gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අනෝජන් බේරා ගැනීමේ මෙහෙයුමේ මහ මොළකරු විපක්ෂ මන්ත්‍රී ෆයිසර්... අපි මේක කරේ තනිකරම අතේ සල්ලි වලින් චමුදිත...

චමුදිත: සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වූ අනෝජන් නම් ශ්‍රී ලාංකික තරුණයා බේරා ගැනීම ඇත්තටම සුවිශේෂී ක්‍රියාන්විතයක්. මේ මෙහෙයුම ක්‍රියාත්මක වීම පිටුපස සිටි ප්‍රබලතම ශක්තිය, එහෙමත් නැත්නම් මේ ඔපරේෂන් එකේ සිටි ප්‍රධානතම බලකණුව සමඟයි අපි අද මේ සාකච්ඡාව පවත්වන්නේ. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා. මට මුලින්ම කියන්න, අපි පියවරෙන් පියවර මේ කතාව දැනගන්නයි අවශ්‍ය. දැන් ඇත්තටම අනෝජන්ව මරණ දඬුවමෙන් මුදාගෙන ඉවරයි. අපි එතනට එන්න කලින්, හෝඩියේ 'අ' යන්නෙන්ම මේ කතාව පටන් ගමු. ඔබට කොහොමද මේ කටයුත්ත සඳහා මුලින්ම ආරාධනාව ලැබෙන්නේ? කවුද ඔබට මේ වගකීම භාර ගන්න කියලා කියන්නේ?

​ෆයිසර් මුස්තාපා: මේ සිදුවීම සම්බන්ධයෙන් මුලින්ම නායක හාමුදුරුවෝ ඇවිල්ලා මාව හම්බ වුණා. ඒ කියන්නේ ඕමල්පේ සෝභිත හාමුදුරුවෝයි, පාගොඩ ජනිතවංශ හාමුදුරුවෝයි. උන්වහන්සේලා අනෝජන්ගේ පවුලේ අයත් එක්කම ඇවිල්ලා මට කිව්වා, "මෙහෙම සිදුවීමක් වෙලා තියෙනවා, මේ සම්බන්ධයෙන් ඔබට සහයෝගයක් දෙන්න පුළුවන්ද?" කියලා. ඒ වගේම උපුල් කුමරප්පෙරුමයි මමයි බොහොම හොඳ මිත්‍රයෝ. අපිත් මේ ගැන ගැඹුරින් කල්පනා කරලා බැලුවා. මේක අපේම ශ්‍රී ලාංකික දරුවෙක්ගේ ප්‍රශ්නයක් මිසක් මේකේ කිසිම දේශපාලනයක් නැහැ. අපි කොහොමද මේ දරුවාට විසඳුමක් ලබා දෙන්නේ කියන කාරණය ගැනයි අපි මූලිකවම අවධානය යොමු කළේ.

​ෆයිසර් මුස්තාපා: ඒ අවස්ථාවේදී මම හිතන්නේ වත්මන් රජයේ අනුග්‍රහයත් යම් මට්ටමකට අපට තිබුණා. ඒ නිසා අපි අවශ්‍ය කරන තැන්වලට මේ ගැන සම්බන්ධීකරණය කළා. විශේෂයෙන්ම විදේශ කටයුතු අමාත්‍යතුමා සහ ජනාධිපතිතුමාත් අපට මේ වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබා දුන්නා. ඒ වගේම අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් වන ආචාර්ය නවාස් මහතාත් අපිත් එක්ක මේ ගමනට එකතු වුණා. ඒ වගේම කනිෂ්ඨ නීතිඥවරයෙක් වන හෆීස් මහතාත් මේ කටයුත්තට සම්බන්ධ වුණා. අපි සෞදි අරාබියට ගිහිල්ලා එහේ ඉන්න නීතිඥ මහත්වරුත් එක්ක මේ ගැන සාකච්ඡා කළා. ඒ වෙනකොට අභියාචනාධිකරණයෙන් තමයි අනෝජන්ට මරණීය දණ්ඩනය නියම කරලා තිබුණේ.

​ෆයිසර් මුස්තාපා: අපි සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණයට මේ ලේඛන ගොනු කිරීමේදී, කලින් ඒ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්වරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපි කිසිසේත්ම සෑහීමකට පත් වුණේ නැහැ. ඒ සම්බන්ධයෙනුත් අපි විදේශ කටයුතු අමාත්‍යතුමාට සහ ජනාධිපතිතුමාට දැනුම් දීලා සාකච්ඡා කළාම, එතුමන්ලා අපට පූර්ණ නිදහස සහ සහයෝගය දුන්නා අවශ්‍ය කරන ඕනෑම තීන්දුවක් ගන්න කියලා. ඊට පස්සේ අපි එහේ ඉන්න දක්ෂ නීතිඥවරුත් එකතු කරගෙන, අවශ්‍ය කඩදාසි සහ නීතිමය ලේඛන අලුතින් සකස් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළා. ඉන් පසුව තමයි අපට මේ මරණ දණ්ඩනය අත්හිටුවීමේ හැකියාව ලැබුණේ.

​චමුදිත: මෙතනදී නායක හාමුදුරුවන්ට ඔබ ගැන මෙතරම් විශ්වාසයක් ඇති වෙන්නේ ඇයි? ඔබට මීට පෙර මෙවැනි ජාත්‍යන්තර මෙහෙයුම් පිළිබඳ අත්දැකීම් තිබෙන නිසාද? විශේෂයෙන්ම මාලදිවයිනේ සිද්ධියත් එක්ක ඒ විශ්වාසය ගොඩනැගුණාද? පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ක් ඉඳිද්දී ඇයි නායක හාමුදුරුවෝ ඔබවම හොයාගෙන එන්නේ? බලන්න මේක කොච්චර ලස්සන වැඩක්ද. මම මේ ජාතිවාදයක් අදිනවා නෙවෙයි. නමුත් බලන්න, බෞද්ධ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා ආරාධනා කරන්නේ ඉස්ලාම් භක්තිකයෙක් වන ඔබට. ඒ හැමෝම එකතු වෙලා බේරගන්නේ හින්දු භක්තික දරුවෙක්ව. අපි මේ රටේ බොරුවට ජාතිවාදයක් ගැන කතා කරනවා. බලන්න මේ එකතුව කොච්චර ලස්සනද කියලා.

​ෆයිසර් මුස්තාපා: ඔව් චමුදිත, නායක හාමුදුරුවෝ මාව ඇවිල්ලා හම්බවෙන්න ප්‍රධාන හේතුවක් වෙන්න ඇත්තේ මගේ කලින් තිබුණු අත්දැකීම් වෙන්න පුළුවන්. මීට කලින් ලහිරු කියන තරුණයෙක් මාලදිවයිනේ ජනාධිපතිතුමාව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියලා සිරගත වෙලා හිටියා. අර ස්නයිපර් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්. ඒ අවස්ථාවේදී ඒ දරුවාගේ දෙමව්පියෝ ඇවිල්ලා මාව හම්බ වුණා. එතකොට ලංකාවේ ජනාධිපති වෙලා හිටියේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමාගෙන් අපට ලිපියක් ලැබුණා එහේ ඉන්න ජනාධිපතිව හම්බවෙන්න. මම ඒ වෙලාවේ මාලදිවයිනේ හිටපු සෝලිහ් ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා, ඊට පස්සේ අපට ලහිරුගේ නිදහස ලබා ගැනීමේ හැකියාව ලැබුණා.

​චමුදිත: ඒ කියන්නේ ඒ ඔපරේෂන් එක තනිකරම කළේ ඔබ? ලහිරුව බේරගත්තේ ඔබ. මාලදිවයිනේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ චෝදනා එල්ල වෙච්ච ලහිරුව බේරා ගැනීමේ ඒ අත්දැකීම සමහරවිට නායක හාමුදුරුවන්ට එකපාරටම මතක් වෙන්න ඇති. ඔබට කොහොමද මෙච්චර ජාත්‍යන්තර අත්දැකීම් තියෙන්නේ? ඔබ කවදාවත් විදේශ කටයුතු විෂය පිළිබඳ ඇමතිවරයෙක් වශයෙන් ඉඳලා නැහැ. නමුත් ඔබට මේ වගේ රාජ්‍යතාන්ත්‍රික ඔපරේෂන් එකක් කරන්න පුළුවන් වුණා. දැන් අපි නිකන් බොරු කතා කරන්න ඕනේ නැහැ, මේ ටීම් එකේ ඇත්තටම වැඩකාරයා ඔබනේ. මුළු ටීම් එකේම වැඩකාරයා ඔබ වුණත්, ඔබ ඒක පිළිගන්නේ නැහැ වගේ මට මූණෙන් පේන්නේ.

​ෆයිසර් මුස්තාපා: නැහැ චමුදිත, මම හිතන්නේ ලහිරුව බේරා ගැනීමේ ඒ මිෂන් එක සාර්ථක වීමත් එක්ක වෙන්න ඇති නායක හාමුදුරුවන්ට මේ විශ්වාසය ගොඩනැගෙන්න ඇත්තේ. ඒ අත්දැකීම හුඟක් උදව් වුණා මේ ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන්. නමුත් මම මේ ටීම් එකේ තනි වැඩකාරයා නෙවෙයි. මම ඇත්තම කියනවා නම්, ජනාධිපතිතුමාගේ සහ විදේශ කටයුතු අමාත්‍යතුමාගේ සහයෝගය ලැබුණේ නැත්නම් අපට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ කාරණය සම්බන්ධ කිරීමේ කිසිම හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා මේක තනි පුද්ගලයෙක්ගේ දක්ෂතාවයක් විදිහට හඳුන්වන එක සුදුසු නැහැ.

​චමුදිත: වැඩේ ක්‍රෙඩිට් එක ජනාධිපතිටයි ආණ්ඩුවටයි ගියාට, මේ ඔපරේෂන් එකේ මහ මොළකරු විපක්ෂ මන්ත්‍රී කෙනෙක්නේ. මගේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් දෙන්න. මේ ක්‍රෙඩිට් එක රිල්වාන්ට හරි ආණ්ඩුවට හරි ගියාට, මේ වැඩේ පිටිපස්සේ හිටපු මහ මොළකරු ඔබ නේද?

​ෆයිසර් මුස්තාපා: නැහැ චමුදිත, මේකේ කිසිම මහ මොළකරුවෙක් නැහැ. මෙතන ක්‍රෙඩිට් එක කාටවත් අයිති නැහැ, ඒක අයිති මුළු රටටමයි. හේතුව මේකයි චමුදිත, අපි හැමදේම දේශපාලන දෘෂ්ටිකෝණයකින් බලන එකෙන් තමයි අපේ රට විනාශ වෙන්නේ. මෙතන ක්‍රෙඩිට් ගැනීමක් හෝ මහ මොළකරුවෙක් ගැන කතාවක් කිසිසේත්ම නැහැ. මෙතනදී අපි හැමෝම ශ්‍රී ලාංකික දෘෂ්ටිකෝණයකින් මේ දිහා බැලුවා. මේ වෙලාවේ ආණ්ඩුව අපි දිහා වපර ඇහෙන් බැලුවා නම් අපට කවදාවත් මේක කරන්න බැහැ. විදේශ ඇමතිතුමා එහේ ඉන්න තානාධිපතිතුමාව සම්බන්ධීකරණය කරලා අපට මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් හදලා දුන්නා. ඒ නිසා මහ මොළකරු, වැඩකාරයා කියලා කිසිම දෙයක් මෙතන නැහැ.

​ෆයිසර් මුස්තාපා: විශේෂයෙන්ම උපුල් කුමරප්පෙරුම මැතිතුමා ගැන සඳහන් කරන්න ඕනේ. එතුමාගේ පුතාත් නැති වෙලා හිටියේ. එතුමා මට කිව්වේ එක දෙයයි. "මම දන්නවා අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පුතෙක් හෝ දුවෙක් නැති වුණාම දැනෙන දුක. ඒ නිසා අනිවාර්යයෙන්ම හරියත් නැතත් අපි මේකට අත ගහලා මේ දරුවාව බේරගන්න උත්සාහයක් ගමු" කියලා. ඇත්තටම අපටත් මේ වැඩේට අත ගහනකොට ලොකු බයක් තිබුණා. ඔයා දන්නවා ලංකාවේ සම්ප්‍රදායක් තියෙනවානේ, ක්‍රිකට් ටීම් එක වගේ යමක් හරි ගියා නම් අප්පුඩි ගහනවා, හැබැයි වැඩේ කෙළවුණා නම් අනිත් පැත්තට කියනවා හරියට කළේ නැහැ කියලා.

​ෆයිසර් මුස්තාපා: ඒ වගේම මෙතන තවත් බරපතළ ප්‍රශ්නයක් තිබුණානේ. මම ඉස්ලාම් භක්තිකයෙක්. චෝදනාව එල්ල වෙලා තිබුණේ අපේ නබිතුමාට අපහාස කළා කියලයි. බේරගන්න යන්නේ අපේ දෙමළ සහෝදරයෙක්ව. මට ආරාධනා කරන්නේ බෞද්ධ හාමුදුරුවෝ. උපුල් කුමරප්පෙරුම සිංහල. අනිත් නීතිඥ හෆීස් මුස්ලිම්, තානාධිපතිතුමා මුස්ලිම්. ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමියත් අපට විශාල ශක්තියක් දුන්නා. චමුදිත, මම හිතන්නේ ඔයාගේ වැඩසටහන හරහා රටට දෙන්න පුළුවන් ලොකුම පණිවිඩය තමයි ශ්‍රී ලාංකිකයෝ ජාතිවාදී නැහැ කියන එක. මම දිගින් දිගටම සුමන්තිරන් මැතිතුමා, ශානක්කියන් මැතිතුමා, පොන්නම්බලම් මැතිතුමා එක්කත් මේ ගැන සාකච්ඡා කරගෙන හිටියේ. ඒගොල්ලොත් කිව්වා ඕනෑම උත්සාහයක් අරන් එයාගේ ජීවිතය බේරගන්න පූර්ණ සහයෝගය දෙනවා කියලා.

​චමුදිත: විපක්ෂ මන්ත්‍රීවරයෙක් මේ වෙනුවෙන් තෝරා ගන්නකොට, ඔබේ තියෙන හැකියාව නිසානේ මේක සාර්ථක වෙන්නේ. මේ සමස්ත ක්‍රියාවලිය ඇතුළේ තියෙන විශේෂම කාරණාව තමයි, මේ වෙනුවෙන් වැය කරලා තියෙන්නේ තනිකරම ඔබේ පෞද්ගලික මුදල්. ඔබ රජයේ සත පහක්වත් පාවිච්චි කරලා නැහැ. ඇත්තටම ඔබ රජයේ මුදල් පාවිච්චි කළත් කවුරුත් ඔබට දොස් කියන්නෙත් නැහැ. නමුත් ඇයි ඔබ එහෙම හිතුවේ?

​ෆයිසර් මුස්තාපා: මගේ සහ උපුල් කුමරප්පෙරුමගේ පෞද්ගලික මුදල් තමයි අපි මේකට යෙදෙව්වේ. උපුල් කුමරප්පෙරුමයි මමයි මුලින්ම තීන්දු කළා සත පහක්වත් රාජ්‍ය මුදල්, ඒ කියන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි පාවිච්චි කරන්නේ නැහැ කියලා. මම හිතන්නේ අපේ ලාංකික සහෝදරයෙක් බේරගන්න උපුල් කිව්වා අපි සාකච්ඡා කරලා කැපවීමකින් වැඩ කරමු කියලා. අපිත් අපේ වෘත්තියෙන් යම් මුදලක් හම්බ කරනවානේ. ඒ වගේම චමුදිත, මම හිතන්නේ දේශපාලනඥයෙක් විදිහට වඩා අපි දෙන්නම මේකට සහභාගී වුණේ නීතිඥවරු වශයෙන්. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්, හැබැයි අපි ගියේ නීතිඥ කණ්ඩායමක් හැටියට මේ ප්‍රශ්නය විසඳන්න.

​චමුදිත: මම ඔබෙන් වියදම් කරපු මුදල් ප්‍රමාණය ගැන අහන්නේ නැහැ, අපි එතනට වැටෙන්න ඕනේ නැහැ. නමුත් ඔබ දැන් සෞදි අරාබිය බැලන්ස් කරගන්න රටවල් කීපයකට ගියාද? මම දවසක් ඔබට කතා කරනකොටත් ඔබ හිටියේ වෙනත් රටක. මාලදිවයිනට යනවා, සෞදියට යනවා. ඔබ ඒ සෞදිය බැලන්ස් කරන 'ගේම් එක' කොහොමද ප්ලේ කළේ? මෙතන මොකක් හරි ඩීල් එකක්ද තිබුණේ? මොකද දේශපාලනය ගැන දන්න අය දන්නවා ෆයිසර් කියන්නේ පොලිටික්ස්වල හොඳ ඩීල්කාරයෙක්, ඒ කියන්නේ හොඳ මොළයක් තියෙන, නියම වෙලාවට නියම කලාවට දේශපාලනයේ තැන් දන්න, දුර පේන කෙනෙක් කියලා.

​ෆයිසර් මුස්තාපා: නැහැ චමුදිත, මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් කියන්නේ උපුල්ගෙයි මගෙයි බොහොම හොඳ මිත්‍රයෙක්. එයාට සෞදි අරාබියත් එක්ක ලොකු කිට්ටු සම්බන්ධකම් තියෙනවා. එයා හරහා සෞදි අරාබියේ හිටපු සමහර ඇමතිවරුත් එක්කත් අපි සාකච්ඡා කළා කොහොමද මේක නීතිමය වශයෙන් විසඳන්න ඕනේ කියලා. එතුමාත් අපට ඒ සම්බන්ධයෙන් යම් යම් සහයෝගයන් ලබා දුන්නා. හැබැයි මෙතන කිසිම ඩීල් එකක් තිබුණේ නැහැ. මුස්ලිම් මන්ත්‍රීවරුත් අනෝජන්ව බේරගන්න කියලා ලියුමක් ලිව්වා.

​ෆයිසර් මුස්තාපා: අපි ආණ්ඩුවටත් පැහැදිලිව කිව්වේ මේක 'හද්' (Hadd) කැටගරි එකට වැටෙන වරදක් කියලයි. ඒ කියන්නේ දෙවියන්ට විරුද්ධව කරන වරදක්. සෞදි නීතියේ මිනිසුන් හදපු නීති (Man-made laws) සහ දෙවියන්ගේ නීති (God-made laws) කියලා කොටස් දෙකක් තියෙනවා. මේ වගේ වරදකදී ඒ රටේ රජුටවත් සමාව දෙන්න බැහැ. ඒ නිසා නීති ක්ෂේත්‍රය හරහා පමණයි අපට විසඳුමක් හොයන්න පුළුවන් වෙන්නේ. හැම රටකම අධිකරණය ස්වාධීනයි. සෞදි අරාබියේ අධිකරණ ක්ෂේත්‍රයට වෙනත් රජයක් හෝ ඒ රජයවත් ඇඟිලි ගහන්නේ නැහැ. ඒ නිසා අපි කළේ පූර්ණ නීති සහය සහ දක්ෂ නීතිඥවරු තෝරාගෙන, ශක්තිමත් අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන එක විතරයි.

​චමුදිත: මට තව දෙයක් දැනගන්න ඕනේ. මැදපෙරදිග රටක සමාවක් ගන්න බැරිම වරදක්ද මේ දෙවියන්ට අපහාස කිරීම කියන්නේ? සාමාන්‍යයෙන් මෙවැනි වරදකට දුන්න නඩු තීන්දු ඉතිහාසයේ වෙනස් කරලා නැහැ නේද? ඒ වගේම දැන් මේ රටේ තව ප්‍රශ්නයක් තියෙනවා. කවුරුහරි ඇවිල්ලා ඇහුවොත්, "ෆයිසර් මුස්තාපා මහත්තයට සෞදිය වගේ දරුණු නීති තියෙන රටක් බැලන්ස් කරන්න පුළුවන් වුණා නම්, ඥානසාර හාමුදුරුවෝ නිදහස් කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයටත් මැදිහත් වෙලා අපේ ජනාධිපතිතුමාව බැලන්ස් කරගන්න බැරිද?" කියලා. ඔබ ඒ මිෂන් එකත් භාර ගන්නවාද?

​ෆයිසර් මුස්තාපා: දෙවියන්ට අපහාස කිරීමේ වරදකට සමාවක් ගන්න බැහැ. හැබැයි නීති තර්ක ගොඩනගලා අපට යම් සහනයක් ලබාගන්න පුළුවන් වුණා. ඉතිහාසයේ මේ වගේ තීන්දු වෙනස් වෙලා තියෙන්නේ බොහොම කලාතුරකින්, සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. අනිත් කාරණය ඥානසාර හාමුදුරුවෝ සම්බන්ධ ප්‍රශ්නය. ඒ නඩුවේදී මම තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී හිටියේ. ඒක උසාවියකින් දුන්න තීන්දුවක්. ඒ නිසා උසාවි ක්ෂේත්‍රයෙන් නීත්‍යානුකූලව සහනයක් ලබා ගන්නවා හැර, ඕනෑම නඩුවකදී 'බැලන්ස් කිරීම්' කියලා මිනිස්සු කතා කළාට ඒවා නිකන් වචන විතරයි. අපට ස්වාධීන අධිකරණයක් තියෙනවා, ඒක රැක ගැනීමේ විශාල වගකීමක් අපට තියෙනවා. ඕනෑම කෙනෙකුට සහනයක් ගන්න පුළුවන් වෙන්නේ අධිකරණ ක්ෂේත්‍රය හරහා පමණයි.

​චමුදිත: ඔබ විපක්ෂ මන්ත්‍රීවරයෙක් වුණත්, ඔබට රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් තානාපති කාර්යාලයෙන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලැබෙන්න ඕන සහයන් හරියටම ලැබුණාද? මොකද ගොඩක් අය කියන්නේ මේ ආණ්ඩුවට තේරෙන්නේ නැහැ, හැමදේම අනාගන්නවා, ඒ නිසා තමයි ෆයිසර්ව මේකට ගත්තේ, ෆයිසර් තමයි වැඩේ ගොඩදාපු මිනිහා කියලයි.

​ෆයිසර් මුස්තාපා: මම හිතන්නේ මේ ගමනේදී විදේශ කටයුතු ඇමතිතුමා, විදේශ ලේකම්තුමිය, තානාධිපතිතුමා ඒ වගේම ජනාධිපතිතුමා අපට විශාල සහයෝගයක් දුන්නා. සියලු දෙනාම බැලුවේ අපි කොහොමද අපේ ලාංකික සහෝදරයෙක් බේරගන්නේ කියන එකයි. විපක්ෂ නායකතුමාත් මාත් එක්ක මේ ගැන කතා කළා. මීට කලින් තිබුණු රජය රිසානා නෆීක්ගේ ප්‍රශ්නයේදී දේශපාලන අධිකාරියට සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමට ප්‍රමුඛත්වය දුන්නා මිසක් නීති කටයුතුවලට තැන දුන්නා අඩුයි. හැබැයි මේ ආණ්ඩුව මේ ප්‍රශ්නයේදී නීතිඥ මාර්ගයෙන්, ඒ කියන්නේ අධිකරණ පද්ධතිය හරහා සහනයක් ලබා ගැනීමට පූර්ණ සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවය හරියටම හඳුනාගත්තා.

​ෆයිසර් මුස්තාපා: චමුදිත, අපි හැමදාම සහජීවනය ගැන කතා කරනවා. දේශපාලනඥයෝ ජාතිවාදය වේදිකාවක් හැටියට පාවිච්චි කරනවා. හැබැයි සහජීවනයට හොඳම උදාහරණය තමයි අනෝජන්ගේ මේ සිදුවීම. හැබැයි මේකෙන් කියන්නේ ආණ්ඩුවේ 159 ෆයිසර් මුස්තාපාත් එක්ක 160 කළා කියලා හිතන්න එපා. මම කිසිම කෙනෙකුට ගොට්ට අදින්නේ නැහැ. මම මේක කළේ සද්භාවයෙන්, රට වෙනුවෙන් කරපු ක්‍රියාදාමයක් විදිහටයි. මම විපක්ෂ මන්ත්‍රීවරයෙක්. මම විපක්ෂයේ කර්තව්‍යය කරන්නේ ආණ්ඩුව විවේචනය කරන්න ඕන තැන විවේචනය කරමින් සහ ප්‍රශංසා කරන්න ඕන තැන ප්‍රශංසා කරමිනුයි.

​චමුදිත: ජනාධිපතිවරයා ඔබට කතා කරලා ප්‍රශංසා කළාද? අවසාන වශයෙන් අනෝජන්ගේ නඩුවේ ඉදිරි කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ?

​ෆයිසර් මුස්තාපා: මම විදේශ ඇමතිතුමා එක්ක මේ ගැන කතා කළා. ජනාධිපතිතුමාගේ ට්විටර් පණිවිඩයකදී අපට ප්‍රශංසා කරලා තිබුණා. නමුත් මට කාගෙන්වත් ප්‍රශංසාවක් අවශ්‍ය නැහැ
චමුදිත. මම මේක කළේ සද්භාවයෙන් අපේ ලාංකික සහෝදරයෙක් බේරා ගැනීමේ අවශ්‍යතාවය මතයි. දැන් සෞදි අධිකරණ පද්ධතිය හරහා ඒ නඩුව නැවත විභාග කරමින් පවතිනවා. අපි එහේ ඉන්න සුදුසුම නීතිඥවරයෙක් ඒ වෙනුවෙන් පත් කරලා තියෙනවා. ඒ ක්‍රියාදාමය දැන් ඉදිරියට යනවා. මරණීය දණ්ඩනය වැනි බරපතළ තත්ත්වයක් නිසයි අපි විශේෂයෙන්ම මේකට මැදිහත් වුණේ.

​චමුදිත: බොහොමත්ම ස්තුතියි. ඉතාම සාර්ථක මෙහෙයුමකින් අනතුරුව බොහොම නිහතමානීව අදහස් දැක්වූවා. මම කොයි තරම් කීර්තියක් ඔබට දෙන්නට ගියත් ඔබ ඒක තනිවම භාරගන්න සූදානම් නැහැ, ඒක හැමෝම එක්ක බෙදාගන්නයි ලෑස්ති. කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරන අය එහෙමයි, බදාගන්නේ නැහැ බෙදාගන්නවා ඇරෙන්න. රට වෙනුවෙන් ඔබ කළ මේ උතුම් කැපකිරීමට නැවතත් බොහොමත්ම ස්තුතියි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka