සටන් විරාමයක් සඳහා වන සාකච්ඡා ආරම්භ කිරිම වෙනුවෙන් යුක්රේන දූත පිරිස යුක්රේන- බෙලරූස් දේශසීමාවට පැමිණ ඇති බව මීට ස්වල්ප වේලාවකට පෙර යුක්රේන රජය නිවේදනය කළේය.
සාකච්ඡාවල ප්‍රධාන අරමුණ සටන් විරාමයක් සඳහා එකඟ වීම සහ රුසියානු හමුදා යුක්රේන දේශ සීමාවෙන් ඉවත් කර ගැනීම බව සඳහන් වේ.
මින් පෙර යුක්රේන ජනාධිපති Volodymyr Zelensky සහ බෙලාරුසියානු නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර පැවති සංවාදයකදී පූර්ව කොන්දේසියකින් තොරව යුක්රේන-බෙලාරුසියානු දේශසීමාවේ, Pripyat ගඟ අසලදී රුසියානු දූත පිරිස සමඟ සාකච්ඡා කිරීමට එකඟ වී තිබුනි.
එහෙත් විශාල රුසියානු භට පිරිසක් ස්ථානගත කර ඇති බෙලරුසියාවේදී සාකච්ඡා පැවැත්වීමට යුක්රේන කණ්ඩායම දිගින් දිගටම මැලිකමක් දැක්වීම හේතුවෙන් සාකච්ඡා විටින් විට කල්දැමීමට හේතු විය.
පසුව ඒ සඳහා විසඳුමක් ඉදිරිපත් කළ බෙලාරුසියානු නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සාකච්ඡා පැවැත්වෙන අතරතුර ආරක්ෂාව පිළිබඳව වගකීම තමන් බාරගන්නා බව ප්‍රකාශ කළේය.
යුක්රේන ධුත පිරිස පැමිණෙන අතරතුර, සාකච්ඡා සිදුවන කාලයේදී සහ නැවත ඔවුන් පිටව යන තුරු බෙලරුසියානු භූමියේ ස්ථානගතකර ඇති සියළුම ගුවන් යානා, හෙලිකොප්ටර් සහ මිසයිල භූමියේ රඳවා තබන බව බෙලරුසියානු නායකයා තහවුරු කළේය.
කෙසේ වෙතත් යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ සාකච්ඡාවලින් විශාල ප්‍රගතියක් තමන් බලාපොරොත්තු නොවන බවයි.
එහෙත් යුද්ධය නැවැත්වීමට තමන් උත්සාහ නොකළා යැයි කිසිවෙකුට චෝදනා කළ නොහැකි පරිදි ලැබෙන කුඩා අවස්ථාවක් හෝ භාවිතා කිරීමේ අරමුණින් සාකච්ඡා සඳහා තමන් සහභාගී වන බව යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
තිලාන් ජයසේකර
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට
