අල්ලස් කොමිසම රාජ්‍ය නිලධාරීන් 34,000කට දඩ ගසයි!
දූෂණ විරෝධී පනත යටතේ නිසි වේලාවට වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ රාජ්‍ය නිලධාරීන් 34,000කට ආසන්න පිරිසකගෙන් ප්‍රමාද ගාස්තු (දඩ මුදල්) අය කර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගනිමින් සිටී.
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේ, අදාළ ප්‍රමාද ගාස්තු අය කර ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා කොමිෂන් සභාවේ මෙහෙයුම් මේ වන විටත් පුළුල් කර ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට අල්ලස් කොමිසමේ ප්‍රධානීන් කැඳවා තිබූ අතර, එහිදී මෙම තොරතුරු අනාවරණය විය.
නූතන දූෂණ විරෝධී පනතේ 31 වගන්තිය යටතේ අල්ලස් කොමිසම වෙනුවෙන් ම වෙනම අරමුදලක් ස්ථාපිත කර ඇත. අදාළ ප්‍රමාද ගාස්තු අය කරගැනීමෙන් ලැබෙන සමස්ත දඩ මුදල් ප්‍රමාණය එකී කොමිෂන් සභා අරමුදලට බැර කිරීමට නියමිත ය.
ඒකාබද්ධ අරමුදල සහ කොමිෂන් සභාවේ පොදු අරමුදල හරහා ඉදිරි ගෙවීම් සිදුවන ආකාරය පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය කාර්යාල සහ දැවැන්ත බඳවාගැනීම්අල්ලස් හෝ දූෂණ විමර්ශන යාන්ත්‍රණය දිවයින පුරා විමධ්‍යගත කිරීමේ අරමුණින් ඉදිරියේදී දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කොමිසම සැලසුම් කර ඇත:
නව කාර්ය මණ්ඩලය:
කොමිෂන් සභාවේ ඉදිරි කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව නිලධාරීන් 971 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු යොදා තිබේ.
ප්‍රාදේශීය කාර්යාල 23ක්: 2026 දෙසැම්බර් 31 දිනට පෙර දිවයින පුරා ප්‍රාදේශීය කාර්යාල 23ක් පිහිටුවීම ඉලක්ක කර ගෙන ඇත.
ගොඩනැගිලි පරීක්ෂාව:
මේ සඳහා අවශ්‍ය රජයේ දැනට පවතින ගොඩනැගිලි පරික්ෂා කිරීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මාර්ගයෙන් මේ වන විටත් සිදු කර අවසන් ය. මෙයින් ඇතැම් ගොඩනැගිලි අලුත්වැඩියා කර භාවිතයට ගැනීමටත්, ඉතිරි ගොඩනැගිලි කුලී පදනම මත ලබා ගැනීමටත් සැලසුම් කර ඇති බව අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න
අල්ලස් කොමිසම රාජ්‍ය නිලධාරීන් 34,000කට දඩ ගසයි!
2026-10-11T07:38:00+05:30
Gossip Lanka Hot News





