X-Press Pearl අල්ලස් චෝදනා ගැන හොරාගේ අම්මගෙන් පේන බැලීම !
එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) නෞකාව ගිනිගැනීමෙන් පසුව ගැටලු නිරාකරණයට ඩොලර් මිලියන 250ක අල්ලසක් දීම සම්බන්ධ චෝදනා ගැන Sigma7 Business Intelligence ආයතනය නිකුත් කළ විමර්ශන වාර්තාවේ ස්වාධීනත්වය පිළිබඳව මෙරට ඒ පිළිබඳ විශේෂඥයන්ගේ දැඩි අවදානයට යොමුව තිබේ.
එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන්ට බලපෑම් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක අල්ලසක් ලබාදුන් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් Sigma7 Business Intelligence ආයතනය නිකුත් කර ඇති විමර්ශන වාර්තාව පත්කර ඇත්තේ එම නෞකාවේ රක්ෂණකරු වන London P&I ආයතනය විසින් බව අනාවරණය වේ.
එසේම, මෙම වාර්තාව Sigma7 Business Intelligence විසින් නිකුත් කර ඇත්තේ අදාළ චෝදනා සම්බන්ධයෙන් මෙරට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් විමර්ශනයක් සිදුකළ යුතු බවට අධිකරණය නියෝග කර තිබියදී වීම ගැටලු සහගත බව නීති විශාරදයෝ කියා සිටිති.
Sigma7 Business Intelligence විසින් නොවැම්බර් 17 වැනිදා මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර ඇති අතර එම නිවේදනය අනුව මෙරට පුවත්පත් වන Daily FT, The Morning හා අරුණ පුවත්පත්වල පුවත් ද පල කර තිබේ.
මේ නිවේදනය මෙරට ආන්දෝලනාත්මක PR ඒජන්සියක් විසින් පුවත්පත්වල පුවත් පළ කිරීමට යොමුකර ඇති බව අප ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවිය.
අදාළ නිවේදනයෙන් මෙම විමර්ශනය London P&I ආයතනයේ ඉල්ලීම මත, X-Press Pearl නෞකාවේ හිමිකරුවන් වෙනුවෙන් සිදුකර ඇති බව දක්වා තිබේ.
උපුටා ගැනීම
“The investigation was commissioned by London P&I, the vessel’s liability insurer, on behalf of the Owners of the X-Press Pearl, to investigate this very serious accusation.”
උපුටා ගැනීම අවසන්
මෙහිදී විශේෂ අවධානයට ලක්වන්නේ අදාළ ඩොලර් මිලියන 250ක අල්ලස් චෝදනාව එල්ල වී ඇත්තේ ද එම නෞකාවේ හිමිකාරීත්වයට සහ රක්ෂණයට සම්බන්ධ පාර්ශ්වයන්ට වීමයි.
මේ අනුව, චෝදනාවට ලක්වූ පාර්ශ්වයේ රක්ෂණකරු විසින් පත්කරන ලද ආයතනයක් සිදුකළ විමර්ශනයකින් එම චෝදනාවට සාක්ෂි නොමැති බව නිගමනය කිරීම, එම විමර්ශනයේ පසුබිම සහ ස්වාධීනත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු කරුණක් බව විමර්ශන ක්ෂේත්‍ර ප්රවීනයෝ කියා සිටිති.
Sigma7 ආයතනය සිය වාර්තාවෙන් පවසන්නේ අදාළ අල්ලස් ගෙවීම තහවුරු කිරීමට හෝ ඊට අනුබල දීමට කිසිදු සාක්ෂියක් හමු නොවූ බවයි.
එම විමර්ශනයේදී පාර්ලිමේන්තු ප්‍රකාශ, ප්‍රසිද්ධ අධිකරණ ලේඛන, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය වාර්තා මෙන්ම සමාගම් හිමිකාරීත්වය, අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු සහ දේපළ සම්බන්ධ දත්ත පරීක්ෂා කළ බව ද එම ආයතනය සඳහන් කරයි.
අදාළ අල්ලස් මුදල බ්‍රිතාන්‍යයේ NatWest බැංකු ගිණුමකට බැර කළ බවට පළවූ තොරතුරු ද විමර්ශනයට ලක්කළ බව එහි දැක්වේ.
එහෙත් ප්‍රසිද්ධ කර තිබූ ගිණුම් විස්තර එකිනෙකට නොගැළපුණු බවත්, ප්‍රතිනිර්මාණය කරන ලද ගිණුම් විස්තර යොදාගෙන නාමික ගෙවීම් සිදුකිරීමට ගත් උත්සාහයන් සාර්ථක නොවූ බවත් Sigma7 පවසයි.
මේ අතර, බ්‍රිතාන්‍ය Metropolitan Police හි ත්‍රස්තවාදය මැඩලීමේ විධානයේ හිටපු ප්‍රධානී Richard Walton ද Sigma7 විමර්ශනයේ ක්‍රමවේදය සහ නිගමන සමාලෝචනය කිරීමෙන් අනතුරුව එහි ප්‍රධාන නිගමනයට එකඟ වන බව ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, මෙම වාර්තාව Sigma7 ආයතනය විසින් සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් වන අතර, එය අධිකරණ තීන්දුවක් හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විමර්ශනයක අවසන් නිගමනයක් නොවේ.
-srilankamirror
X-Press Pearl අල්ලස් චෝදනා ගැන හොරාගේ අම්මගෙන් පේන බැලීම !
2026-11-19T10:44:00+05:30
Gossip Lanka Hot News






