දිවුලපිටියේ ග්‍රීන් ලිංක්ස් ලංකා බලපත්‍රය අත්හිටුවයි!
දිවුලපිටිය, වැවගෙදර ප්‍රදේශයේ පවත්වාගෙන යන N.S. Green Links Lanka (Pvt) Ltd සමාගමට අයත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (E-Waste) එකතු කිරීමේ හා ගබඩා කිරීමේ මධ්‍යස්ථානයේ පාරිසරික බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
පසුගිය 16 වැනිදා එම මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් අනතුරුව මෙම තීරණය ගත් බව පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතා සඳහන් කර ඇත.
ගින්න හේතුවෙන් වායු දූෂණය සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හරහා පරිසරයට සිදුවිය හැකි දූෂණය වැළැක්වීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිර්දේශ මාලාවක් ද නිකුත් කර තිබේ.
මෙම මධ්‍යස්ථානයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් මීට පෙර ද ප්‍රදේශවාසීන් දැඩි විරෝධයක් පළ කළහ.
පසුගිය 15 වැනිදා පෙරවරු 11ට පමණ අංක 259, වැවගෙදර, දිවුලපිටිය ලිපිනයේ පිහිටි මෙම මධ්‍යස්ථානයේ ගින්න හටගෙන තිබූ අතර, එහි ගබඩා කර තිබූ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී තිබිණි.
ගම්පහ සහ මීගමුව ගිනි නිවීමේ ඒකක මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබිණි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති බව පොලිසිය සඳහන් කර තිබිණි.
ගින්නෙන් පසු පැවති විරෝධතාවේදී ප්‍රදේශවාසීන් චෝදනා කළේ ගින්නෙන් නිකුත් වූ දුමාරය හේතුවෙන් තමන්ට හුස්ම ගැනීමේ අපහසුතා සහ ශරීරයේ දැවිල්ල වැනි සෞඛ්‍ය ගැටලු ඇති වූ බවයි.
එමෙන්ම ගින්න නිවීමට භාවිත කළ ජලය සමඟ බැර ලෝහ පසට එක්ව භූගත ජල මූලාශ්‍ර දූෂණය වීමේ අවදානමක් පවතින බවට ද ඔවුහු අනතුරු ඇඟවූහ.
ගින්න සහ ගිනි නිවීමේ කටයුතු හේතුවෙන් අවට නිවාසවල ගෙවතු, වගාබිම් සහ ගස්වැල්වලට හානි සිදුව ඇති බවට ද ප්‍රදේශවාසීන් චෝදනා කර තිබේ.
ජනාකීර්ණ ප්‍රදේශයක මෙවැනි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑම තම දෛනික ජීවිතයට බාධාවක් බව පවසමින් එම ස්ථානයෙන් ආයතනය ඉවත් කරන ලෙසත්, සිදුවූ දේපළ හානි සඳහා සාධාරණ වන්දි ලබාදෙන ලෙසත් විරෝධතාකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
මේ සම්බන්ධයෙන් විරෝධතාකරුවන් හමුවූ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නීතිඥ ජනක වික්‍රමතිලක මහතා පවසා තිබුණේ අදාළ මධ්‍යස්ථානය අනාරක්ෂිත ආකාරයෙන් සහ නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගොස් ඇති බව පැහැදිලි වන බවයි.
එම ස්ථානයේ කර්මාන්තශාලාව තවදුරටත් පවත්වාගෙන යෑමට ප්‍රාදේශීය සභාව ඉඩ නොදෙන බව ද ඔහු සඳහන් කර තිබිණි.
එමෙන්ම අවට පදිංචිකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම, අවදානමට ලක්වූවන්ට අවශ්‍ය සහාය ලබාදීම සහ පානීය ජලය සැපයීම සඳහා පියවර ගන්නා බව ද සභාපතිවරයා ප්‍රකාශ කර තිබිණි.
පාරිසරික බලපත්‍රය පිළිබඳත් ගැටලුවක්
මේ අතර, මධ්‍යම පරිසර අධිකාරියේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන පිළිබඳ 2025 ජූනි 26 දිනැති ලේඛනයට අනුව N.S. Green Links Lanka සමාගමට ලබාදී තිබූ පාරිසරික අනුමැතියේ කල් ඉකුත් වීමේ දිනය ලෙස 2026 අප්‍රේල් 3 වැනිදා සඳහන් වී තිබිණි.
ඒ අනුව, අදාළ අනුමැතියේ වලංගු කාලය ද මේ වන විට අවසන් වී තිබූ බව ශ්‍රී ලංකා මිරර් මීට පෙර අනාවරණය කළේය.
කෙසේ වෙතත්, ගින්නෙන් පසුව එම මධ්‍යස්ථානයේ පාරිසරික බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ගෙන ඇති නව තීරණයත් සමඟ එහි ඉදිරි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් බලධාරීන්ගේ තීරණය කෙරෙහි අවධානය යොමුව තිබේ.
ගින්නෙන් සිදුවූ පාරිසරික හානිය, අවට ජල මූලාශ්රවල තත්ත්වය සහ ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණවල ප්‍රතිඵල ද මේ වන විට වැදගත් වී තිබේ.
දිවුලපිටියේ ග්‍රීන් ලිංක්ස් ලංකා බලපත්‍රය අත්හිටුවයි!
2026-11-22T20:54:00+05:30
Gossip Lanka Hot News






