gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ප්‍රබලත්වයේ සිට දුබලත්වය කරා ගමන් කළ මහින්දගේ උපන්දිනයට ලොකු පුතා හිරේ ඉඳන් සුබ පතයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සිය 81 වන ජන්ම දිනය සමරයි. අඩ සියවසකට අධික සිය සක්‍රීය දේශපාලන දිවිය තුළ ඔහු ප්‍රබලත්වයේ සිට දුබලත්වය කරා ගමන් කළ අපූරු චරිතයකි. වෙනදා මෙන් පවුලේ ඥාතීන්, හිතවතුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් ආශිර්වාද පතා ආගමික වතාවත් රැසක් අද දින සංවිධානය නොමැති අතර මෙවර ඔහුගේ උපන්දිනයට එක්වී ඇත්තේ කිසිවෙකු නොසිතූ සංවේදී මුහුණුවරකි. 

ඒ, ඔහුගේ වැඩිමහල් පුතු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරයේ සිටීමත් බිරිය ශිරන්ති ඇප මත සිටීමත් අනෙක් පුතුන්ට හා ඥාතීන් සහෝදරයින් රැසකට නඩු හබ වල පැටලී සිටීමත් නිසාය.

1945 නොවැම්බර් මස 18 වන දින හම්බන්තොට වීරකැටියේදී උපත ලැබූ මහින්ද රාජපක්ෂ මහතා, දේශපාලනඥ ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු ලෙස සිය දේශපාලන උරුමය රැගෙන ආවේය. ගාල්ල රිච්මන්ඩ්, කොළඹ නාලන්දා සහ තර්ස්ටන් යන විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලබා, පසුව පුස්තකාල සේවා සේවකයෙකු ලෙස ජපුර සරසවියේ සේවය කරන අතර දේශපාලනයට පිවිසි අතර ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ එකල මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාදයක් මත නීති විද්‍යාලයට ඇතුළුවීමෙනි, 1970 වසරේ පැවති මහ මැතිවරණයේදී බෙලිඅත්ත ආසනය ජයගනිමින් වයස අවුරුදු 24 දී පාර්ලිමේන්තුවට පිවිසියේ එවකට සිටි ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසිනි.

2004 වසරේදී මෙරට 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙසත්, 2005 නොවැම්බර් මස ජනාධිපතිවරණයෙන් පසු පස්වන විධායක ජනාධිපතිවරයා ලෙසත් පත් වූ ඔහුගේ පාලන සමයේ සුවිශේෂීම සන්ධිස්ථානය සනිටුහන් වූයේ 2009 මැයි 18 වැනිදාය. ඒ, දශක තුනකට අධික කාලයක් මෙරට වෙළාගත් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් සම්පූර්ණයෙන්ම පරාජය කර රට එක්සේසත් කිරීමට ලබා දුන් දේශපාලන නායකත්වයයි. 

ඉන් අනතුරුව බැසිල් ගෝඨාභය චමල් ඇතුළු ඇමරිකාවේ සිටි සහෝදරයින්ද හවුල් කරගෙන පවුල් දේශපාලන අධිකාරියක් පිහිටවූ ඔහු ආන්දෝලනාත්මක ගනුදෙනු සහිත අධිවේගී මාර්ග පද්ධතිය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ සහ කොළඹ වරාය නගරය වැනි දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් ද ඇරඹූවේ චීනයට දිගට හරහට ණය වෙමිනි. මෙම ණය කන්දරාව කොමිස් ගැසීම් කප්පම් හා නිලධාරීන්ගේ අතයට මගඩි රැසකින් සමන්විත වූ අතර ඒ සම්බන්ධ පාලනය ගිලිහී තිබීම නිසා යුද්ධය නිමාවී වසර 5 ක් ඇවෑමෙන් සිය ජනප්‍රියත්වය හීන කරගන්නට මහින්දට සිදුවිය. ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කර 3 වන වතාවටත් බලය ඉල්ලන්නට උත්සාහ කළ නමුත් 2015 ජනාධිපතිවරණයෙන් ඔහු පැරදිණි. 

පරාජයෙන් පසු කුරුණැගල සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසි අතර බොහෝ අය කියා සිටියේ තම පුතා වෙනුවෙන් ඔහු වයෝවෘද්ධ වයසේදීත් දේශපාලනය අත්නොහළ බවකි. 2018 වසරේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන සමග කුමන්ත්‍රණයකට හවුල්වී දින 52 ක ආණ්ඩුවක් පිහිටුවීම නිසා මහින්දගේ ජනප්‍රියත්වය හීතවූ අතර ඔහු බලය අවභාවිත කළ බවට විවේචනයට ලක්විය. අධිකරණ නියෝගයකින් ඔහුගේ දින 52 අගමැති ධූරය ඇතුළු ඇමති ධූර අහොසිවීම කළු පැල්ලමක් එක් කළේය. මෛත්‍රිපාල සිරිසේන රජය සමයේ ව්‍යවස්ථා සංශෝධනය නිසා මහින්දට නැවත ජනපති ධූරයට තරග වදින්නට නොහැකිවූ නිසා ඔහු වෙනුවට ඔහුගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් විය. 

2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව ජාතිවාදී මුහුණුවරකින් ගෙනගිය සටන් පාඨ , මහින්ද සුළග නමින් ‍විද්‍යුත් නාලිකා හවුල් කරගෙන ගිය ප්‍රචාර හා පාවෙන ඡන්ද ලබාගැනීමට ගෙන ආ වියත්මග සංකල්පය යනාදිය අතිශය සාර්ථකවූ අතර ලක්ෂ 69 ක විශාල ඡන්ද ප්‍රමාණයක් තබා මහින්ද සිය සහෝදරයට ජනපති බලය ලබාදී අගමැති ධූරයට පත්විය. 
කෙසේ වෙතත් 2005 සිට 2022 පමණ දීර්ඝ කාලය තුළ බලය අහිමිවූ සුළු කාලය හැරෙන්නට මහින්ද රටේ ප්‍රධාන පුටුවල සිටියේය. ඔහුගේ යුගය තුළ ලෝකයේ බොහො වෙනස්කම්ද සිදුවූ අතර එයට සමගාමීව ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් දියුණු කරන ලද්දේ බොහෝ විට වාසි ලබාගැන්මේ පටු අදහසිනි. විශාල ණයගැනීම් සහිතව සංවර්ධන යෝජනා ක්‍රම ඇරඹීම නිසා ආර්ථික වර්ධන අගයන් ඉහළින් පෙන්වූ නමුත් නිසි කළමනාකරණයකින් තොරවීම නිසා බොහෝ ඒවා පුද්ගලික වාසි පමණක් ලබාගත් අසාර්ථක ව්‍යාපෘති බවට පත්විය.

 නිලධාරී පැළැන්තියද මේවාට හුරුවූ නිසා රටේ ආර්ථිකය ප්‍රපාතයටම ඇද වැටුණි. 2022 වසර වනවිට රටට අවශ්‍ය ඛණිජ තෙල් ලබාගැනීමට නොහැකි වන තරමට විදේශ සංචිත වලින් ණය පියවා තිබීමේ ගැටලු පැනනැගි අතර ඩොලරය ඉහළයාම ඒ සමග ජීවන වියදම ඉහළයාම විදුලිය ඛණිජතෙල් ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය සේවා අඩපණවීම නිසා මහින්ද අගමැති ධූරය දැරූ රජයට එරෙහිව ජනතාව වීදි බැස්සහ. මැයි 09 වනදා ජන අරගලයේ උච්චතම අවස්ථාවේ ඔහු ඉල්ලා අස්වූ අතර අපකීර්තිමත් පළායාමේ සංසිද්ධිය ලොව පුරා මාධ්‍ය තුළද විමතියෙන් වාර්තා කෙරිණි. රජය පෙරීලී යාමෙන් පසු මහින්ද ඇතුළු සියලු පවුල් සාමාජිතයින් නඩු හබ වලට මුහුණදී සිටී.

දශක පහකට අධික ඒ දේශපාලන ගමනේ අභියෝග, කැපකිරීම් මෙන්ම ජය පරාජයන් ද සමීපව දුටු ඔහුගේ ලොකු පුතු නාමල් රාජපක්ෂ මහතාට මෙවර පියාගේ ජන්ම දිනය දා ඔහු අසල රැඳී සිටීමට අවස්ථාවක් නැත. පවුලෙන් සහ ආදරණීයයන්ගෙන් වෙන්ව අසීරු කාලයක් ගත කරන ඔහු, සිර මැදිරියේ බැමිවලට එහා ගිය සිය පියා කෙරෙහි ඇති අසීමිත ආදරය සහ ගෞරවය සිය සමාජ ජාල ගිණුම ඔස්සේ සටහන් කර තිබිණි.

ජීවිතයේ කිසිදා නොසිතූ අභියෝගවලට මුහුණ දෙන අවස්ථාවලදී දෙමාපියන්ගෙන් ලැබුණු ආදරය, ආදර්ශය සහ ජීවිත පාඩම් තමන්ට විශාල ශක්තියක් වූ බව ඔහු එහි සඳහන් කර ඇත. නායකත්වය යනු හුදෙක් තනතුරක් දැරීම පමණක් නොවන බවත්, එය වගකීම් භාරගැනීම, අභියෝග හමුවේ නොසැලී සිටීම සහ තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් අභීතව පෙනී සිටීම බවත් තමන් ඉගෙන ගත්තේ පියාගේ ජීවිතයෙන් බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රටේ ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකදී මාතෘ භූමියේ මව්වරුන්, පියවරුන් සහ දරුවන් වෙනුවෙන් කිසිවෙකුට බිය නොවී සාමය උදා කළ අභීත නායකයා තම පියා බව සිහිපත් කරන ඔහු, ඒ වෙනුවෙන් දැරූ වගකීම් සහ දරාගත් බොහෝ දෑ පුතෙකු ලෙස තමන් සමීපව දන්නා බව පෙන්වා දෙයි. අද තමන් මුහුණ දෙන මේ අසීරු කාලය තුළ පියාගෙන් උගත් ඉවසීම, ධෛර්යය සහ නොසැලෙන අධිෂ්ඨානයේ වටිනාකම තවත් ගැඹුරින් අවබෝධ කරගනිමින් සිටින බවද ඔහු සටහන් කර ඇත.

"දරුවකු කෙරෙහි ඇති ධාරක ස්නේහය හදවතේ ගැඹුරුම තැන හොවාගෙන ශක්තිමත් පියෙකු ලෙස ලෝකය ඉදිරියේ සමස්ත දැයේ දුවා දරුවන්ටත් පියෙකු වන්නට හැකි වන්නේ කෙසේදැයි මා උගත්තේ ඔබගෙනි," යනුවෙන් ඔහු සිය සටහනට එක් කර තිබිණි.

මේ සියල්ල දරා ගනිමින් සත්‍යය වෙනුවෙන් සටන් කරන තමා ද අද පියෙකු බව පවසන නාමල් රාජපක්ෂ මහතා, දෑත්වලින් වැළඳගත නොහැකි තම පියා වෙනුවෙන් අකුරුවලින් ඒ සෙනෙහස මුදාහැර තිබේ. තමන්ට පියා අසලින් සිටීමට නොහැකි වුවත්, පියාගේ ලේ උරුමයෙන් ලද තමන්ගේ දරුවන් අද ඔහු අසලින් සිටිනු ඇති බවත්, ඔවුන් තමන් වෙනුවෙන් සීයා වැළඳගනු ඇති බවත් ඔහු හැඟුම්බරව සටහන් කරයි. දේශපාලන පරිසරයේ අසීරුතා, තාඩන පීඩන සහ ගැරහුම් හමුවේ ගිරුවාපත්තුවේ මහපොළොවේ පය ගැසූ මහින්ද රාජපක්ෂ නැමැති තම ආදරණීය පියාට නිදුක් නිරෝගී සුවයත්, මානසික ශක්තියත් ප්‍රාර්ථනා කරමින්, දුරස්ථභාවයෙන් බිඳ දැමිය නොහැකි පිය පුතු බැඳීමේ සංවේදීත්වය ඒ සටහන මගින් මනාව පිළිඹිබු කර තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka