gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

න්‍යෂ්ටික ප‍්‍රහාරයකට සූදානමින් ඉරානයේ ජනතාවට ඖෂධ බෙදයි... උපරිම යුද සූදානම් C100 කේතය නිකුත් කරයි

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව යළි හමුදා මෙහෙයුම් දියත් කිරීම පිළිබඳව සලකා බලමින් සිටින පසුබිමක, එල්ල විය හැකි ගුවන් හා මිසයිල ප්‍රහාර හමුවේ පූර්වාරක්ෂක පියවරක් ලෙස සිය න්‍යෂ්ටික මධ්‍යස්ථාන ආශ්‍රිතව වෙසෙන ජනතාවට ‘අයඩීන් පෙති’ බෙදාහැරීමට ඉරානය පියවර ගෙන ඇත.

ඇමෙරිකානු සන්නද්ධ හමුදා ඉරානය ඉලක්ක කර නව ප්‍රහාර මාලාවක් සඳහා සූදානම් වෙමින් සිටින වාතාවරණයක් තුළ ඉරානය මෙම ආරක්ෂක පියවර ගෙන තිබේ. 

මේ සම්බන්ධයෙන් ‘අල් ජසීරා’ පුවත් සේවය වෙත අදහස් දක්වමින් ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු තහවුරු කර ඇත්තේ, යුදමය ආතතියක් පවතින අවස්ථාවලදී න්‍යෂ්ටික මධ්‍යස්ථානවල සිට කිලෝමීටර් 2ත් 3ත් අතර සීමාවේ ජීවත්වන ජනතාවට මෙලෙස පූර්වාරක්ෂක ඖෂධ ලබාදීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය බවයි.

"ඔව්, අපි ජනතාවට අයඩීන් බෙදාහරිමින් සිටිනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ව තවදුරටත් විශ්වාස කරන්න බැහැ. ඔහු මේ අපරාධය සිදු කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා," යැයි එම නිලධාරියා වැඩිදුරටත් පවසා ඇත. කිසියම් හෙයකින් න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට හානි සිදුවී විකිරණ කාන්දුවක් ඇතිවුවහොත්, මිනිස් සිරුරේ තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් විකිරණශීලී අයඩීන් අවශෝෂණය කරගැනීම වැළැක්වීම සඳහා මෙම අයඩීන් පෙති ලබාදෙනු ලැබේ.

වොෂින්ටනයේ ආරක්ෂක අංශද ඉරානයට එරෙහිව නව ප්‍රහාර දියත් කිරීමට කඩිනම් යුද සූදානමක පසුවන බව ද  දැඩි ආරක්ෂක රැකවල් යටතේ පිහිටි ඉරානයේ ‘පිකැක්ස් මවුන්ටන්’ න්‍යෂ්ටික මධ්‍යස්ථානය වෙත ප්‍රහාර එල්ල කිරීම කෙරෙහි ඇමෙරිකාවේ දැඩි අවධානය යොමුව ඇති බව ඉරාන දේශපාලන වාර්තාකරුවෙකු අල් ජසීරා වෙත අනාවරණය කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින යුදමය ආතතිය අතිශය තීරණාත්මක මට්ටමකට ළඟාවීමත් සමඟ, ඉරාන රජය විසින් සිය රට තුළ ක්‍රියාත්මක කළ හැකි ඉහළම හමුදා අනතුරු ඇඟවීම වන ‘කෝඩ් 100’ (Code 100) උපරිම හමුදා සූදානම ප්‍රකාශයට පත් කර ඇතැයිද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයට එරෙහි යුද මෙහෙයුම් නැවත ආරම්භ කරන්නේද යන්න තීරණය කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී සිය ජාතික ආරක්ෂක මණ්ඩලය සමඟ විශේෂ හමුවක් පවත්වා ඇති බව ‘ෆොක්ස් නිවුස්’ සේවය සඳහන් කරයි. 

විශේෂයෙන් නොවැම්බර් 09 වැනිදා මැදපෙරදිග කලාපයට සඳ එළිය නොමැති අමාවක රාත්‍රියක් උදාවන බැවින්, එවැනි අඳුරු රාත්‍රියක් හමුදාමය රහස් මෙහෙයුම් සඳහා වඩාත් වාසිදායක විය හැකි බවද එම වාර්තාවේ පෙන්වා දී ඇත.

ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, යුද්ධය යළි ආරම්භ කරන්නේද යන්න පිළිබඳව වොෂින්ටනය කඩිනමින් අවසන් තීරණයක් ගන්නා බවයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කර එය යළි කිසිදා හිස ඔසවන්නේ නැති බවට තහවුරු කරගැනීමට ඇමෙරිකාවෙන් තවදුරටත් ප්‍රහාර එල්ල විය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

"පුළුවන් නම් ඉරානයේ සෙසු ප්‍රදේශ සහමුලින්ම විනාශ නොකර සිටීමට මම වඩාත් කැමතියි. නමුත් මට සමහරවිට එය කිරීමට සිදුවේවි. ඒ තීරණය කුමක්දැයි ඔබ සැමට ඉතා ඉක්මනින්ම දැනගන්නට ලැබේවි," යැයි ට්‍රම්ප් තර්ජනාත්මක ස්වරූපයෙන් කියා සිටියේය. ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය ඉරානයට එරෙහි මහා පරිමාණ මෙහෙයුමකට සූදානමින් පසුවුවද, ධවල මන්දිරයෙන් මෙතෙක් නිල නියෝගයක් නිකුත් කර නොමැති බවද වාර්තා වේ.

තම භූමිය භාවිතයට ඉඩ නොදෙන බව ඉරාකය කියයි

මේ අතර, කලාපයේ උද්ගතව ඇති යුද උණුසුම හමුවේ ඉරාක අගමැති අලි ෆාලේ අල්-සයිදි (Ali Faleh Al-Zaidi) ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දුරකථන සංවාදයක නිරත වෙමින් දැඩි ස්ථාවරයක් ප්‍රකාශ කර ඇත. අසල්වැසි රටවලට ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස කිසිසේත්ම ඉරාක භූමිය හෝ ගුවන් සීමාව භාවිත කිරීමට ඉඩ නොදෙන බවත්, රාජ්‍යයන්හි ස්වෛරීභාවයට සියලු පාර්ශ්වයන් ගරු කළ යුතු බවත් ඉරාක අගමැති කාර්යාලය ‘X’ පණිවිඩයක් මඟින් තහවුරු කර තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka