් ඉගිලෙන්න ඕනේ. දැන් මේ රට අර්බුදේ අස්සේ “මට බලය දෙන්න, මම කොරන්නම්” කියන එක හරි ලේසි වැඩක්. ඒ වුණාට කරන්නේ කොහොමද කියන එක ප්‍රායෝගිකව කරනකොටයි තේරෙන්නේ. දැන් මේ ජනාධිපතිවරු වෙන්න හිතාගෙන ඉන්න අය හැමෝම පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒකයි දැන් අපේ මේ රටේ පාලනය කරන්න හීන දකින හැමෝගෙන්ම ඉල්ලන්නේ. හැබැයි හැමෝම එකක් මතක තියාගන්න ඕන අපි මේ ඉල්ලන්නේ රාජපක්ෂ පවුල හරි, ඒ පවුලේ බල ව්‍යාපෘතිය හරි ඉදිරියට ගෙනියන්න එකතුවෙන්න කියලා නම් නෙමෙයි. අපි කියන්නේ රට වෙනුවෙන්, රට මේ පත්වෙලා තියෙන වලෙන් ගොඩට ගන්න ඒ සියලු දෙනාට එකතුවෙන්න කියලයි. ඒකට කතානායකතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ රැස් වෙලා කලින් කිව්වා වගේ වගකීම් හරියට බෙදා ගන්න. ඊට පස්සේ පාර්ලිමේන්තුවෙන් මූලික කරගත් නව ක්‍රමවේදයකට රට පාලනය කරන තැනට යන්න කියන එකයි අපේ ඉල්ලීම.

“රට වෙනුවෙන් කැපවීම් කළ අපිට මෙහෙම කරන්න එපා… ආදරණීය සර් ප්ලීස් ගෝ හෝම්”. රණවිරු කපිතාන් ගයාන් විතානගේ මාධ්‍ය හමුවේ ඉල්ලා සිටියි.

ජාතික අවදි සභාවේ විධායක සභික යුද්ධ හමුදා කපිතාන් (විශ්‍රාමික) ගයාන් විතානගේ –

අපේ ජෙනරල්තුමා සඳහන් කළා වගේ යුනිෆෝම් එකක් ඇඳලා පදක්කම් ගහලා, තුවක්කුවක් අතේ අරන් හිටියත් ත්‍රිවිධ හමුදාවේ ඉන්නේ මිනිස්සු කියලා මම මුලින් කියන්න කැමතියි. නමුත් අද රණවිරුවන්ට හැමෝම බනිනවා අපිට ඇහෙනවා. හැබැයි වසර තිහක ශාපලත් යුද්ධයක් නිමා කරපු වෙලාවේ අපේ රටේ මිනිස්සු රණවිරුවෝ ගැන මෙහෙමයි රටේ මිනිස්සු කිව්වේ. “අනේ බලන්න අද අපි නිදහසේ හුස්මක් කටක් අරන් ඉන්නේ මේ රණවිරුවෝ හින්දා. එතුමන්ලා ජීවිත පරිත්‍යාග කළා. ආබාධිත වුණා. අද රණවිරු සෙවනේ අභිමන්සල් වල මොනතරම් අපේ ආබාධිත රණවිරුවෝ ඉන්නවද? එහෙම කැප කරලා ජීවිත තිස්දාහක් විතර පූජා කරලා මේ රැකගත්තා.” කියලයි ඔවුන් එදා කිව්වේ. ඒත් මේ කාලකන්නි දේශපාලඥයන් විසින් රණවිරුවට තිබුන තැනත් අද විනාශ කරලා. අපි හැමදාම කියනවා වගේ අපේ තාරුණ්‍ය අපි මේ රට වෙනුවෙන් කැප කළා. ඒ හින්දා එහෙම කරපු අපිට මෙහෙම කරන්න එපා. අනේ “ආදරණීය සර් දැන් නම් ගෝ හෝම්” කියලා ඉල්ලන්න විතරයි දැන් අපි ඉතුරුවෙලා තියෙන්නේ.

අද මේ රට මෙච්චර වලට වැටෙන්න ප්‍රධානම හේතුවක් වන්නේ මිත්‍යාව පසුපසයාමයි. තමුන්නාන්සේලා දන්නවා අර කෝවිඩ් හැදිච්ච කාලේ රාජකීය වෛද්‍යවරයාත් අන්තිමට මියගියේ කෝවිඩ් හැදිලා. ඒ වගේම අපි දැක්කා ඊයේ පෙරේදා මේ මෙච්චර උද්ඝෝෂණ අස්සේ අපේ අර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිතුමි ගියා මේගොල්ලන්ගේ අර අනුරාධපුරේ ඉන්න මොන අක්කාද ඉන්න තැනට. එතනදි අපි දැක්කා මොනතරම් ත්‍රිවිධ හමුදාවක්, පොලිසිය දාලා ඒ දේවාලය ආරක්ෂා කරාද කියලා. බලන්න මිථ් යා පස්සේ කොච්චර නම් මේ නායකයෝ යනවද? ඔහු එදා බලයට ආවේ, පාස්කු ප්‍රහාරයේ මළමිනී උඩින් බොරු පොරොන්දු දීලා. අවුරුදු දෙකහමාරක් යන්න ඉස්සෙල්ලා ඒ සාපේ මේ නායකයන්ට වැදිලා තියෙනවා. ඒ හින්දා අපි කියනවා ඔච්චර බලයක් තියෙනවා නම් අනුරාධපුරේ දේවාලයට, අද හිරුණිකා කොර වෙලා ඉන්න ඕනේ. ඒත් හිරුණිකාට අද මුකුත් නෑ. දෙයිහාමුදුරුවනේ යෝධ ගෑනි වගේ ආයෙ දුවනවා. ඉතින් අපි එතුමියට සුභාශිංසන පතනවා මේ සටන කරන්න කියලා. ඒ හින්දා මේ මිත්‍යාවට රැවටුනා ඇති දැන් මේ රට. අපි හැමදාම කියන්නේ මේ රටට එක දෙයයි. රණවිරුවෝ විදියට අපි රැක්කේ රට මේ දේශපාලඥයෝ විනාශ කරනවා. දැන් බලන්න පාර්ලිමේන්තුවේ අපි දැක්කා ඊයේ පටන් ගත්ත වෙලාවේ, අපි හිතුවා මහා විප්ලවයක් වෙයි කියලා. මුන්ගේ චන්ඩි තමයි මුන් කිව්වේ. මම දැක්කා එක මන්ත්‍රී කෙනෙක් කියනවා, ආවොත් බලාගන්නම්ලු. මොනවා බලාගන්නද? 69 ලක්ෂයක් ඡන්දේ දීලා අරගෙන බොරු කියලා මිනිස්සුන්ව මුලා කරලා අද ඒ සාපේ වැදුනා ඒගොල්ලන්ට.

ඒ වගේම අපි තමුන්නාන්සේලා දැක්කා ඊයේ පාර්ලිමේන්තුව ගාව මේ මන්ත්‍රීවරු පස්සේ දොරෙන් පැනලා යනකොට අපේ ජාතියට ගැන කැක්කුමක් තියෙන, රටට ආදරයක් තියෙන, අපේ මේ ආදරණීය ජනතාව පාර්ලිමේන්තුව වටේ වට කළා. අපි දැක්කා පස්ස දොරෙන් පැනලා යන කොට, යුධ හමුදාවයි කියාගත්ත කොටසක් බයිසිකල් සංදර්ශනයක් පෙන්නුවා. ඒ බයිසිකල් වල නම්බර් පේන්ට් නෑ. විශේෂයෙන් අපි රණවිරුවෝ වුණහම අපි නීති දෙහෙකට යටත් වෙනවා. එකක් තමයි රටේ සිවිල් නීතිය. අනිත් එක තමන් ඉන්න යුධ හමුදාව හෝ නාවික හමුදාව හෝ ගුවන් හමුදාව හෝ ඒ ඇතුලේ තියෙන නීතියට. එහෙම නීති තිබෙද්දි කොහොමද මේ රටේ මේ පාලකයෝ මෙහෙම කරන්නේ? අර අපි දැක්කා පොලිස් නිලධාරීන් ඒක නවත්තන්න හදනවා. බොහොම සාමකාමීව. නමුත් මේ රණවිරුවෝ කියාගත්ත පිරිසක් මේ මෝටර් සයිකල් වලින් ඇවිල්ලා, සිවිල් ජනතාව කුලප්පු කරලා, අපේ ජෙනරාල්තුමා කිව්වා වගේ මේ හදන්නේ ආපහු මුන් දවසේ එදා වේල එක රැකගන්න. මොනවා හරි මාතෘකාවක් හදලා මිනිස්සුන්ට මේක අමතක කරන්න.

ඒ හින්දා අපි පැහැදිලිව අපේ රණවිරුවන්ට කියනවා අද තමුන්නාන්සේලා හෙල්මට් එකක් දාගෙන, ජැකට් එකක් දාගෙන, එකක් දාගෙන, තුවක්කු අරන් මේ උද්ඝෝෂණ ඉස්සරහ ඉන්නවා. ඒ හින්දා අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්. හැබැයි හෘද සාක්ෂියට වැටෙනවා. හැබැයි තමුන්නාන්සේලා මෙතන මේ උද්ඝෝෂණය නවත්වනකොට, තමුන්ගේ අම්මා තාත්තා, සහෝදරිය, බිරිඳ ගමේ කොහේ හරි පෝලිමක. එක්කෝ ඩීසල් නැත්නම් ලාම්පු තෙල්, නැත්නම් ගෑස්, නැත්නම් කිරිපිටි පෝලිමේ. එතකොට ඒ වේදනාව අපිට දැනෙන්නේ නැද්ද? ඒ හින්දා මම ඉතාම ගෞරවයෙන් කියනවා මේ රණවිරුවන්ට හැම තිස්සෙම තමන්ගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කරන්න. මොකද මේ දේශපාලඥයෝ එනවා යනවා. අවුරුදු පහක් ඉඳලා යනවා. තමුන්නාන්සේලාට රස්සාව කරන් දිගටම ඉන්නවා. ඒ හින්දා පැහැදිලිව කියනවා මේ රණවිරුවන්ට අපි මුන්ගේ සෙප්පඩ විජ්ජාවට අහුවෙන්න එපා. මුන් බොරුම තමයි කියන්නේ. අපි දැක්කා අපි සමාජ ජාලාවල් දකිනවා. එක එකා රට යනවා. ෆ්ලයිට් වලින් හොරෙන් යනවා. මේ යන්නේ මොකෝ? දැන් ඉන්න බෑ. දැන් මේ දේව සාපේ යෙදිලා තියෙන්නේ. දැන් දන්නවා කොහේ හරි මේක හුචස් ගාලා නිවෙනවා කියලා. ඒ හින්දා අපි පැහැදිලිව කියනවා මේ සියලුම දෙනාට මේ අපි රැක ගත්ත දේ නැවත නැති කරගන්න එපා කියලා. ඒ හින්දා අපි ජනතාවට කියනවා ඔබට අයිතියක් තියෙනවා උද්ඝෝෂණ කරන්න. ඒ වගේම සාමකාමීව කරන්න ඕනේ.

අර ජනාධිපතිත්‍රමාගේ ගේළග උද්ඝෝෂණයේදී එක මිනිහෙක් ගිහින් බස් එකකට ගිනි තිනෙවා. මේ මොකක්ද මේ කරන්න හදන්නේ ? ජනතාව ප්‍රකෝප කරවලා ත්‍රිවිධ හමුදාව ගැන තියෙන විශ්වාසය, නැත්නම් හොඳ හිත පළුදු කරන්න තමයි මේ හදන්නේ. අපි දැක්කා සමාජ මාධ්‍යයක දාලා තිබ්බා ඔය රණවිරුවන්ට අපහාස වෙන විදිහට ප්‍රකාශයක්. අපි ඒ උන්නැහේට කියනවා තමුන් කෑවේ බත් නම්, තමුන් බිව්වේ අම්මගේ රන් කිරි නම් මේ වගේ තුප්පහි වැඩ කරන්න එපා. මේ වගේ මිලේච්ඡ වැඩ කරන්න එපා. මේ රට අපේ රට. අපිට වෙන තැනක නැහැ යන්න. අවසාන වශයෙන් මම අපේ ජෙනරල්තුමා සඳහන් කළා වගේ අපේ සේවයෙන් ඉවත් වූ ඒ වගේම විශ්‍රාමික ඒ වගේම නීත්‍යානුකූල සියලුම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන්ට අපි කියනවා තමුන්නාන්සේලා දැන් පාරට බහින කාලය ඇවිල්ලා තියෙන්නේ. තමුන්නාන්සේලා පාරට බහින කාලේ ඇවිල්ලා තියෙන්නේ. මොකද හේතුව? මේ දුර්ගාන්ත පාලනය අපි එළවලා දාන්න ඕනේ. නැති වුනොත් අපිටත් රටක් නෑ. අපේ දරුවන්ටත් නෑ. දරුවන්ගෙන් ඉපදෙන්න ඉන්න දරුවොන්ට රටක් මුන් නැති කරලා තියෙන්නේ. එච්චරට අපිව ණය කරලා තියෙන්නේ. ඒ හින්දා අපි අත් දෙක වැඳලා කියනවා අපේ සර්ට. මොකද එතුමත් යුධ හමුදාවේ හිටපු අපේ කර්නල් කෙනෙක්. රටේ වත්මන් ජනාධිපතිතුමනි ඔබතුමත් මේ ජනාධිපතිවරු ලැයිස්තුවට නම දාගත්තා පමණයි. ඔබතුමාටත් දෙයක් කරන්න බැරි වුනා. ඒ හින්දා සුදුසු මිනිහෙකුට මේ රට බාර දීලා යන්න. එතනදි අපි කියන්නෑ මොන පක්ෂෙද කාටද දෙන්න ඔන කියලා. නමුත් ඕන පක්ෂෙකින් සුදුසු කෙනෙක්ට හොඳ මිනිහෙකුට මේ රට බාර දෙන්න. එතකොට අපි සියලු දෙනාටම ගොඩ යන්න පුළුවන් මාර්ගයක් උදා වෙනවා කියන එක ඒකාන්තයි.

– media unit

-lankacnews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka