gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඩොලර් බිලියනයක් දෙන්න සිටි චීනය මධ්‍යම අධිවේගයට මුදල් දීම නවතයි.. 10-12% පොලියට දේශීය අරමුදල් ගන්නේ ඒකයි..

විදේශ ණය මත යැපීම අවම කිරීමේ අරමුණින් යැයි පවසමින් ඉහළ පොලී අනුපාත යටතේ දේශීය වෙළෙඳපොළෙන් ණය ලබාගෙන මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් මෙරට ණය බර යළිත් දැඩි ලෙස ඉහළ යා හැකි බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

චීන ආයෝජන සහන මත ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති තුනක් මුල් සැලසුම් පරිදි ක්‍රියාත්මක නොවූ බව පෙන්වා දෙන ඒ මහතා, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත–මීරිගම කොටස ඊට නිදසුනක් ලෙස දක්වයි. 

එම ව්‍යාපෘතිය සඳහා මීට පෙර ඩොලර් බිලියනයක් ආයෝජනය කිරීමට චීනය පොරොන්දු වී තිබූ නමුත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමෙන් අනතුරුව එම ප්‍රතිඥාව ඩොලර් මිලියන 500 දක්වා අඩු කෙරුණු බවත්, එසේ වුවද මේ දක්වා කිසිදු මුදලක් චීනයෙන් මෙරටට ලැබී නොමැති බවත් ඔහු සඳහන් කරයි.

රජය දේශීය සම්පත් උපයෝගී කරගනිමින් සංවර්ධන කටයුතු සිදුකිරීමට උත්සාහ කළද, වසර 10ක බැඳුම්කර හරහා 12% ත් 13% ත් අතර ඉහළ පොලී අනුපාතවලට දේශීය වෙළෙඳපොළෙන් ණය ලබාගැනීම ආර්ථික වශයෙන් තිරසාර නොවන බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

මෙවැනි අධික පොලී අනුපාත යටතේ ණය ලබාගැනීම හේතුවෙන් ඉදිරි වසර පහ තුළ රටේ ණය ආපසු ගෙවීමේ වගකීම දෙගුණයකින් පමණ ඉහළ යා හැකි බවට අනතුරු අඟවන ඒ මහතා, අධික පිරිවැය සහිත ණය ලබාගැනීම නිසා අතීතයේ රාජපක්ෂ පාලන සමයේදී ඇතිවූ මූල්‍ය අර්බුදයට සමාන තත්ත්වයක් වත්මන් රජයද නිර්මාණය කරමින් සිටින බවට ප්‍රකාශ කරයි. එමෙන්ම, එළඹෙන වසර තුළදී රජය තවත් රුපියල් ට්‍රිලියන 4 ක දේශීය ණයක් ලබාගැනීමට සැලසුම් කර ඇති බවද ඔහු අනාවරණය කළේය.

මෙලෙස ලබාගන්නා දේශීය ණය අධිවේගී මාර්ග වැනි අධික පිරිවැයක් සහිත ව්‍යාපෘති සඳහා යෙදවීම පිළිබඳව ප්‍රශ්න කරන රණවක මහතා, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ එක් අදියරක් වෙනුවෙන් පසුගිය රජය සමයේදී මාගා (Maga Engineering) සමාගමට රුපියල් බිලියන 54 කට කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබූ බව සිහිපත් කරයි.

පසුව එම වියදම රුපියල් බිලියන 189 දක්වා වැඩිවී, මේ වන විට එය රුපියල් බිලියන 261 දක්වා තවදුරටත් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි පෙන්වා දෙන ඒ මහතා, ඒ අතරතුර ලබාදී ඇති රුපියල් බිලියන 9ක මූලික අත්තිකාරම් මුදල් පිළිබඳවද විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව අවධාරණය කරයි. 

මෙරට මහා පරිමාණ ඉදිකිරීම් සමාගම් පාලකයන් සිය ග්‍රහණයට ගනිමින් ආර්ථිකය අර්බුදයකට ඇද දැමීමට කටයුතු කරන බවටද ඔහු වැඩිදුරටත් චෝදනා කරයි.

සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයකින් ආර්ථික ප්‍රතිලාභ හිමිවීමට වසර 30 ත් 40 ත් අතර කාලයක් ගතවන නමුත්, ඒ සඳහා ලබාගන්නා දේශීය ණය කෙටි කාලසීමාවක් තුළ ආපසු ගෙවීමට සිදුවන බව ඔහු පැහැදිලි කරයි. 

එමෙන්ම, රුපියල්වලින් මුදල් යෙදවුවද අධිවේගී මාර්ග ඉදිකිරීමේදී අවශ්‍ය වන අමුද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ ආනයනය සඳහා සමස්ත පිරිවැයෙන් අවම වශයෙන් 60%ක් පමණ විදේශ විනිමයෙන් වැය කිරීමට සිදුවන බවත්, එබැවින් දේශීය මුදලින් සංවර්ධනය සිදුකිරීමෙන් විදේශ විනිමය ඉතිරි වන බවට කරන ප්‍රකාශ පදනම් විරහිත බවත් පවසමින් පාඨලී චම්පික රණවක මහතා රජයේ මෙම ණය ප්‍රතිපත්තිය විවේචනයට ලක්කරයි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka