gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ රජයයි... බැසිල් කල යෝජනාවක් හෙලි කරමින් කබ්රාල් කියයි

රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් බවට එල්ලවන චෝදනාවකි. ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් වූයේ මුදල් රාජ්‍ය ඇමැති ධුරයද අත්හරිමිනි. දැන් ඔහුට අල්ලපු අත්තත් නැත, පය ගහපු අත්තත් නැත. මේ ඒ ගැන ඔහු කියන කතාවය.

කොහොමද ඔබට දැන් සැපද?

මට දැන් ආතතියක් නැහැ. මහ බැංකු අධිපතිවරයෙක් විදිහට ලොකු ආතතියකින් තමයි කටයුතු කරන්න සිදු වෙන්නෙ. මම සාමාන්‍යයෙන් ආතතිය පිටට පෙන්වන්නේ නැහැ. මම දැන් ඒ ආතතියෙන් මිදිලයි ඉන්නෙ. රට ගැන හිතෙනකොට නම් මට යම් ආතතියක් දැනෙනවා. නමුත් ඒ වෙලාවේ තිබුණු ආතතිය දැන් නම් නැහැ.

මීට පෙර ඔබ අපට කියා තියෙනවා මොන ප්‍රශ්න තිබුණත් සැහැල්ලුවෙන් නින්ද යනවා කියල. දැනුත් ඔබේ නින්දට බාධාවක් නැද්ද?

මම සුවපහසුව නිදා ගත්තෙ නැත්නම් කොහොමද ඊළඟ දවසෙ ප්‍රශ්නවලට මුහුණ දෙන්නෙ?

අද ඔබට එල්ලවෙන ප්‍රධානම චෝදනාව තමයි ඔබ යටතේ ක්‍රියාත්මක කළ ආර්ථික උපාය මාර්ග වැරදුණා කියලා. කොතනද ඔබට වැරදුණේ?

ආර්ථිකය කියන්නෙ දවසක දෙකක දෙයක් නෙවෙයි. ඒ නිසානෙ මහ බැංකු අධිපතිවරයෙක් අවුරුදු හයකට පත් කරන්නෙ. අපේ ආර්ථිකය පසුගිය කාලෙ ඉඳන්ම යම් යම් දුර්වලතාවන් තිබිල තියෙනවා. අපි පිටරටවලින් වැඩිපුර ණය අරගෙන තිබුණා. දෙදාස් දාහතරේ බිලියන විසිතුනේ තිබුණ ණය දෙදාස් දහ නවය වෙන කොට ඩොලර් බිලියන තිස් අට දක්වා වැඩිවෙලා තිබුණා. මෙතනදි අපිට තිබුණු ප්‍රධානම ප්‍රශ්නයක් තමයි රට ලොක්ඩවුන් කිරීම. රටේ අර්ථිකයේ තිබුණ පසුබෑම. විදේශීය මුදල් ගලා ආපු සංචාරක ක්ෂේත්‍රය වගේ දේවල් කඩා වැටීම. මේ ගැටලු ආර්ථිකයට බරපතළ ලෙස බලපාලා තිබුණා. ඒ වගේම අපි ගත්තු යම් යම් තීරණවලත් යම් ප්‍රමාදයක් තිබුණා කියලා පිළිගැනීමට අවශ්‍යයි. ඒ සියලු දේ එක්කම යම් යම් අපහසුතාවන් ඇති වුණා.

ඒ කියන්නෙ එල්ලවෙන චෝදනා ඔබ පිළිගන්නවා?

අපිට යම් යම් අවස්ථාවලදි කළ යුතුව තිබුණ දේවල් තිබුණා. උදාහරණයක් විදිහට විවිධ ආනයන සඳහා බදු වැඩි කළ යුතුයි කියලා මහ බැංකුව ඉල්ලීමක් කළා. නමුත් ඒක සිදුවුණේ නැහැ. ඒ වගේ තීරණ නොගැනුණු නිසා අපිට තිබුණ සැලැස්මට බාධාවන් එල්ල වුණා. ඒ වයේ තමයි ප්‍රතිවිපාක ලැබුණෙ.

මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ඩොලර් හිඟය. මේ අර්බුදය විසඳන්න අන්ත්ර්ජාතික මූල්‍ය අරමුදලට යෑම වැළැක්වූවේ ඔබ කියන එක තමයි එල්ල කෙරෙන ප්‍රධානම චෝදනාව. මොකක්ද ඊට ඔබේ පිළිතුර ?ජනාධිපතිවරයා පවා දැන් කියනවා අපිට මීට කලින් අයිඑම්එෆ් එකට යන්න තිබුණ කියලා?

අයිඑම්එෆ් එකට යන එක හෝ නොයන එක රජයේ තීරණයක්. රජයේ එදා තීරණය වුණේ අයිඑම්එෆ් එකට යා යුතු නැහැ කියන එක. අයවැය අවස්ථාවේදීත් මුදල් ඇමැතිතුමා කැබිනට් එක දැනුවත් කරමින් ප්‍රකාශ කළා අපි අයිඑම්එෆ් එකට යා යුතු නැහැ කියලා.

ඔබ කියන්නේ ඒ අවස්ථාවේ ඔබ සම්පූර්ණයෙන්ම කටයුතු කළේ රජයේ උපදෙස් අනුවයි කියලා?

ඔව්. මොකද රජය කිව්වොත් අයිඑම්එෆ් එකට යන්න ඕනෙ කියලා, අපි එතකොට යා යුතුයි. දැනුත් කරල තියෙන්නෙ ඒකමනෙ. අපේ රජය කියල තියෙනවා අපි අයිඑම්එෆ් එකට ගිහින් යම් සහනයක් බලාපොරොත්තු වෙනවා කියල. එතකොට අපි ඒ දේ කළ යුතුයි. ඒ සියල්ල රජයේ තීරණ. රජය තීරණය කළා බදු වැඩි කරන්නෙ නැහැ කියලා. තෙල් මිල වැඩි කරන්නෙ නැහැ කියලා. ඒ රජයේ තීරණත් එක්ක මහබැංකුවට කටයුතු කරන්න සිදුවුණා.

අයිඑම්එෆ් එකට යෑම පිළිබඳව අපිට විවිධ මත තියෙන්න පුළුවන්. දැන් අයිඑම්එෆ් එකට යෑම නිසා ඉදිරියේදී ලොකු පීඩනයක් ඇති​ වෙන්න පුළුවන්. අයිඑම්එෆ් එකට ගිය ගමන්ම සියලුම ප්‍රශ්න විසඳෙයි කියලා කවුරුත් හිතන්න නරකයි. අයිඑම්එෆ් එකට ගිය නිසා දැනටමත් පොලී අනුපාත විශාල ලෙස වැඩිවෙලා තියෙනවා කියල අපිට පේන්න තියෙනවා. ඒ වගේ මේ හැම ප්‍රශ්නයකටම දෙපැත්තක් තියෙනවා. කොහොම වුණත් අවසාන තීරණය තියෙන්නේ රජය සතුව.

හැබැයි මීට පෙර ඔබ මහ බැංකු අධිපතිව සිටියදී දෙදාස් නවයේදී අයිඑම්එෆ් එකට ගියා. ගිහින් ඒ වෙලාවේ තිබුණු ආර්ථික අර්බුදය විසඳගත්තා. මේ මොහොතේ නැවත අයිඑම්එෆ් යෑම ගැන ඔබේ අදහස මොකක්ද?

දෙදාස් නවයේදී අයිඑම්එෆ් එකට ගිහින් ක්‍රියාත්මක කරපු වැඩසටහන තමයි මේ රටේ අයිඑම්එෆ් එකත් එක්ක කරපු සාර්ථකම වැඩසටහන. ඒක තමයි විශාලතම වැඩසටහන. ඒකෙන් රටට විශාල සෙතක් සිදුවුණා. ඒ නිසා අයිඑම්එෆ් එකත් එක්ක මට තරහක්වත් ප්‍රශ්නයක්වත් නැහැ. ඒ වුණාට මේ වෙලාවෙ අයිඑම්එෆ් එකට යෑමෙන් රටේ තියෙන පීඩනය තවදුරටත් වැඩි වෙන්න පුළුවන් කියන අදහස මට තියෙනවා. ඒකට විරුද්ධ මතයක් රජය දරනව නම් රජයට පුළුවන් දැන් කරනව වගේ කිසිම ගැටලුවක් නැතුව අයිඑම්එෆ් එකත් එක්ක කටයුතු කරන්න.

මම මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වෙලා යන්න පෙර මාර්තු මාසෙ පහළොස් වැනිදා ජනාධිපතිතුමා අයිඑම්එෆ් එකේ නියෝජිතයන් මුණ ගැසුණු අවස්ථාවේදි මමත් එතන හිටියා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙත් ඒක තියෙනවා. මම මෙතන නියෝජනය කළේ මගේ පෞද්ගලික මතයක් නෙවෙයි. මම මහ බැංකු අධිපති විදිහට රජය වෙනුවෙන් මගේ වගකීම ඉෂ්ට කරල තියනවා. ඒ නිසා කාටවත් කියන්න බැහැ මේ මගේ තනි මතයට වුණ දෙයක් කියලා. මේකට රජය සාමුහිකව වගකිව යුතුයි. ඒක හැමෝම හොඳටම මතක තියාගන්න ඕනේ.

ඔබ රුපියල පාවෙන්න ඉඩ හැරියෙ මහ බැංකුවේ විදේශ සංචිත පතුලටම හිඳෙනකම් ඉඳලා. ඒ නිසා තමයි අද මේ විදියට පාලනයකින් තොරව ඩොලරයේ අගය ඉහළ යන්නෙ. ඇයි එහෙම කළේ?

ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මට මහ බැංකුවට ආරාධනා කළේ ජනාධිපතිතුමා විසින්මයි. මම එනකොටත් විදේශ සංචිත තිබුණෙ නැහැ. අපේ ණය ප්‍රමාණය ඊට වඩා වැඩියෙන් තිබුණෙ. ඒ වුණාට මම බොහොම අමාරුවෙන් ඉන්දියාවෙන් , චීනයෙන් සහ වෙනත් ආකාරවලින් මුදල් ලබාගෙන ණය ගෙවීමෙන්, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට ඩොලර් බිලියන එකහමාරක වගේ විශාල මුදලක් ගෙවීමෙන් මේ රටේ ස්වාධීනභාවය යම් ආකාරයකින් රැක ගැනීමට කටයුතු කළා. මේවා සමහර අයට මතක නැතුව ඇති. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය. බැංකුවල ද්‍රවශීලීතාව ඉතාමත් අඩු මට්ටමක තිබුණු නිසා බැංකුවලට අවශ්‍ය මුදලුත් අපි ලබා දුන්නා. ඒවා තහවුරු කරන්න ලියකියවිලි තියෙනවා. ඒ පිළිබඳ මුදල් ඇමැතිතුමාටයි ජනාධිපතිතුමාටයි අපි දැනුම් දීලා තියෙනවා. මේ ප්‍රශ්න හමුවේ කිසිම අවස්ථාවක අපි හංගලා වැඩ කරලා නැහැ. ඒ නිසා ඒ චෝදනාව මම පිළිගන්නේ නැහැ.

දැන් රජය නිවේදනය කරලා තියෙනවා අපිට විදේශ ණය ගෙවන්න බැහැ කියලා. නමුත් මේ තීරණය මීට කලින් ගන්න තිබුණු එකක් නේද? ඔබ දැඩි තීරණයක් අරගෙන එහෙම තියෙද්දී විශාල ණය වාරික ගෙව්වා. ඩොලර් සංචිත පහළ වැටීමට එයත් හේතු වුණා?

ණය ගෙවනවද නැද්ද කියන එක තීරණය කරන්නේ රජය විසින්. රජය තමයි ණය අරගෙන තියෙන්නේ. රජය තමයි ණය ගෙවිය යුත්තෙත්. ඒක මහ බැංකුවේ තීරණයක් නෙවෙයි.

නමුත් ඔබ යටතේ තිබුණු මහ බැංකුව තමයි මේ මූල්‍ය කටයුතුවලදී රජයට නිවැරදි උපදෙස් ලබාදිය යුත්තේ. ඒ වගකීමෙන් ගැලවෙන්න ඔබට බැහැ?

අවුරුද්ද මුලදී අයවැයෙන් මුදල් වෙන් කරනවා. රජය තමයි මහ බැංකුවට මුදල් සපයන්නේ. මෙන්න මේ දේවල්වලට ගෙවන්න කියලා. මහ බැංකුව ඒවා නොගෙවා සිටියහොත් මොකද වෙන්නේ? එතැනදී ණය පැහැර හැරීමක් සිදු වුණා නම් දැන් ඔය චෝදනා කරන කට්ටියම මහ බැංකුවට චෝදනා කරන්න තිබුණා. මහ බැංකුව මේක ගෙව්වේ නැත්තේ ඇයි කියලා. ණය ගෙව්වයින් පස්සේ ඇතිවෙන ප්‍රශ්න ගැනත් මම දන්නවා. නමුත් එතකොට හැමෝම කියයි අයවැයෙන් සල්ලි වෙන් කරලා තියෙද්දිත් මහ බැංකුව ණය ගෙව්වේ නැහැ කියලා. ඒ ගැන මුදල් ඇමැතිතුමා පාර්ලිමේන්තුවෙදිම ප්‍රකාශ කළා නේද කියලත් අහයි. ඔබතුමාලම ඔය ප්‍රශ්නෙ අහයි.

ඒ නිසා අරක කළා නම් වැඩිය හොඳයි, මේක කළා නම් වැඩිය හොඳයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේ රජය හිටපු ස්ථාවරය තමයි ‘‘අපි ණය ගෙවනවා’’ කියන එක. රජය ඒ ස්ථාවරයේ ඉන්නකොට අපි කළ යුත්තේ ණය ගෙවන එක. දැන් ණය ගෙවන්නෙ නැහැ කියලා තීරණය කරලා තියෙනවා. එයින් ඇතිවෙන ප්‍රශ්න අපට ඉදිරියේදී තේරේවි. මම ඒවා ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ණය නොගෙවා සිටීමත් එක විකල්පයක්, නව ගෙවීමත් තව විකල්පයක්.

ඔබ බැංකුවකින් ලබා ගත්තු ණය නොගෙව්වොත්, අතේ සල්ලි ඉතුරු වේවි. එතකොට කෑම, බීම, ඇඳුම් පැලඳුම් ගන්න පුළුවන්. හැබැයි ඊළඟ ණය ගන්න යනකොට ඔබේ නම ක්‍රිබ් එකේ තියෙනවා. එතකොට තව ණයක් ගන්න පුළුවන්ද? ඒ පීඩනය ඉදිරි කාලයේදී දැනේවි. ඒ නිසා රජය ඒ වෙලාවේ කිව්ව නම් මේ ණය නොගෙවා ඉන්න කියලා මටත් නොගෙවා ඉන්න තිබුණා. නමුත් ණය ගෙවන්න අයවැයෙන් රජය මුදල් වෙන් කළා. පාර්ලිමේන්තුවෙන් ඒක පාස් කළා. එහෙනම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කෝමලා ඒකට වගකියන්න ඕනේ. පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන් කරලා, කැබිනට් අනුමැතිය ලැබිලා තියෙද්දි ණය නොගෙවා සිටියා නම් තමයි ප්‍රශ්නයක් ඇති වෙන්නේ.

ඔබේ කාලේ තමයි ඩොලර්වලට කළු කඩයක් සැදුණේ. රුපියල පා කළා කියලා මේ කළු කඩය අදටත් අවසන් වෙලා නැහැ. අද බැංකුව ඩොලරය තුන්සිය හතළිස් පහයි කියනකොට කළු කඩේ තුන්සිය හැත්තෑපහයි. මේ කළුකඩය නිර්මාණය කිරීමේ වගකීමෙනුත් ඔබට මිදෙන්න බැහැ. ඒ වෙනුවෙන් ඔබ නිවැරදි නියාමනයක් කළේ නැහැ නේද?

මේ කළු කඩය සම්බන්ධයෙන් වඩාත්ම කටයුතු කළේ මම කියලා මේ රටම දන්නවා. මම මේ ගැන අසීමිතව කතා කරලා තියෙනවා. කළු කඩය පාලනය කරන්න පොලිසියත් එක්ක සම්බන්ධවෙලා මම කොයිතරම් කටයුතු කළාද කියලා හොයලා බැලුවොත් පෙනේවි. හවාලා ක්‍රමයට ගනුදෙනු කරන්න එපා කියලා මම මොනතරම් මිනිසුන්ගෙන් ඉල්ලීම් කළාද? පිටරට අයගෙන් මම මොනතරම් ඉල්ලුවද ඒ නිසා කිසිම කෙනකුට එහෙම චෝදනාවක් මට එල්ල කරන්න බැහැ. හැබැයි මේ රටේ හැමෝම හිතන්නේ කොහොම හරි කරලා කීයක් හරි වැඩියෙන් ලබාගත යුතුයි කියන මතයේ. තවමත් බොහෝ දෙනෙක් ඒ මතයේ ඉන්නවා. මේකට එරෙහිව ඉදිරි කාලයේ කරන කටයුතු සාර්ථක වේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. නමුත් ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා මතක තියාගත යුතුය. මොකද මේකෙ විශාල ජාලයක් තියෙනවා. මේක මත්ද්‍රව්‍යවලට සම්බන්ධයි කියලා මම කියලා තියෙනවා. රුපියලේ අගය බාල්දු කරපු නිසා වැඩිපුර සල්ලි එයි කියල බොහෝ දෙනෙක් කිව්වා. නමුත් තවමත් කළු කඩය කෙරීගෙන යනවා. අලුත් මුදල් ඇමැතිවරයාටත්, මහ බැංකු අධිපතිවරයාටත් ඒ සම්බන්ධයෙන් ලොකු උත්සාහයක් දරන්න වේවි.

ඔබට විතරක් නෙවෙයි, වත්මන් ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරත් වගකිව යුතුයි කියලා පිරිසක් චෝදනා කරනවා. ඒක ඇත්තද? ඔහු යම් යම් බාධා කිරීම් කළාද ? මේ අර්බුදයට වගකිවයුතු තීරණ ගත්තද?

මම අනිත් අය වගේ ඇඟිල්ල දිගු කරන පුද්ගලයෙක් නෙවෙයි. මට එහෙම අවශ්‍යතාවක් නැහැ. පී. බී. ජයසුන්දර මහත්තයාගෙන් යම් වැරැද්දක් වුණා කියලා කියනවා නම් ඒ වැරැද්ද මොකක්ද කියලා පෙන්වා දිය යුතුයි. මට එතුමා සමග කිසිම ගැටුමක් තිබිලා නැහැ. මට මුදල් ඇමැතිතුමා එක්ක කිසිම ගැටුමක් තිබුණෙත් නැහැ. ජනාධිපතිතුමා එක්ක ගැටුමක් තිබිලත් නැහැ. ප්‍රශ්න ඇතිවුණාම සමහරු කියනවා මේක අරයගෙ මෙයාගෙ තීරණය කියලා. නමුත් මේ තීරණ අරගෙන තියෙන්නේ සාමූහිකව. දැන් ඔය රුපියල් පන්දාහක් පඩි වැඩි කිරීමේ තීරණය කවුද ගත්තේ? ඒ තීරණය ගත්තෙ කැබිනට් මණ්ඩලය. අලුත් ව්‍යාපෘති කරන්න ඕනේ කියලා තීරණය කළේ කැබිනට් මණ්ඩලය. ණය ගෙවිය යුතුයි කියලා තීරණය කළේ කැබිනට් මණ්ඩලය. ඒවා අනුමත කළේ පාර්ලිමේන්තුව. ඒ නිසා මේ ප්‍රශ්නවලට පී. බී. ජයසුන්දර හරි, කබ්රාල් හරි, ආටිගල හරි වගකියන්න ඕනේ කියලා කියන එක වැරදියි. ඒ හැමෝම මේ තීරණවලට සම්බන්ධයි. එහෙම එක්කෙනකුට චෝදනා කිරීම සදාචාරාත්මක නැහැ.

ඔබ නැවත නැවත කියන්නේ මේ ආර්ථික අර්බුදය ඇතිවීම සම්බන්ධ තීරණ සියල්ල ගත්තේ රජය කියලා?

අනිවාර්යයෙන්ම, උදාහරණයක් විදිහට මම දිගින් දිගටම කිව්වා රට ලොක්ඩවුන් කරන්න එපා කියලා. එහෙම කළොත් රට ලොකු අගාධයකට යනවා කියලා මම කිව්වා. හැබැයි රජය ලොක්ඩවුන් කළා. එතැනදී රජය තීරණයක් ගත්තහම අපිට ඒකත් එක්ක වැඩකරන්න සිද්ධ වෙනවා. දැන් අපි කියන්නේ නැහැ මේ තීරණය නිසා අර විදිහෙ අර්බුදයක් ඇති වුණා කියලා. නමුත් අපි අවශ්‍ය වෙලාවේ ඒක පෙන්වලා දුන්නා කියලා මතක තියාගන්න ඕනේ. අපි කිව්වා හවාලා ක්‍රමය බිඳවට්ටවන්න ඕනේ කියලා. අපි කිව්වා ඒ අවස්ථාවේදී තෙල් මිල වැඩි කළ යුතුයි කියලා. නමුත් රජය ඒවා කළේ නැහැ. ඒ වගේ අපි දුන්නු උපදෙස් වට්ටෝරුවක් ගැන මටත් කියන්න පුළුවන්.

ඔබ ඒ දවස්වල දැඩි සේ කිව්වා සල්ලි අච්චු ගැසීම සහ උද්ධමනය අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා. නමුත් පසුගිය මාසේ ආහාර උද්ධමනය සීයට තිහක්. විදේශීය විද්වතුන් පෙන්වා දෙනවා මේ වසරේදී ශ්‍රී ලංකාව සැබෑ උද්ධමනය සියයට හැත්තෑවක් විතර කියලා. මොකක්ද දැන් මේකට ඔබ දෙන උත්තරේ.

මං ඔය විදිහට කිව්වයි කියලා යම් කිසි කොටසක් කිය කිය යනවා කියලා මම දන්නවා. මුදල් වැඩි ප්‍රමාණයක් පරිහරණයට යෙදෙව්වොත් උද්ධමනයක් ඇතිවෙන්න පුළුවන්. නමුත් ලෝකයේ ආර්ථිකය සංකෝචනයකට භාජනය වෙන අවස්ථාවකදී මුදල් වැඩියෙන් අච්චු ගැසීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. මුදල් අච්චු ගහලා තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි. ලක්ෂ්මන් මහ බැංකු අධිපතිතුමාගේ කාලේ තමයි මුදල් අච්චු ගැසීම වැඩියෙන්ම වුණේ. කොවිඩ් වසංගතය පැවතුණු කාලෙදි ලංකාවේ වගේම ඇමරිකාවේ, එංගලන්තයේ, යුරෝපයේ වගේ සෑම තැනම ඒක වුණා. ඒ නිසා ලංකාවේ උද්ධමනයට හේතුව මුදල් අච්චු ගැසීම කියලා කියන එක සත්‍යයෙන් තොරයි.

අනිත් කාරණය තමයි වසර හතළිහකට පස්සේ අද ලෝකෙ හැම තැනකම ඉහළම උද්ධමනයක් වාර්තා වෙනවා. ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ උද්ධමනය කීයද කියල බලන්න. රුසියානු – යුක්රේන යුද්ධය නිසා තෙල් මිල තවත් වැඩිවෙලා. ආහාර, ගල් අඟුරු ආදී සෑම දෙයකම මිල වැඩිවෙනවා. එහෙම කාලයක මේ රටේ උද්ධමනය වැඩිවීම ගැන මම කනගාටු වෙනවා. ඒ නිසා මුදල් අච්චු ගැසීම නිසාම උද්ධමනය වැඩිවුණා කියන මතය වැරදියි. දැනට තියෙන උද්ධමනයෙන් තුනෙන් දෙකක්ම සිදුවෙලා තියෙන්නේ ලෝකයේ මිල වැඩිවීම් නිසා.

මේ හැම චෝදනාවක්ම මැද්දේ ඔබට හිතෙන්නේ නැද්ද ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරයෙක්, නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විදිහට දිගටම හිටියා නම් හොඳයි කියලා. ඔබට දැන් හිතෙන්නේ නැද්ද මහ බැංකු අධිපතිකම භාරගත්තෙ අපරාදෙ කියලා?

එහෙම හිතෙන එක සාධාරණයි. නමුත් මම එහෙම හිතන්නේ නැහැ. මම ඒ වෙලාවේ ඉදිරිපත් නොවුණා නම් රට මීට වඩා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා කියන එක තමයි මගේ මතය. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මගෙන් විශේෂ ඉල්ලීමක් කළේ. ඒ වෙලාවේ මේකේ තිබුණ බැරෑරුම්කම එතුමාත් දැනගෙන හිටිය නිසා තමයි මට ආරාධනා කළේ. මට ඒ ඉල්ලීම බොහොම පහසුවෙන් ප්‍රතික්ෂේප කරන්න තිබුණා. නමුත් මම දැනගෙන හිටියා ඒ මොහොතේ රට වෙනුවෙන් මේක භාරගත යුතුයි කියලා. මම අවසානයේ අයින් වුණෙත් සියලුම ඇමැතිවරු ඉල්ලා අස්වෙන්න තීරණය කරපු නිසා. එතකොට ජනාධිපතිතුමාට අවශ්‍ය නම් වෙන කෙනෙක් පත් කරගන්න පුළුවන් නිසා.

නයන තරංග ගමගේ
අරුණ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka