ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට පහරදීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් දැඩි ලෙස හෙළාදකින බවත්, එම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කළ බවත් කොළඹ අගරදගුරු සන්නිවේදන කමිටු සභාපති සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අද ප්‍රකාශ කළේය.
මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන ලෙස කාදිනල් රංජිත් හිමිපාණන් තමාට දැනුම් දුන් බවද ප්‍රනාන්දු මහතා පැවසීය.
“මෙම සිදුවීම් සිදුවී ඇත්තේ මාසය අවසානයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයට පෙර වන අතර එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට අහිතකර ලෙස බලපානු ඇත,” යනුවෙන් උන්වහන්සේ පැවසූහ.
පාස්කු ඉරිදා විපතට පත් වූවන් වෙනුවෙන් උද්ඝෝෂණය කළ අයෙකු අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍ය මගින් ජනතාවට සත්‍යය දැනුම් දීම වැලැක්වීමට උත්සාහ කිරීම කණගාටුවට කරුණක් බව උන්වහන්සේ කීහ.
“සියලු පුරවැසියන්ට සත්‍යය දැන ගැනීමට අයිතියක් ඇති අතර ඔවුන් සත්‍යය දැන ගන්නේ මාධ්‍ය හරහා. ඒ නිසා මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල කිරීම සත්‍ය වසන් කිරීමේ උත්සාහයක්” යැයිද උන්වහන්සේ පැවසීය.
