රිපබ්ලිකන් අපේක්ෂකයා පැරදුණහොත් ඇලස්කාවේ ඡන්ද ප්රතිඵලය අත්හිටුවන්නැයි ට්රම්ප්ගෙන් නියෝගයක්!
ඇමෙරිකානු මධ්යවාර මැතිවරණයේදී ඇලස්කා ප්රාන්තයේ සෙනෙට් සභා ආසනය සඳහා තරග වදින රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා සුළු ඡන්ද සංඛ්යාවකින් හෝ පරාජයට පත්වුවහොත්, එම මැතිවරණ ප්රතිඵලය නිල වශයෙන් සහතික කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ නියෝගය මත එරට අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ෆෙඩරල් අධිකරණය හමුවේ අතිශය අසාමාන්ය නඩුවක් ගොනු කර ඇතැයි The New York Times පුවත්පත වාර්තා කරයි.
සිය දේශපාලන අභිමතයන් ඉටුකර ගැනීම සඳහා අධිකරණ දෙපාර්තමේන්තුව සෘජුවම යොදාගෙන ඇති බව තහවුරු කරමින් ජනාධිපති ට්රම්ප් මාධ්යවේදීන් හමුවේ ප්රකාශ කර ඇත්තේ, එම නඩුව පවරන ලෙස නියෝග කළේ මා විසින් බවයි.
ඇලස්කා ප්රාන්තයේ ෆෙඩරල් අධිකරණය හමුවේ ගොනු කර ඇති මෙම නඩුව මගින් අධිකරණ දෙපාර්තමේන්තුව තර්ක කරන්නේ, ඡන්ද පත්රිකාවේ සිටින අපේක්ෂකයෙකුගේ නම සහ වත්මන් රිපබ්ලිකන් සෙනෙට් සභික ඩෑන් එස්. සුලිවන් ගේ නම එකිනෙකට බෙහෙවින් සමාන වීම හේතුවෙන් ඡන්දදායකයන් තුළ ඇතිවන ව්යාකූලතාව මැතිවරණ ප්රතිඵලයට බරපතළ බලපෑමක් එල්ල කළ හැකි බවයි.
පූර්ව මැතිවරණ මත විමසුම්වලට අනුව වත්මන් සෙනෙට් සභික ඩෑන් සුලිවන් සහ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා මේරි පෙල්ටෝලා අතර පවතින්නේ ඉතා තියුණු කරට කර තරගයකි. කෙසේ වෙතත්, පුද්ගලයන් සිව්දෙනෙකුගෙන් සමන්විත මෙම ඡන්ද පත්රිකාවට ‘ඩැනියෙල් ජේ. සුලිවන්’ නමැති විශ්රාමික ප්රාථමික ගුරුවරයෙකුගේ නම ද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇතුළත්ව තිබීම මෙම අර්බුදයට මුල්වී තිබේ.
ඇලස්කා ප්රාන්තයේ ක්රියාත්මක වන්නේ ඡන්දදායකයන්ට සිය කැමැත්ත අනුව අපේක්ෂකයන් පෙළගැස්විය හැකි ප්රමුඛතා මනාප ඡන්ද ක්රමයකි. ජ්යෙෂ්ඨ අධිකරණ නිලධාරී ස්ටැන්ලි වුඩ්වර්ඩ් විසින් අත්සන් කර ඇති මෙම පිටු 14කින් යුත් නඩුව මගින් පෙන්වා දෙන්නේ, බහුතර ඇලස්කාවාසීන්ට සෙනෙට් සභික සුලිවන්ට ඡන්දය දීමට අවශ්ය වුව ද, නම්වල පවතින සමානකම නිසා අනෙක් අපේක්ෂකයාට වැටෙන ඡන්ද හේතුවෙන් ඩිමොක්රටික් අපේක්ෂිකාව ජයග්රහණය කිරීමේ සැබෑ අවදානමක් පවතින බවයි.
එබැවින් රිපබ්ලිකන් අපේක්ෂකයා පරාජය වුවහොත් සහ ගුරුවරයාට ලැබුණු ඡන්ද සෙනෙට් සභිකයාට ලැබුණේ නම් ඔහු ජයග්රහණය කිරීමට ඉඩ තිබුණේ ද යන්න පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වා අවසන් වන තුරු නිල ප්රතිඵලය නිකුත් කිරීම අත්හිටුවිය යුතු බව රජය ඉල්ලා සිටියි. කෙසේ වෙතත්, රහස් ඡන්ද ක්රමයක් යටතේ ඡන්දදායකයෙකුගේ මනසේ තිබූ සැබෑ අභිප්රාය මෙලෙස විමර්ශනය කරන්නේ කෙසේද යන්න ගැටලු සහගත බව ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ වාර්තාව පෙන්වා දෙයි.
මෙම දෙවන අපේක්ෂකයා වන ඩැනියෙල් ජේ. සුලිවන් යනු සෙනෙට් සභිකයාගේ ඡන්ද කඩා දැමීම සඳහා ඩිමොක්රටික් පාක්ෂිකයන් විසින් හිතාමතා ඡන්දයට දැමූ ‘උගුලක්’ බවට රිපබ්ලිකන් පක්ෂය චෝදනා කරයි. ඔහු මෑතකදී රිපබ්ලිකන් පාක්ෂිකයෙකු ලෙස ලියාපදිංචි වී ඇති අතර ඩිමොක්රටික් අපේක්ෂිකා පෙල්ටෝලා වෙත මුදල් පරිත්යාග කර ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. එහෙත් තමන් කිසිවෙකු රැවටීමට උත්සාහ නොකරන බවත්, වත්මන් සෙනෙට් සභිකයාගේ ක්රියාකලාපය පිළිබඳ කලකිරී සිටින මධ්යස්ථ රිපබ්ලිකන් පාක්ෂිකයෙකු ලෙස තරග වදින බවත් එම ගුරුවරයා ප්රකාශ කර ඇත. පසුගිය ජුනි මාසයේදී ඇලස්කා ශ්රේෂ්ඨාධිකරණය ද තීන්දු කර තිබුණේ ඔහුට ඡන්ද පත්රිකාවේ රැඳී සිටීමට නීතිමය අයිතියක් පවතින බවයි.
මැතිවරණයකට දින 11ක් පමණක් ඉතිරිව තිබියදී ෆෙඩරල් රජය ප්රාන්ත මැතිවරණ සහතික කිරීමක් අවහිර කිරීමට උත්සාහ කළ පළමු අවස්ථාව මෙය බව මැතිවරණ නීති විශේෂඥ ඩේවිඩ් බෙකර් පවසයි. මෙය අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්රතිපත්ති උල්ලංඝනය කරමින් සිදුකෙරෙන පැහැදිලි දේශපාලන ඇඟිලි ගැසීමක් බවත්, ප්රාන්ත නීතියට අනුව ක්රියාත්මක වන ඡන්දයකට මැදිහත් වීමට ෆෙඩරල් රජයට කිසිදු බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
ඩිමොක්රටික් පක්ෂය මෙම නඩුව හඳුන්වා දී ඇත්තේ මැතිවරණය උඩුයටිකුරු කිරීමට ගත් "නීච දේශපාලන තර්ජනයක්" ලෙසයි. මේ අතර, ට්රම්ප්ගේ ක්රියාකලාපයන් නිරන්තරයෙන් විවේචනය කරන ඇලස්කාවේ අනෙක් රිපබ්ලිකන් සෙනෙට් සභික ලිසා මුර්කොව්ස්කි ද මෙම නඩුව හෙළා දකිමින් ප්රකාශ කර ඇත්තේ, ඇලස්කාවාසීන්ට සිය නියෝජිතයන් තෝරාගැනීමට කිසිවෙකුගේ බලපෑම් අවශ්ය නොවන බවත්, අධිකරණ දෙපාර්තමේන්තුව මෙවැනි නඩුවක් කිසිසේත්ම නොපැවරිය යුතුව තිබූ බවත්ය.
රිපබ්ලිකන් අපේක්ෂකයා පැරදුණහොත් ඇලස්කාවේ ඡන්ද ප්රතිඵලය අත්හිටුවන්නැයි ට්රම්ප්ගෙන් නියෝගයක්!
2026-10-24T13:55:00+05:30
Gossip Lanka Hot News





