සමුපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) සභාපති ධූරය සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් ඉස්මතු වී තිබෙනවා.
ඒ වැඩ තහනමට ලක් කළ සතොස සභාපතිවරයා වන නීතිඥ වෙනුර ගුණවර්ධන මහතා එම තහනම නොතකා සභාපති ධූරයේ වැඩ කටයුතු කිරීම නිසා.
තීන්දුව දැනුම් නොදීම
ගුණවර්ධන මහතාගේ වැඩ තහනම් කරන ලද්දේ විෂය භාර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින්.
එහෙත් තමාට එවැන්නක් දැනුම් දී නැති බව සඳහන් කරමින් සතොස සභාපතිවරයා සුපුරුදු පරිදි රාජකාරි කටයුතු සදහා වාර්තා කර තිබුණා.
තමාව අමාත්‍යවරයා විසින් සතොස සභාපති ධූරයෙන් ඉවත් කළහොත් තමා එම ධුරයෙන් ඉවත්ව යන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.
උප සභාපති මතය
මේ සම්බන්ධයෙන් සතොස උප සභාපති නීතීඥ තුෂාර දිසානායක මහතා සඳහන් කරන්නේ තමාට දැනගන්නට තිබෙන ආකාරයට සභාපතිවරයාට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවනතුරු සභාපතිවරයාගේ වැඩ තහනම් කළ බව ඔහුට නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.
එය ලිඛිතව දැනුම් නොදුන් බව පවසමින් ගුණවර්ධන මහතා තව දුරටත් සභාපති ධුරයේ කටයුතු කරමින් අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීම සදාචාරාත්මක නොවන බවට ඔහු චෝදනාවක්ද කරනවා.
දිසානායක මහතා උදය ගම්මන්පිල අමාත්‍යවරයා නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමයේ හිටපු ප්‍රධාන ප්‍රධාන ලේකම්වරයායි.
අමාත්‍යාංශ ලේකම්වරියගේ ප්‍රකාශය
මේ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරිය වන භද්‍රානි ගුණවර්ධන මහත්මිය සඳහන් කර කරන්නේ තමන් එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් නොදන්නා බවයි.
එහෙත් ගුණවර්ධන ඇමතිවරයා ඉවත් කරන ලද ලද සතොස සභාපතිවරයා වෙනුවට වැඩ බැලීමට පත් කර තිබෙන්නේ භද්‍රානි ගුණවර්ධන මහත්මියව බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සතොස සභාපතිවරයාගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන්නේ පුවත් පතක පළ වූ වාර්තාවක් මුල් කොට ගෙන බවයි දැනගන්නට තිබෙන්නේ.
ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් හෝ ඒ ගැන තිබෙන හඬ පටයක් පිළිබඳවවත් තමා නොදන්නා බව පෙන්වා දෙන වැඩ තහනමට ලක් කළ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස තමා අමාත්‍යවරයාගෙන් හා අමාත්‍යංශ ලේකම්වරියගේ ඉල්ලා සිටි බවත් සඳහන් කරනවා.
