gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩොලර් නැතිව තෙල් නැවක් දින 11ක් මුහුදේ.. හරවාගෙන යන බවට තර්ජනය කලා - ගම්මන්පිල

අර්බුදය ඉදිරියේ හඬා වැටුණා වෙනුවට නිර්මාණශීලීව හෙට දවස දෙස බලමින් අර්බුදයට එක්ව මුහුණ දුනහොත් මේ අභියෝගය ජයගත හැකි බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකලේය. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය අවිස්සාවේල්ල දිසා සභාව අමතමිණි.


එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

අර්බුදය ගැන අනාවැකිය

අපේ පක්ෂය දේශප්‍රේමී පක්ෂයක්. ඒ නිසා තමයි අපේ රටේ බෙදුම්වාදයට මුස්ලිම් අන්තවාදයට චීනයෙන් ඉන්දියාවෙන් ඇමරිකාවෙන් අපේ රටේ පැවැත්මට තර්ජන එනකොට අපි ඊට එරෙහිව හඬ නගන්නේ . ඒ වගේම අපේ පක්ෂය පරිසර හිතකාමී පක්ෂයක්.පරිසරය රකින්න අපි මොනවද කළේ කියන එක මෙතන මීට කලින් කියවුණා. ඒ වගේම අපේ පක්ෂය ධාර්මික පක්ෂයක්. අපි ධාර්මික නිසා තමයි ආණ්ඩුව නැගෙනහිර ජැටිය ආණ්ඩුවෙන් හදනවා කියලා පොරොන්දු වෙලා ඉන්දියාවට දෙන්න හදනකොට දුන්න පොරොන්දුව ඉටු කරන්න ජනතාවට බොරු කියන්න එපා කියලා අපි ඇතුලේ අරගලයක් කළේ . අපි ධාර්මික පක්ෂයක් නිසා තමයි ටෙන්ඩර් පටිපාටියෙන් පිටට ගිහිල්ලා යුගදනවි බලාගාරයේ විකිණීමේ ගිවිසුමක් ඇති කර ගත්තම ඒකට එරෙහිව සටන් කළේ .

වංචාවට දූෂණයට බොරුවට එරෙහිව අපි හැමදාමත් පෙනී ඉඳලා තියෙනවා .ඒ වගේම තමයි අපි හැමදාමත් පැත්ත ගියත් ඇත්ත කියලා තියෙනවා . ඇත්ත තිත්තයි ඒත් ඇත්තයි .අපේ රටේ ජනතාව හුරු පුරුදු වෙලා තියෙන්නෙ දේශපාලකයෝ ලොසින්ජරවල මී පැණි තවරලා දෙන බොරුව ගිලලා සතුටු වෙන්න මිසක් තිත්ත ඇත්ත අමාරුවෙන් ගිල ගන්න නෙවෙයි .නමුත් අපි අපිට කෙතරම් පාඩු වුණත් රටට වෙන වාසිය සලකලා හැමදාමත් අපි ජනතාවට ඇත්ත කියලා තියෙනවා .

මේ රටේ තෙල් අර්බුදයක් එනවා කියලා මම ඇමති මණ්ඩලයට කිව්වේ 2021 පෙබරවාරි මාසේ 15 වෙනිදා . ඒ වගේම මේ රටේ ඩොලර් අර්බුදයක් ඇති වෙනවා කියලා මම මේ රටට කිව්වේ 2021 ජූනි මාසයේ දොළොස් වැනිදා. හැමෝටම මතකයි එක රටම බලාගෙන හිටියා අර සාගර කාරියවසම් මන්ත්‍රීතුමාට පිළිතුරු දෙන ගමන් කළ කතාවෙ තමයි ජුනි මාසයේ 10 මීට මාස 8කට කලින් තමයි අපි කිව්වේ ඩොලර් අර්බුදයක් අනාගතයේ රටේ ඇති වෙනවයි කියලා .ඇත්තෙන්ම ඒක කිව්වම අපේම කට්ටිය බොහෝ දෙනෙක් මට බැන්නා .කෝප්පයේ කිඹුලන් දකිනවා කියලා මට කිව්වේ. ජනතාව බොරුවට බය කරනවා කියලා කිව්වා.

අර්බුදයට විසඳුම්

මට තාම මතකයි 2021 ජූලි මාසේ 18 වෙනිදා මට එරෙහිව ගෙනාපු විශ්වාසභංගය විවාදයට ගන්න කලින් දවසේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් තිබුන ජනාධිපති මන්දිරයේදී. මේ රැස්වීමේදි මමත් බන්දුල ගුණවර්ධන ඇමතිතුමාත් මේ රට මූණ දීලා තියෙන විදේශ විනිමය අර්බුදය ඩොලර් අර්බුදය පැහැදිලි කරලා කිව්වා 2030 වෙනකන්ම අපිට අමාරු කාලයක් උදා වෙනවා කියලා . ඔය අතරේ අපේ ඇමතිතුමෙක් නැගිටල කිව්වා එහෙම වෙන්නේ නෑ. ඔය ඩොලර් අර්බුදය ඇතිවෙලා තියෙන්නේ ප්‍රධාන බැංකු දෙකේ නිලධාරීන් කරන මගඩියකින්. මේ මගඩිය අපි හොයාගෙන තියෙනවා. සති දෙකකින් ඩොලර් අර්බුදය විසදනවා කියලා ඇමැතිතුමා කිව්වා. අපේ මන්ත්‍රීවරුන් බොහෝම හයියෙන් අත්පුඩි ඇහුවා. මගෙන් අහන්න එපා කවුද ඒ ඇමතිතුමා කියලා . අපි ඒක සැඟවුණු අමුත්තා වගේ තියාගමු. නමුත් ජනතාවට මේ තිත්ත ඇත්ත කියන්නෙ නැතුව ජනතාව මේ අභියෝගයට මුහුණ දෙන්න පෙළ ගස්සන්න බෑ . අපිට අර්බුදයක් තියෙනවා කියලා අපි පිලිගන්නෙ නැත්තං අපිට ඒ අර්බුදයට විසඳුම් හොයන්න බෑ .

මට ලෙඩක් හැදුනම දොස්තර ගාවට එක්කං යන්න අනිත් කට්ටිය හදනකොට මට ඇති ලෙඩක් නෑ ඔන්න ඔහේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියල කියනව නම් මැරිල යනතුරුම මට බේතක් දීගන්න ගෙදර කට්ටියට බැරි වෙනවා. ලෙඩක් තියෙනවා කියලා පිළිගත්තොත් පමණමයි ලෙඩට බෙහෙත් බොන්න පුළුවන් වෙන්නේ. දොස්තර ගාවට යන්න හිත හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මේ අර්බුදයේ ඇත්ත තත්ත්වය රටට කියමින් අපි දැන් ඉන්නේ අර්බුදයක කියලා අපි පිළිගමු යි කියන එක අපි හැමෝටම යෝජනා කරන්නේ .

තෙල් සංස්ථාවේ අර්බුදය කුමක් ද?

මිත්‍රවරුනි අපි මේ දිනවල රුපියල් පනස් දෙකක් පාඩුවට තමයි ඩීසල් විකුනන්නෙ. සුපිරි ඩීසල් ලීටරය රුපියල් තිස් පහක් පාඩුවට. පෙට්‍රල් 92 රුපියල් 19ක් පාඩුවට පෙට්‍රල් 95 රුපියල් දාහතක් පාඩුවට. නිතර කියවෙන්නැති දෙයක් තියනවා භූමිතෙල් ලීටරයක් විකුණන්නේ රුපියල් හැට තුනක් පාඩුවට . එක භූමිතෙල් ලීටරයක් අපිට හදන්න යනවා රුපියල් 150 . හැබැයි අපි ඒක විකුණන්නේ රුපියල් 87කට .මේ පාඩුව එකතු කලහම එක දවසකට තෙල් සංස්ථාව පාඩු විදිනවා රුපියල් ම්ලිියන පන්සිය පනස් එකක් .

කාගෙන්ද මේ පාඩුව ගන්නේ. එක්කො ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ මේකට සහනාධාරයක් දෙන්න . ආණ්ඩුව සහනාධාරයක් දෙනවා කියන්නේ මොකක්ද? ජනාධිපතිතුමාවත් අගමැතිතුමා වත් මුදල් ඇමැතිතුමා වත් දිනපතා රුපියල් මිලියන පන්සිය පනස් එක ගානෙ මැදමුලනින් අරන් එන්නේ නෑ. අරන් එන්න බෑ. තමුන්නාන්සේලාගෙන් අයකරන බදු වලින්ම තමයි මේ පාඩුව ආවරණය කරන්නේ .

ලංකාවෙ කෝටිපතියො පාවිච්චි කරන වාහනයක් තියෙනවා ලැම්බෝගිනිය කියලා. කාලයක් රටේ සුපිරි මාතෘකාවක් ලැම්බෝගිනි. මේ ලැම්බෝගිනි කාර් එකේ එක ලීටරයට යන්න පුළුවන් කිලෝමීටර් දෙකයි. ලැම්බෝගිනි කාර් එකක් ඇවිල්ලා ශෙඩ් එකට නතර කළහම රුපියල් පනස් දෙකක් පාඩු විඳගෙන තමයි ලැම්බෝගිනිය ට තෙල් ගහන්නෙ . තෙල් බොන වාහනයක් . දැන් එතකොට මේකේ පාඩුව දරන්නේ කවුද . ලැම්බෝගිනි තියා ජීවිතයට කාරෙක ගිහිල්ලා නැති හද්ද පිටිසර ගමක ඉන්න අහිංසක දුප්පත් කෙනෙක් කිලෝ මීටර් ගානක් පයින් ඇවිදලා ගමේ තියෙන වරිච්චි බිත්ති බැන්ද කඩේට ගිහිල්ලා තමන්ට ඕන කෑම බීම ටික ගන්නකොට ඒකට ගෙවන වැට් බද්දෙන් තමයි අර ලැම්බෝගිනිය ට ගහපු ඩීසල්වලින් ආණ්ඩුවට සිදුවන පාඩුවක් ගෙවන්නේ . මිත්‍රවරුනි ඩීසල් වලින් පාඩු වෙන රුපියල් 52 ලැම්බෝගිනියට ඩීසල් ගහපු මිනිහගෙන් ගන්න එකද සාධාරණ ජීවිතයට ලැම්බෝගිනි දැකල නැති අර හද්ද පිටිසර ගම්වල ඉන්න මිනිස්සුන්ගෙන් ගන්න එක සාධාරණද කියන ප්‍රශ්නය අපි අද විසඳගන්න ඕනේ . තෙල් පාවිච්චි කරන ප්‍රමාණයට තෙල් පාවිච්චි කරන අයට තෙල්වල වියදම දරලා අනිත් මිනිස්සු ටික ඒකෙන් නිදහස් කිරීම තමයි සාධාරණ ක්‍රමවේදය කියලා කියලා අපි විශ්වාස කරන්නේ . අද අපි මේ දැවැන්ත අර්බුදයක ඉන්නේ .මන් දැක්කා ඊයේ රාත්‍රියේ ප්‍රවෘත්ති වලට පෙන්නනවා ෂෙඩ් වල තෙල් නෑ . කතන්දරේ ඇත්ත. සමහරු ඇමතිතුමානම් කියනවා තෙල් තියෙනවා කියලා ඒත් තෙල් නෑ කියාගෙන යනවා. අනේ මං එහෙම කිව්වෙ නෑ. ජනවාරි මාසෙ 7 ජනවාරි මාසේ 13 සහ පෙබරවාරි මාසේ 18 මම මාධ්‍ය හමුවේ අනතුරු ඇඟෙව්වා නුදුරු දිනක තෙල් හිඟයක් ඇති වෙනවා කියලා.ෙ

දැන් අපිට තෙල් නැවක් ආවම ඔන්න දැන් තෙල් නැව් දෙකක් ඇවිල්ල තියෙනව ඩීසල් නැවයි පෙට්‍රල් නැවයි. අපි ඇනවුම් කරනවා නැව එනවා. හැබැයි නැවට ගෙවන්න ඕනෙ දැවැන්ත ඩොලර් ප්‍රමාණයක් . ඩොලර් මිලියන 35ක් විතර අපි එක නැවකට ගෙවන්න ඕනේ .මේ ඩොලර් මිලියන 35 බැංකු වලට එකතු කරගන්න සෑහෙන දවසක් යනවා . නැව ආවට ගෙවන්න බැංකුවල ඩොලර් නැති උනාම නැව එතන හිර කරගෙන ඉන්න වෙනවා .අපි ගාව තියෙන්නේ බොහොම සීමිත තොගයක්. වෙනදට බවුසර් දෙකක් ඉල්ලන ෂෙඩ් එකට බවුසර් එකක් දෙන්න සිද්ධ වෙනවා. බවුසරේ තෙල් ටික ඉවර උනහම ඒ ෂෙඩ් එකේ තෙල් නෑ. තෙල් මිල වැඩි වෙනවා යයි කියලා හිතාගෙන හංගගෙන හිටපු කට්ටියකුත් ඉන්නවා. හැබැයි අවංකවම තෙල් නැති ෂෙඩ් තියෙනව. හේතුව අපි නිකුත් කරන්නේ සීමා කරලා. ඇයි අපි නිකුත්කරන්න සීමා කරල. අපි කලින් කිව්ව වගේම මේ ඩොලර් අර්බුදය නිසා ප්‍රමාණවත්ව තෙල් ටික ගේන්න අපිට ඩොලර් හම්බෙන්නෙ නෑ .ඩොලර් දෙන්න බැංකු පද්ධතියට හැකියාවක් නැත්නම් අපිට ගෙනාපු තෙල් ටික නැවෙන් බාගන්න විදිහක් නෑ. නැව මුහුද නතර කරන් බලන් ඉන්නවා. බැංකුවෙන් තෙල් ගෙනාපු කෙනාට ඩොලර් ටික ගෙවනකන්.එක නැවත් එහෙම දවස් 11 මුහදෙ නතර කරන් හිටියා. අපි හරෝගෙන ආපහු යනවා කියලා තර්ජනය කළා . ඇයි දෙයියනේ තෙල් අයිති එක මනුස්සයෙකුට නැව අයිති වෙන මනුස්සයෙකුට . නැව් කුලියට අරන් තමයි තෙල් ටික දාගෙන එන්නෙ. ඒ නැවට තියෙනවා මෙතන තෙල්බාලා තව වරායකින් තව තෙල් ටිකක් අරන් තව තැනකට ගෙනියන්න .දවස් 11 මුහුද නතර කරන් ඉන්න කොට නැව් කාරය තර්ජනය කරනවා අපිට බෑ බලන් ඉන්න අපි යනවා කියලා .

ඉතාම අභියෝගාත්මක කාලයක් ඉතාම දුෂ්කර තත්වයක් . මිත්‍රවරුනි අපේ රටේ වැඩිම මුදලක් වියදම් කරන්නේ තෙල් ගේන්න. මේ දවස්වල බැංකුවලට එන්නෙ පිටරටට බඩු වික්කම ඩොලර් මිලියන 750 යි . ඕකෙන් ඩොලර් මිලියන 500 ක් ම යන්නේ තෙල් ගේන්න . ඒ නිසා තමයි ගිය අවුරුද්දේ ජූනි මාසේ ඉඳන් විපක්ෂය කිව්වේ තෙල් හිඟයක් ඇතිවෙනෝ කියලා. ඊට වඩා අඩුවෙන් ඩොලර් වැයවෙන කිරිපිටි ඖෂධ සිමෙන්ති ගෑස් යකඩ හාල් මේ හැමදේම හිඟයක් ඇති උනා අපි තෙල් හිඟයක් ඇති නොවෙන්න වග බලා ගත්තා.

ජනවාරි 7 වෙනිදා මම කිව්වේ තවදුරටත් ඒ සහතිකය මට ලබා දෙන්න බෑ කියලා . අතරින් පතර තැනින් තැන තෙල් පිරවුම් හල් වල තෙල් නැති වීමේ අවදානම තියෙනවා. ඒක අනාගතයේදී තව දුරටත් උග්‍ර වීමේ අවදානමක් තියෙනවා.

අර්බුදයේ වගකීම කාටද?

දැන් මොකද්ද අපි කරන්න ඕනේ. විපක්ෂය ආණ්ඩුවට බනිනවා. මතක තියාගන්න මේක ආණ්ඩුව විසින් හදාගත්ත ලෙඩක් නෙමෙයි. මේ රටේ ආදායමට වඩා වැඩියෙන් වියදම් කරන්න ජනතාවට බොරු කරමින් සුන්දර ලෝකයක් මවමින් ණයට අරන් කන සංස්කෘතිය හදපු හැම කෙනාම මේකට වගකියන්න ඕන. මිත්‍රවරුනි කොළ පාට ද නිල් පාට ද කහ පාට ද රතු පාට ගුරු පාට ද කියන මේ සෑම දේශපාලන පක්ෂයක්ම මේ අර්බුදයේ කොටස්කරුවෝ. අද එකිනෙකාට ඇඟිලි දිගු කර ගන්න අයට අපි කියන්නේ අනුන්ට එක ඇඟිල්ලක් දිගු කරද්දි තමන් දෙසට ඇඟිලි හතරක් දික් වෙලා තියෙන බව අමතක කරන්න එපා .චෝදනා වෙනුවට විකල්ප ඉදිරිපත් කිරීමයි කළ යුත්තේ විසඳුම් ඉදිරිපත් කිරීමයි කළ යුත්තේ. ඒ විසදුම් ඉදිරිපත් කරන්න අද විපක්ෂය පැත්තෙන් අසමත් වෙලා තියෙනවා.

මාර්තු 2 වෙන්නේ මොකක්ද?

ඒ නිසා තමයි අපි පක්ෂ දහය එකතු වෙලා තීන්දුවක් අරන් තියෙන්නේ අපි දකින විදිහට මේ අර්බුදයේ එළියට යෑමේ ගමන්මග යෝජනාවලියක් විදියට මාර්තු මාසේ දෙවැනි දා එළි දක්වන්න. අඳුරට සාප කිරීම පසෙක තබා එක් පහනක් හෝ දල්වන්න කියන කියමන අනුව යමින් මේ අර්බුදයේ එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම පසෙක තබා ගොඩ යන ආකාරය කියලා දෙන්න අපි ලෑස්තියි කියන පණිවිඩය අපි මේ රටට ලබා දෙනවා.

මහමුහුදේ සැඟවී ඇති සම්පත

මිත්‍රවරුනි අද මේ රටේ ඩොලර් අර්බුදයට ලොකුම හේතුව තෙල් වලට යන වියදම. ක හැබැයි ඔබ දන්නවාද අපේ රට වටේට තියන මහමුහුදේ යාපනය අර්ධද්වීපයේ මහා දැවැන්ත තෙල් සම්පතක් සැඟවිලා තියෙනවා . ඩොලර් බිලියන ගාණක තෙල් සම්පතක් සැඟවිලා තියෙනවා . අද අපි තෙල් මිල වැඩි වෙන්න වැඩි වෙන්න අපි තෙල් මිල ඉහළ යද්දී හඬා වැටෙනවා. තෙල් මිල ඉහළ යද්දී අපේ රටේ විදේශ වියදම වැඩි වෙනවා. හැබැයි අපි මේ තෙල් සම්පත ගොඩ අරගෙන තිබුණා නම් තෙල් මිල වැඩි වෙන්න වැඩි වෙන්න අපි මොකද කරන්නේ. මැදපෙරදිග රටවල් වගේ පාටි දාලා චූන් එකේ නටන්න පටන් ගන්නවා. එහෙනම් රටම එකම සැණකෙළියක් වෙනවා. ඇයි තෙල් මිල වැඩි වෙනවා කියන්නේ රටේ ආදායම වැඩි වෙනවා කියන එකයි .

අපි තෙල් පිටරට යවන්න පුළුවන් ජාතියක් . නමුත් මේ පොළොව යට තියන මහා සම්පත ගොඩගන්න වැඩපිළිවෙළක් හදනවා වෙනුවට අපි අවුරුදු හැත්තෑවක් නිකං බලාගෙන ඉඳලා තියෙනවා . ඒකට හේතුවක් තියනවා ඇයි බොහෝ විට දේශපාලකයන් ගේ ආකර්ෂණයට ලක් වෙන්නේ අවුරුදු පහෙන් ප්‍රතිඵල පෙන්නන්න පුළුවන් ව්‍යාපෘති විතරයි . එතෙන්දි මනාප වැඩි කරගන්න ඕන්නං ඡන්දෙට කලින් වැඩ පෙන්නන්න ඕනේ . දීර්ඝ කාලීන ප්‍රතිඵල ලැබෙන ව්‍යාපෘති වලට කවුරුවත් අත ගහන්නෙ නෑ. ඇයි ඒක මට වැඩක් වෙන්නේ නෑ. ඡන්දෙ දෙන්න ප්‍රයෝජනයක් වෙන්නේ නෑ . ඒ කරුමෙට තමයි මේ ව්‍යාපෘතිය මෙතෙක් සාර්ථක වුනේ නැත්තෙ . අපි මේ වන විට තෙල් ගොඩ ගන්න අවශ්‍ය බිම් කැබලි සැලැස්ම හැදුවා. නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත 2021 අංක 21 කියන පනතේ. නියාමනය කරන්න අධිකාරියක් හැදුවා .මේ මාසයේ ඇතුලත තෙල් ගවේෂණය කරන අදාළ සමාගම හදනවා . මාර්තු මාසයේ මම ඇමරිකාවේ ගිහිල්ලා ලෝකෙට ආරාධනා කරනවා ලංකාවේ තෙල් ගවේෂණයට එන්න කියලා . දැවැන්ත තෙල් සමාගම් වල සමුළුවක් අමතමින් .මේ වැඩ ටික මීට කලින් කරලා තිබුණා නම් අද අපි ධනවත් රටක් . අපි සැප විඳින රටක් අපි මේ දුක් විඳින්නේ අපි ගත් තීන්දු තීරණ වල වරද නිසා කියන එක අපි තේරුම් ගන්න ඕන .

වෙසක්කූඩු වෙනුවට චීන බකට්

මිත්‍රවරුනේ අපි ඉන්නේ අති දුෂ්කර මොහොතක. අපි මේ මොහොතේදී රට ගොඩ යවන්න නම් මේ දුෂ්කර මොහොත හොඳ අවස්ථාවක් කියලා හිතන්න ඕනේ. අපිට අපි දිහාම හැරිලා බලන්න හොඳ අවස්ථාවක්. උදෑසන අවදි වෙච්ච මොහොතින් ඉදන් නින්දට යනකන් අපි මොනාද පාවිච්චි කරන්නේ . උදෑසනම අවදි උනහම හුඟක් දෙනෙක් කරන්නේ පිරිත් අහනවා. ඒ ගුවන් විදුලිය එක්කො ජපන් නැත්තං චීන. ඊළඟට වතුර එකක් ලිපේ තියනවා කේතලේ බලන්න එක්කෝ චීනෙන් නැත්තන් ඉන්දියාවෙන් ඊළඟට යනවා දත් මදින්න දත් බුරුසුව පිට රටින්. දත් බෙහෙත් එක පිටරටින් මූණෙ ගාන සබන් කෑල්ල පිටරටින් අඳින කමිසේ පිටරටින් , අඳින කලිසම පිටරටින් , සපත්තු මේස් එක පිටරටින් ,අපි මොනාද අපේ කියලා දවසකට පාවිච්චි කරන්නේ දවස පුරා පාවිච්චි කරන භාණ්ඩ වලින් 95% ක් ම පිටරටින් ගේන්නේ. ඉතින් දෙයියනේ පිටරට ඩොලර් යනවා මිසක් ඩොලර් එන ක්‍රමයක් අපි දන්නේ නෑනේ.

අපි මේ මාසේ ජාතික නිදහස් දිනය අභිමානයෙන් සැමරුවා නිදහස් දින ජාතික කොඩිය අර පොල්ලෙන් ඔසවන කොට අනේ දෙයියනේ කොඩියත් චීනාගේ. නිදහස් දිනයට කලින් පුංචි ජාතික කොඩි විකුණනවා ඔය ඔක්කොම චීනෙන් ගෙනාපුවා. නන්දා මාලනීගේ පවන ගීත සමුච්චය කියනවා කොඩිය සුද්දගේ ඒත් කොඩිගහ අපගේ ඒ කියලා දැන් අපිට කියන්න වෙනවා කොඩිය චීනාගේ ඒත් කොඩි ගහ අපගේ කියලා. කොඩිගහ නං අපේ තමයි . දැන් අර පොඩි කොඩිය ප්ලාස්ටික් කණුවක් තියෙන්නෙ කොඩිගහත් චීනාගේ . වෙසක් එනවා ළඟදී අපි පුංචි කාලේ නම් බට පතුරු කපලා අපි කූඩු හදන එල්ලුවා අපේ රටේ හදපු බකට් තිබුණේ . ලස්සන ලස්සන බකට් තියනවා ඔක්කොම චීනෙන්. ගෙවනු ගෙවනු මිසක් ගෙවන්න සල්ලි හොයන ක්‍රමයක් අපි හිතලා නෑ.

සිරිලක දේ සිරි සැප දේ

මේ බෝම්බ මෙච්චරකල් පරක්කු වෙච්ච එකයි පුදුමය . මේ බෝම්බය මීට කලින් පත්තු වෙන්න තිබුන බෝම්බයක් .අපි දැන්වත් මේ අර්බුදයේදී හිතන්න පටන් ගමු සිරිලක දේ සිරි සැප දේ කියලා වවන්න පුළුවන් හැමදේම වවලා හදන්න පුළුවන් හැමදේම හදලා අපේ රටෙන් පිට රට යවන්න පුළුවන් දේවල් හොයාගෙන පිට රට යවලා අද මේ තරුණ දූල පුතාලා අන්තර්ජාලය හරහා විවිධ දේවල් පිටරට යවනවා .මට හම්බුනා අනුරාධපුරයේදී දියණියක් මොනවද දුවේ ඔයා කරන්නේ කියල ඇහුව. මෝටසයිකලෙන් ආවේ යමක් කමක් තියෙනවා කියලා පෙනුනා මම කොට්ටම්බ කොල කැනඩාව ටයි ඇමරිකාව ටයි අපනයනය කරනවා කියලා කිව්වා . මොනවද කොට්ටම්බ කොල වලින් කරන්නේ. මාළු ටැංකිවලට දැම්ම මාලු ටැංකි පිරිසිදු වෙනවා. මං අන්තර්ජාලය දාලා තියනවා මට ඇනවුම් එනවා ඩොලර් වලින් ආදායම එනවා .මට තියෙන්නෙ ඇමරිකාවට කැනඩාවට නෝවේ වලට සුවිට්සර්ලන්තෙට යවන්න කියලා . මම ඇහුවා දුවට මේක කතා කරන්න ඉංග්‍රීසි පුළුවන්ද කියලා. නෑ ලොකු ඉංග්‍රීසියක් ඕන වෙන්නේ නැහැ. ඕඩර් එනවා තේරෙන්නැති දෙයක් ලියලා තිබ්බොත් මං අහගන්නවා. ගමේ ඉන්න දියණියන්ලා , පුතාලා අද අන්තර්ජාතික වෙලදාම පටන් අරන් තියෙනවා . මෙවැනි නිර්මාණශීලී දරුවන් ඉන්න තුරු අපේ අනාගතය ගැන අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. අද මේ අර්බුදයේ ඉදිරියේ හඬා වැටුණා වෙනුවට නිර්මාණශීලීව හෙට දවස දිහා බලමින් අර්බුදයට එකතුව මුහුණ දුන්නොත් මේ අභියෝගය ජයගන්න පුළුවන් ඒ නිසා අභියෝගයට අභියෝග කරන්නට නිර්මාණශීලීව හෙට දෙස බලන්නට අපිත් එක්ක එකතු වෙන්න කියලා සමස්ත ජාතියටම ආරාධනා කරනවා

පක්ෂයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර, මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝනාර, නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ, තරුණ ලේකම් ඉරංග විද්වත්, කොළඹ දිසා සංවිධායක ශිරන්ත ජයලත් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවය පිවිතුරු හෙළ උරුමය අවිස්සාවේල්ල සංවිධායක ප්‍රාදේශිය සභා මන්ත්‍රි අරුණ දිවිගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අවිස්සාවේල්ල ජන සභාවේ නිලධාරින් විසින් සංවිධානය කරන ලදී.

– මාධ්‍ය ඒකකය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka