පානදුර මූලික රෝහල ඉදිරිපිට දෙනෝදහසක් දෙනා බලාසිටියදී පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරෙකුට නාඳුනන පුද්ගලයෙක් විසින් අද (27) එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පානදුර දකුණ පොලීසිය සඳහන් කළේ ගිනිඅවිය අක්‍රීයවීම හේතුවෙන් රියදුරුගේ ජීවිතය බේරී ඇති බවය. එල්ල වුණු වෙඩි ප්‍රහාර ගිලන් රථයට වැදී තිබුණත් රියදුරුට තුවාල සිදුවූයේ නැත.
ගිනිඅවියේ තිබූ ජීව උණ්ඩයක් ගිලන් රථයේ ඉදිරිපස රියදුරු දොර අසල වැටී තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබිණි.
මිනීමරුවන්ගේ ඉලක්කය බවට පත් වී සිටි ගිලන් රථ රියදුරා කළුතර උතුරු තොටුපොළ පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
අද පෙරවරු 11.45ට පමණ ඔහු රෝගී කාන්තාවක් රැගෙන පානදුර මූලික රෝහල වෙත පැමිණ ඇත. එම ගිලන් රථය හඹාගෙන යතුරු පැදි දෙකකින් පුද්ගලයින් සිව් දෙනෙක් පැමිණ ඇත.
ගිලන් රථය රෝහල් භූමියට ඇතුළු කරනවාත් සමගම එක් පුද්ගලයෙකු ගිලන් රථයේ රියදුරුගේ දොර අසලට පැමිණ වෙඩි තැබීම සිදුකර තිබුණි. ඔහුගේ ආරක්ෂාවට ගිනි අවියක් සහිත තවත් පුද්ගලයෙක් රොහලේ ප්‍රධාන ගේට්ටුව අසල සිට ඇත.
මේ අවස්ථාවේ ඒ අවට සිටි පිරිස් කලබල වී දැඩි නොසන්සුන්කාරී පරිසරයක් ඇති වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය සඳහන් කර ඇත්තේ වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇති නමුත් ගිනිඅවිය අක්‍රීයවීම හේතුවෙන් ජීව උණ්ඩ ක්‍රියාත්මක වී නැති බවය.
මේ සම්බන්ධව විමර්ශකයන්ගේ මූලික සැකය යොමු වී ඇත්තේ කුඩු සළිඳු නැමැත්තාට බව පැවසේ. මෙම කුප්‍රකට ජාවාරම්කරු පොලිසියේ ඉහළම නිලධාරීන් ගණනාවක් සමග සමීප සබඳතා පවත්වමින් සිය ජාවාරම කරගෙන යන බවට පසුගිය වකවානුවේ පොලිස් විමර්ශකයන්ට තොරතුරු ලැබී තිබිණි. මේ ජාවාරම්කරු ගිලන් රථයකින් මත් කුඩු ප්‍රවාහණය කිරීමට කළ සැලැස්මක් හෙළි දරවු වීමත් මේ ඝාතන තැතත් අතර සම්බන්ධයක් තිබිය හැකි බවට ඔවුහු විශ්වාස කරති.
මේ අතර පසුගිය 2021 පෙබරවාරි මස 28වන දින වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් හොරණ දික්හේනපුර ප්‍රදේශයේ දී රුපියල් කෝටි 42ක් පමණ වීදි වටිනාකමකින් යුතු හොරෙයින් කිලෝ 42ක් සොයා ගැනීමත් මේ ඝාතන තැතත් අතර ඇති සම්බන්ධය ගැන ද විමර්ශකයන්ගේ අවධානය යොමු වී තිබේ.
