ඥානසාර හිමිට සමාව දීම ගැන ජනාධිපති තීන්දුව ගනී - අගමැතිනි
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම හෝ උන්වහන්සේට ජනාධිපති සමාව ලබා දීම මුළුමනින්ම අධිකරණ ක්රියාවලියක් හා බැඳී පවතින කාරණයක් බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්රම ව්යවස්ථාවට සහ අධිකරණයට ගරු කරමින් නිසි වේලාවට නිවැරදි තීරණය ගනු ඇති බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්රකාශ කළාය.
මහනුවර ඓතිහාසික මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයන් වෙත පැමිණි අග්රාමාත්යවරිය, මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකගොඩ ශ්රී ඥානරතන මහානාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තාය.
එහිදී 2027 වසරේදී ආරම්භ කිරීමට නියමිත 6 වසර ඇතුළු පාසල් විෂය මාලා සංශෝධනය කිරීම පිළිබඳවද අග්රාමාත්යවරිය මහානාහිමිවරුන් දැනුවත් කළාය.
අනතුරුව මාධ්ය වෙත අදහස් දැක්වූ අග්රාමාත්යවරියගෙන් මාධ්යවේදීන් විමසා සිටියේ, ඥානසාර හිමියන්ගේ සිවුර අයිතිය මුල්කරගෙන මහනුවර දළදා මාළිගාව අභියසින් ආරම්භ වූ පාගමන මේ වන විට උන්වහන්සේ නිදහස් කරගැනීමේ අරමුණ දක්වා පරිවර්තනය වී ඇති පසුබිමක, රජය විසින් උන්වහන්සේට ජනාධිපති සමාව ලබා දීමට කිසියම් අදහසක් පවතින්නේද යන්නයි.
ඊට පිළිතුරු දුන් අග්රාමාත්යවරිය මෙසේ අවධාරණය කළාය.
"ඒක අධිකරණ ක්රියාවලියක්. අධිකරණයෙන් තමයි ඊට අදාළ තීන්දුව දීලා තියෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් අපිට උපදෙස් ලබාගන්න වෙන්නෙත් අධිකරණයෙන්මයි. ජනාධිපතිතුමා කියන්නේ හරි තීරණය හරි වෙලාවට ගන්න කෙනෙක්. එතුමා රටේ පවතින තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව බුද්ධිමත්වයි තීන්දු තීරණ ගන්නේ. අපි අධිකරණයට ගරු කරනවා, අපේ රටේ සම්ප්රදායට ගරු කරනවා වගේම ආණ්ඩුක්රම ව්යවස්ථාවටත් ගරු කරනවා. ඒ අනුව තමයි ජනාධිපතිතුමා දැනුත් තීරණ ගන්නේ, ඉදිරියටත් තීරණ ගන්නේ."
ජාතික හා ආගමික සහජීවනයට හානි වන අන්දමේ ප්රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු කරමින් හෝමාගම මහේස්ත්රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය මඟින් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 04ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.
උන්වහන්සේ වහා නිදහස් කර ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ ප්රමුඛ පිරිසක් විසින් මහනුවර ශ්රී දළදා මාළිගාව අභියසින් කොළඹ දක්වා 'නිදහසේ පාද යාත්රාව' නමින් විරෝධතා පාගමනක් පැවැත්වූහ.
අනතුරුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් සත්යග්රහයක නිරත වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු 55 දෙනෙකුට එම පරිශ්රයෙන් ඉවත් වන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කර තිබිණි.
ඥානසාර හිමිට සමාව දීම ගැන ජනාධිපති තීන්දුව ගනී - අගමැතිනි
2026-10-16T13:50:00+05:30
Gossip Lanka Hot News





